මැලේසියා හිටපු අගමැතිට තවත් අවුරුදු 15 ක සිරදඬුවමක්


මැලේසියාවේ 1MDB රාජ්‍ය ආයෝජන අරමුදලට අදාළව බිලියන ගණනක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වැරදිකරු වූ එරට හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට, වසර 15ක සිර දඬුවමක් නියම කිරීමට මැලේසියා මහාධිකරණය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

බලය අවභාවිත කිරීමේ චෝදනා හතරක් සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධ චෝදනා 21 ක් මුල්කොට ගනිමින්, නජීබ් රසාක් මෙලෙස වැරදිකරු වී ඇති බව විදෙස් මාධ්‍ය පැහැදිලි කර ඇත.

වසර 2009 සිට 2014 දක්වා කාලය තුළ අදාළ අරමුදලෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 700කට අධික මුදලක් සිය පෞද්ගලික බැංකු ගිණුම් වෙත බැර කරගැනීම ඔහුට එල්ල වූ ප්‍රධාන චෝදනාවය.

වසර 15ක සිර දඬුවමට අමතරව, මැලේසියානු රින්ගිට් බිලියන 11.4ක (ඇමෙරිකන් ඩොලර් බිලියන 2.8ක) දැවැන්ත දඩයක් ද අධිකරණය විසින් නියම කර ඇත.

72 හැවිරිදි නජීබ් රසාක්, 1MDB වංචාවේ තවත් අනුකොටසක් වූ SRC Inteational නඩුවට අදාළව මේ වනවිටත්, සිර දඬුවම් විඳිමින් සිටින අතර, නව තීන්දුවට අනුව, දැනට විඳින දඬුවම් කාලය අවසන් වීමෙන් පසු, වසර 15 ක නව සිර දඬුවම ආරම්භ වීමට නියමිතය.