නව පාප්තුමා තෝරා ගැනීමට රෝමයේ වතිකානුවේ සිස්ටයින් දෙව් මැදුරට රැස්ව සිටින කාදිනල්හිමිවරුන් එකසිය පහළොස් දෙනා අතරේ පැවැති රහස් ඡන්දයේ දෙවැනි වටය ඊයේ (13) තීරණයකින් තොරව අවසන් වූ අතර, ඒ බව ලොවට දැනුම් දුන්නේ එම දෙව් මැදුරේ චිමිනියෙන් කළු දුම් වළා නිකුත් කිරීමෙනි.
|
දුම් කවුළුවෙන් කළු දුම නිකුත් වෙමින් |
පාප්තුමා තෝරා ගැනීම සිදු වන්නේ කතෝලික ආගමික වත්පිළිවෙත් සහ සම්ප‍්‍රදායට අනුවය. කාදිනල්තුමන්ලා 117 දෙනකු ලොව පුරා විසිරී සිටියත්, ඡන්ද විමසුම සඳහා වතිකානුවට රැස්ව සිටින්නේ 115 දෙනකු පමණි.
පාප් පදවියට සුදුසුකම් ලබන්නෝ ද කාදිනල් හිමිවරුය. තමන්ට ඡන්දය දීමට කාදිනල්වරයකුට නොහැකිය. පාප්තුමා වීමට නම් ඡුන්ද 77 කට වැඩි ප‍්‍රමාණයක්, එනම් 2/3 ක බහුතර ඡුන්දයක් ලබා ගත යුතුවේ.
මෙවර පාප් පදවියට සුදුසුකම් ලැබූවන් 25 දෙනකු සිටින බව බටහිර මාධ්‍ය පවසන අතර එම 25 දෙනා අතර ශ්‍රී ලංකාවේ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු ද සිටී.
පාප්තුමකු තෝරා ගැනීමට අපොහොසත් වුවහොත් කාදිනල්වරු ඔවුන්ගේ ඡන්ද පති‍්‍රකා පුළුස්සා දමති. එම ඡන්ද පති‍්‍රකා ගිනි තැබීම සිදු කරන්නේ විශේෂ රසායනික ද්‍රව්‍යයක් ද භාවිත කරමිනි. දුම තද කළු පැහැයෙන් යුක්ත වන්නේ එනිසාය.
පාප්තුමකු තෝරා ගතහොත්, ඡන්ද පති‍්‍රකා සාමාන්‍ය පරිදි ගිනි තැබීම සිදු කරන අතර එවිට සිස්ටයින් දෙව් මැදුරේ චිමිනියෙන් නිකුත් වන්නේ සුදු පැහැති දුමකි.
දහස් සංඛ්‍යාත කිතුනු බැතිමත්හු පිරිසක් වතිකානුවේ සිස්ටයින් දෙව් මැදුර ඉදිරිපිට රැස්වී නව පාප්තුමා තෝරා ගන්නා එම අවස්ථාව දැක බලා ගැනීමේ අරමුණින් පෙරේදා (12) සිට නොඉවසිල්ලෙන් බලා සිටිති. නව පාප්තුමකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ කටයුතු ඉදිරි දින කිහිපය තිස්සේ ද පැවැත් වනු ඇතැයි පැවැසේ.
|
නව පාප්තුමා දැක ගැනීමට සිස්ටයින් දෙව් මැදුර ඉදිරිපිටට රැස්ව සිටින පිරිස |
|
සිස්ටයින් දෙව්මැදුරට කාදිනල්තුමන්ලා ඇතුළු වෙමින් ... |
|


