පාකිස්තාන අගමැති අදත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට


අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබ සිටින පාකිස්තාන අගමැති යූසොෆ් රාසා ගිලානි අද (13) එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය. එල්ල වී ඇති චෝදනාවලට ගිලානි වරදකරු වුවහොත්, මාස 6 ක් සිර දඬුවම් විඳීමට සිදුවන අතර අගමැති ධුරය ද අහිමි වනු ඇත. අගමැති ගිලානි සහ පාකිස්තාන රාජ්‍ය නිලධාරීන් රැසකට දූෂණ වංචා චෝදනා එල්ල වී තිබේ. එම චෝදනාවලට නිසි ලෙස නීතිමය කි‍්‍රයාමාර්ග නොගැනීමෙන් පාකිස්තාන අගමැතිවරයාගේ අක‍්‍රියවත්භාවය පෙන්නුම් කෙරෙන බව ද එය අධිකරණයට අපහාස කිරීමක් සේ සැලකෙන බවද පවසමින් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක්  අගමැතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කොට තිබිණ. ඒ අනුව අගමැති ගිලානි ඉකුත් දෙවැනිදා පළමු වරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි අතර නඩුවාරය අදට කල් තැබිණ. අගමැති ගිලානි සිය නීතීඥ අටිසාස් අෂාන් මගින් ඉකුත් සිකුරාදා (10) අභියාචනයක් ද ඉදිරිපත් කළ නමුත් අධිකරණය එය නිෂ්ප‍්‍රභ කළේය. අගමැති ගිලානී ඉකුත් මාසයේ ඇමෙරිකාවේ සී.එන්.ඒ. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා ඇත්තේ අවශ්‍ය නම් සිරබත් කෑමට පවා තමන් සූදානම් කියාය.