ගිනි අවි නීති දැඩි කරනවා: ඕස්ට්‍රේලියා අගමැති කියයි


සිඩ්නි නුවර ‘බොන්ඩි බීච්’ වෙරළේ යුදෙව්වන් ඝාතන සිද්ධියෙන් පසු ගිනි අවි සම්බන්ධ නීති දැඩි කිරීමට අවධානය යොමු කරන බව ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසයි.

ආගමික උත්සවයක් පැවැත්වෙද්දී, යුදෙව්වන් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම කළේ සිඩ්නි නුවර පදිංචි ඕස්ට්‍රේලියානු මුස්ලිම් ජාතිකයන් පියකු සහ පුතෙකි.

මොවුන් දෙදෙනා වෙඩි තැබීම් කළේ මොවුන් නීත්‍යාණුකූලව මිලදි ගෙන මොවුන්ගේ නමට ලියාපදිංචි කළ ගිනි අවිවලිනි. මොවුන් මෙම ගිනිඅවි මිලදී ගෙන තිබුනේ දඩයමේ යෑමේ අරමුණින්ය.

ඕස්ට්‍රේලියාවේ ගිනි අවි නිසා සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා බහුල නොවෙයි. අවසන් වරට මේ අයුරින් සමූහ ඝාතනයක් සිදුවූයේ 1996 වසරේදීය. එම වෙඩි තැබීම සිදුවූයේ ඕස්ටේ්‍රලියාවට අයත් ටැස්මේනියාවේ පෝට් ආතර් නගරයේය.

35 දෙනෙක් එම වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූහ. ඕස්ට්‍රේලියාවේ ගිනි අවි සම්බන්ධ නීති සකස් කිරීම සිදුවූයේ මෙම වෙඩි තැබීමෙන් පසුවය. ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්  මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ රටේ ගිනි අවි සම්බන්ධයෙන් පවතින නීති තවත් දැඩි කිරීමට නව නීති ගෙන එන බවය.