බිහාර් මහ ඇමැතිට විරෝධයක්


ඉන්දියාවේ බිහාර් ප්‍රාන්ත මහ ඇමැති නිතිෂ් කුමාර්ට, දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී. ඒ, රාජ්‍ය උත්සවයකදී, මුස්ලිම් තරුණියකගේ හිජාබය ඉවත් කිරීමට උත්සාහ ගත් බැවිනි. විරෝධය එල්ල වී ඇත්තේ මුස්ලිම්වරුන්ගෙනි.

පසුගිය දා පැට්නා නුවර, වෛද්‍යවරුන්ට පත්වීම් ලබා දීමේ රාජ්‍ය උත්සවයක් අතරතුරේ, පත්විම් ලිපි ලබා ගැනීමට ආ වෛද්‍යවරුන් අතරේ මුස්ලිම් තරුණියන් කීප දෙනකු ද සිට ඇත.

එක් තරුණියක, ඇගේ අවස්ථාව පැමිණි විට, පත්වීමේ ලිපිය ලබා ගැනීමට 74 හැවිරිදි නිතිෂ් කුමාර් ඉදිරියට ගිය අවස්ථාවේදී, නිතිෂ් කුමාර් ඇයට යමක් පවසා ඇගේ හිජාබය පහත් කිරීමට උත්සහ කළේය.

මෙම සිද්ධියට ආදළ වීඩියෝ දසුන් මේ වනවිට ඉන්දීය මාධ්‍ය ඔස්සේත්, සමාජ මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී ඇත. මෙම සිද්ධිය ඉන්දියාවේ සමස්ත මුස්ලිම් ප්‍රජාවේ විරෝධයට හේතුවක් වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ එම උත්සවයට රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රාන්ත අමාත්‍යවරුන් කීප දෙනකු ද එහි සිටින අතර එක් අමාත්‍යවරයකු මහ ඇමැතිවරයාගේ එම ක්‍රියාව වැළැක්වීමට උත්සාහ ගන්නා ගන්නා බව වීඩියෝවට ඇතුළත් වෙයි.

ඉන්දියාවේ පාලක පක්ෂය ලෙස සැලකෙන හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබලයකු වන නිතිෂ් කුමාර්, වසර 20 කට ආසන්න කාලයක් බිහාර් මහ ඇමති ලෙස කටයුතු කරයි. ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සමීපතමයකු ද වෙයි.

නිතිෂ් කුමාර්, මුස්ලිම් තරුණියගේ හිජාබය ඉවත් කිරීමට උත්සාහ ගන්නා එම වීඩියෝ දසුන් වීඩියෝව පළමුවෙන් සමාජ මාධ්‍යවල සංසරණය වීමට පටන් ගත්තේ, විපක්ෂ දේශපාලන පක්ෂයක් වන රාෂ්ට්‍රීය ජනතා දාල් පක්ෂයයි. ඉන්දියාවේ මිලියන 200ක මුස්ලිම් ජනගහනයක් වෙසෙන අතර, බිහාර් ප්‍රාන්තයේ වෙසෙන මුස්ලිම්වරුන් ගණන මිලියන 127 ක් බව පැවැසෙයි.

ඉන්දියාවේ හිජාබය තහනම් කරන්නැයි හින්දු සංවිධාන බොහොමයක් භාරකීය ජනතා පක්ෂයෙන් ඉල්ලා ඇත. නිතිෂ් කුමාර් වැනි මහ ඇමැතිවරයකු මෙන්ම භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබලයකු මෙලෙස කටයුතු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව මුස්ලිම්වරුන්ගේ අදහසය.