
රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවකින් ජපානය රාත්‍රියේ කැලඹිණි.
ප්‍රබල භූමිකම්පාවෙන් අනතුරුව පසු කම්පන කීපයක් ද හටගත්තේය. භූමිකම්පාවෙන් පුද්ගලයන් 33 දෙනකු තුවාල ලැබූ බවත්, එම 33 දෙනාගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට ද හානි සිදුවිය.
ජපානයේ හොන්ෂු දූපතේ උතුරු කෙළවර වන අඕමෝරි ප්‍රාන්තයට නැගෙනහිර දෙසින් සහ හොකයිඩෝ දූපතට දකුණු දෙසින් මුහුදේ කිලෝමීටර 50 ක් ගැඹුරින් මෙම ප්‍රබල භූමිකම්පාව හට ගත් බව කාලගුණ විද්‍යාඥයෝ පවසති.
භූමිකම්පාවේ ප්‍රබලත්වයත් එය හටගත් ස්ථානයත් සැලකිල්ලට ගනිමින්, සුනාමි අනතුරු ඇගවීම් ද නිකුත් කෙරුණේ මීටර් තුනක් පමණ උසැති සුනාමි රළ වෙරළබඩ ප්‍රදේශවලට කඩා වදිනු ඇති බවය.
කෙසේ නමුත් කඩා වැදුණේ සෙන්ටි මීටර් 40 ක් පමණක් වූ සුනාමි රළ යැයි පසුව වාර්තා විය. එම රළ කඩා වැදුණේ හොකයිඩෝ ප්‍රාන්තයේ උරකාවා නගරයට සහ අඕමෝරි ප්‍රාන්තයේ මුත්සු ඔගාවරා වරායටය. පැය කිපයකන් ගතවෙද්දී, සුනාමි අනතුරු ඉවත් කිරීමට බලධාරීහු කටයුතු කළහ.
ජපාන අග්‍රාමාත්‍ය සනායි තකායිචි මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ භූමිකම්පාවෙන් සිදුවුණු හානිය තක්සේරු කිරීමට බලධාරීන් යොදවා ඇති බවය. භූමිකම්පාවෙන් දෙදරා ගිය කලාපයේ පිහිටි න්‍යෂ්ටික බලාගාරවල ආරක්ෂාව සම්බන්ධයෙන් ද පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට බලධාරීන් පියවර ගත් බව ද අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් කියා සිටියාය.

