ට්‍රම්ප්ගේ ඒබ්‍රහම් ගිවිසුමට කසක්ස්තානයත් එක්වෙයි


යුදෙව් ඊශ්‍රායලය සමඟ යහපත් සබදතා ඇතිකර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් ඇතිකරගත් ඒබ්‍රහම් ගිවිසුමට, මුස්ලිම් බහුතරයක් වෙසෙන කසක්ස්තානය ද සිට එක් විය. මේ බව නිවේදනය කළේ ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ය. ඒ,  ධවල මන්දිරයේ දී මාධ්‍යවේදීන් අමතමිනි.

කසක්ස්තානය අයත් වන්නේ මධ්‍යම ආසියාවටය. ඒබ්‍රහම් ගිවිසුමට එක් වී ඊට අත්සන් තැබූ සෙසු රටවල් වන්නේ, මැදපෙරදිග සහ උතුරු අප්‍රිකා රටවල්ය. ජනපති ට්‍රම්ප්, එ්බ්‍රහම් ගිවිසුම සකස් කළේ සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, මොරොක්කෝව සහ සුඩානය යන රටවල් හවුල් කර ගනිමිනි. ඒ, සිය පළමු ජනාධිපති ධුර කාලයේදීය.

ඒබ්‍රහම් ගිවිසුමෙන් පසු කලක් පස මිතුරක් වුණු ඊශ්‍රායලය සහ එම රටවල් අතරේ සබඳතා සාමාන්‍යකරණය විය. මුස්ලිම් රටවල් සහ ඊශ්‍රායලය අතර අර්බුදය පැවැතියේ පලස්තීනය මුල්කොට ගනිමිනි. 

ගිවිසුමට අදාළව මෙම රටවල් සහ ඊශ්‍රායලය අතරේ ආරක්ෂක, බලශක්ති සහ තාක්ෂණ ක්ෂේත්‍රවලට අදාළව එකඟතාවක් ඇතිකරගෙන තිබේ.

1992 වසරේ සිට කසක්ස්තානය සහ ඊශ්‍රායලය අතරේ විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වුණු නමුත් ඒබ්‍රහම් ගිවිසුමට අස්සන් කිරීමෙන් එම කටයුතු තවත් පුළුල් වනු ඇතැයි පැවැසෙයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ කසක්ස්තාන ජනාධිපති කසීම් ජොමාර්ත් ටොකයේව් අතරේ දුරකතන කතාබහක් ද පැවැත්විණි.

සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු, ලබන 18 වැනිදා වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයට පැමිණ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිතය. එම හමුවේදී ද ඒබ්‍රහම් ගිවිසුම ගැන විශේෂ අවධානයක් යොමු වනු ඇතැයි පැවැසෙයි. ඔටුන්න හිමි සල්මාන් කුමරු සෞදියේ නිල නොවන පාලකයා ලෙස ද කටයුතු කරයි. ඒ සල්මාන් කුමරුන්ගේ පියා සල්මාන් රජු අසනීප තත්වයෙන් පසුවන බැවිනි.