
බ්‍රිතාන්‍යයේ නිල සංචාරයකට ගොස් සිටින ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආර්යාව මෙලානියා වෙනුවෙන්, බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු සහ කැමිලා පාකර් රැජින, විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්වූහ. භෝජන සංග්‍රහය පැවැත්වූයේ වින්ඩ්සර් මාලිගයේදීය.
මෙම අවස්ථාවට චාල්ස් රජුගේ වැඩිමල් පුතු ඔටුන්න හිමි විලියම් කුමරු මෙන්ම වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන් ද සහභාගී වූහ. ට්‍රම්ප් යුවළ පිළිගනු ලැබුවේ, බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ උත්තමාචාර මධ්‍යයේය.
ට්‍රම්ප් සහ මෙලානියා යුවළ ලන්ඩන් නුවරට පැමිණීමෙන් පසු, වින්ඩ්සර් මිලිගය බලා පැමිණියේ ‘මෙරීන් 1’ නිල හෙලිකොප්ටර් යානයෙනි.
ට්‍රම්ප් සහ මෙලානියා වෙනුවෙන් ඉතා චාම් ආකාරයේ දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි. රාත්‍රී භෝජන සංග්‍රහය ඉතා ගාම්භීර එකක් විය.
රජ පවුලේ සාමාජිකයෝ බොහෝ දෙනකු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් එම අවස්ථාවට එක් වී සිටියහ. ඊට අමතරව, ට්‍රම්ප් සමඟ බ්‍රිතාන්‍යයට ගොස් සිටින ඇමෙරිකන් දූත පිරිස ද එම අවස්ථාවට එක් වූහ.
රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසු ජනාධිපති ට්‍රම්ප්ගේ පැමිණීම නිමිත්තෙන් සවුදිය පිරීමට තෙවැනි චාල්ස් රජු විශේෂ කොග්නැග් බ්‍රැන්ඩි බෝතලයක් විවෘත කළේය. මෙම කොග්නැග් බ්‍රැන්ඩි බෝතලය 1912 දී නිෂ්පාදිත එකකි. 1912 යනු ට්‍රම්ප්ගේ මව උපන් වර්ෂයයි. මෙය විශේෂත්වයකි. රාත්‍රී භෝජන සංග්‍රහයට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් ද එක් වී සිටියේය.
බ්‍රිතාන්‍ය රාජකීයයන්ගෙන් ලැබුණු පිළිගැනීම තමන්ට ගෞරවයක් බවත්, බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව අතරේ පවතින මිත්‍රත්වය සදා වෙනස් නොවන බවත්, ට්‍රම්ප් ස්තුති කතාවක් ද කළේය.
මේ අතර, ට්‍රම්ප්ගේ ලන්ඩන් සංචාරයට බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් විරෝධයක් ද එල්ල විය. ඒ, ට්‍රම්ප් ජාතිකවාදියකු බව චෝදනා නගමිනි. 500 කට වැඩි බ්‍රිතාන්‍ය වැසියන් පිරිසක් මෙම විරෝධතාවට එක් වී සිටියහ. විරෝධතා පැවැත් වූයේ වින්ඩ්සර් මාලියට ඉදිරිපිටය.

