බෙනින් රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණය අසාර්ථකයි


කැරැලිකාර හමුදා කණ්ඩායමක්, බෙනින් රාජ්‍යයේ, බලය අත්පත් කර ගැනීමට උත්සාහ ගත් නමුත් එය අසාර්ථක වූ බව විදෙස් මාධ්‍ය පවසයි. 

මෙම කැරැලිකාර හමුදා කණ්ඩායම, බෙනින් ජනාධිපති මන්දිරය වටකොට, ජනාධිපති පැට්‍රීස් ටැලොන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළත්, එම උත්සාහය අසාර්ථක වූ බව පැවැසෙයි. බෙනින් හමුදාව පැවැසුවේ, කැරැලිකාර හමුදා සොල්දාදුවන්ගේ කුමන්ත්‍රණය ව්‍යර්ථ කළ බවත්, කැරැලිකාර සොල්දාදුවන් අත්අඩංගුවට ගත් බවත්ය.

බෙනින් යනු පටහිර අප්‍රිකාවට අයත්, ප්‍රංශ බස කතා කරන රාජ්‍යයකි. අප්‍රිකාවේ හමුදා කුමන්ත්‍රණ බහුලය. පසුගිය දින කීපයේ ගිනි බිසෝ රාජ්‍යයේත්, මැඩගස්කරයේත් හමුදා කුමන්ත්‍රණ සිදුවුණු අතර මේ වනවිට එම රටවල බලය ඇත්තේ හමුදාව සතුවය.

පැට්‍රීස් ටැලොන්, බෙනින් රාජ්‍යයේ ජනාධිපති ධුරය හොබවන්නේ 2016 වසරේ සිටය. ජනාධිපති ධුර කාලය ලබන 2026 දී අවසන් වන නමුත්, දිගටම බලයේ රැඳී සිටීමට ටැලොන් කැමැත්ත පළ කර ඇත.