ජෙනරාල් සුලෙයිමානීට අවසන් ගෞරව දක්වන්න විශාල පිරිසක් අහ්වාස් නගරයට


ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවරට ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ ඉරානයේ දෙවැනි බලවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ජෙනරාල් කසීම් සුලෙයිමානීට අවසන් ගෞරව දැක්වීම සඳහා එරට අහ්වාස් නගරයට අද (5) දහස් ගණනක් රැස්වූහ.

නිරිත දිග ඉරානයේ පිහිටි නගරයක් වන අහ්වාස් වෙත අද (5) අලුයම සුලෙයිමානීගේ සිරුර රැගෙන පැමිණි අතර රැස්ව සිටි පිරිස් “අමෙරිකාවට මරණය” යනුවෙන් හඬ නැඟුවේ යැයි එරට අර්ධ රාජ්‍ය පුවත් සේවයක් වන අයි.එස්.එන්.ඒ. පුවත් සේවය වාර්තා කර තිබිණි.

අහ්වාස් නගරයේ වීදි ඇතුළු ඉරානයේ වීදි රැසක් ජනතාවගෙන් පිරී ඉතිරි ගිය අතර ඔවුහු ෂියා ආගමික පාඨ කියමින් පාගමනේ යෙදුණාහ. ඔවුන් අතර සුලෙයිමානීගේ දැවැන්ත ඡායාරූප ද විය. 1980-1988 කාලයේ පැවැති ඉරාන ඉරාක යුද්ධයේ වීරයකු ලෙස හැඳින්වෙන සුලෙයිමානී ඉරානයේ දෙවැනි බලවත්ම පුද්ගලයා ලෙස හැඳින්විණි. හෙතෙම ඉරානයේ විප්ලව හමුදා බළකායේ විදෙස් අංශය වන ‘කුද්ස්’ විශේෂ බළකායේ ප්‍රධානියා විය. ඉරානයේ මැද පෙරදිග යුද මෙහෙයුම්වල මහ මොළකරු වූයේ ද ඔහුය.

ඇමෙරිකානු හමුදා ඩ්‍රෝන යානා යොදාගනිමින් බැග්ඩෑඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ල කළ ප්‍රහාරයකින් සුලෙයිමානී මරුමුවට පත්විය. මිය යනවිට ඔහු 62 වියේ පසුවිය.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අණ පරිදි එම ප්‍රහාරය එල්ල කර තිබිණි. සුලෙයිමානී ඉරානයේ සිටින ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට සහ බැග්ඩෑඞ් නුවර සිටින ඇමෙරිකානු සෙබළුන් 5,200කට ප්‍රහාර එල්ල කිරීමට සැලැසුම් කරමින් සිටි බව ද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කීය.

ඒ.එෆ්.පී.

055