ගඩාෆි පුත් සයිෆ්-බුද්ධි ප‍්‍රධානි අබ්දුල්ලා ජාත්‍යන්තර අධිකරණයට භාරවීමට යති
ඝාතනයට ලක්වූ කර්නල් මුහම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් සහ ගඩාෆිගේ හිටපු බුද්ධි ප‍්‍රධානි අබ්දුල්ලා අල්-සෙනුස්සි හේග්හි පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත භාරවීමට යති.
ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ ගඩාෆිට සිදුවූ ඉරණම ඔවුන්ටද අත්වේයැයි බියෙන් විය යුතුයැයි ලිබියා අන්තර්වාර රජයේ නිලධාරියකුවන අබ්දෙල් මජිඞ් ම්ලෙග්ටා පැවැසීය.
සයිෆ් අල්-ඉස්ලාම් යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය ඉදිරියට පැමිණවීමට අවශ්‍යව සිටි අයෙකි. ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුද නිකුත් කර තිබුණි.
ලිබියාවේ කැරැලිකරුවන් සර්ටේ නගරයේ පිහිටි ගඩාෆිගේ මන්දිරය අත්කර ගැනීමෙන් පසු සායිෆ් අල් ඉස්ලාම් ගැන කිසිම තොරතුරක් මාධ්‍ය මගින් හෝ හෙළිනොවුණි.
ඔහු ලිබියා-නයිජර් දේශසීමාව ආසන්නයේ සැඟවී සිටිතැයි රාවයක් පැතිර ගොස් තිබුණි.
තමාට මෙම ආරංචිය ලැබුණේ නව රජයේ ඔත්තු සේවාවෙන් යැයි පැවසූ අබ්දෙල් මජීඞ්, සායිෆ් හා හිටපු බුද්ධි ප‍්‍රධානි අබ්දුල්ලා අල්සේනුස්හි අසල්වැසි රටක ආධාරයෙන්, හේග්හි ජාත්‍යන්තර අපරාධිකරණය හමුවට යාමට සිතාගෙන සිටින බව පැවසීය. එහෙත්, එම තැරැව්කාර රට කුමක්දැයි මජිඞ් හෙළිකර නැත.
සායිෆ් අල්-ඉස්ලාම්ට හා බුද්ධි ප‍්‍රධානි අබ්දුල්ලා හට නයිජර් රාජ්‍යයෙහි රැකවරණ අවශ්‍ය නම්, අධික මුදලක් දෙන ලෙස නයිජර් බලධාරීන් පවසා ඇති බවද හෙළිවේ.
ගඩාෆි පුතු සයිෆ් හා හිටපු බුද්ධි ප‍්‍රධානි අබ්දුල්ලා ජාත්‍යන්තර යුධාධිකරණයට හමුවට පැමිණේදැයි විමසීමට එම අධිකරණය නිලධාරියකු සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව ලිබියාවේ අන්තර්පාලන රජයේ අබ්දෙල් මජීඞ් පැවැසීය.

