බල්ගේරියා අගමැති-කැබිනට්ටුව ඉල්ලා අස්වෙයි


යුරෝපයට මෙන්ම යුරෝපා සංගමයට ද අයත්, දුප්පත්ම සාමාජික රාජ්‍යය ලෙස ද සැලකෙන බල්ගේරියාවේ, ජනතා විරෝධත උත්සන්න වීමත් සමඟ අග්‍රාමාත්‍ය රෝසන් ෂෙලියාස්කොව් සහ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය.

පසුගිය සති කීපය පුරාවට බල්ගේරියාවේ, සෝෆියා අගනුවර ඇතුළු ප්‍රධාන නගර රැසක විරෝධතා පැවැත්විණි. ඒ, රටේ ආර්ථික ප්‍රතිපත්ති ජනතා අප්‍රසාදයට පත්වීම සහ රජයේ දූෂණ නැවැත්වීමට අග්‍රාමාත්‍ය ෂෙලියාස්කොව්ට නොහැකි වූ බවට චෝදනා නගමිනි.

රජයට එරෙහි විරෝධතා සඳහා බල්ගේරියා වැසියෝ දස දහස් ගණනක් එක් වූහ. විරෝධතා මර්දනය කිරීමට රජය දැඩි උත්සාහයක් ගත් නමුත් එය සාර්ථක වූයේ නැත.

ඒ අනුව, ඇත්තේ මහජන අපේක්ෂාවන්ට ගරු කිරීමක් වශයෙන් තමන් ධුරයෙන් ඉවත් වන බව අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය. අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීම සිදුවූයේ පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් පැවැත්වීමට නියමිතව තිබියදීය. තමන් ධුරයෙන් ඉවත් වනව බව අග්‍රාමාත්‍යවරයා රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් කියා සිටියේය.

බල්ගේරියාව එලැඹෙන 2026 ජනවාරි පළමු වැනිදා සිට යුරෝ කලාපයට එකතු වීමට සූදානමින් සිටී. ඒ අනුව, බංගේරියාව ඔවුන්ගේ මුදල් ඒකකය ලෙස භාවිතයට ගැනීමට නියමිතව ඇත්තේ යූරෝය. රෝසන් ෂෙලියාස්කොව් අග්‍රාමාත්‍ය ධුරයට පත්වී රජයක් පිහිටුවීම සිදු කළේ මෙම 2025 ජනවාරියේය. එදා සිට මේ දක්වා ඔහු විශ්වාසභංග 5 කට මුහුණ දුන්නේය.