කොංගෝ කණ්ඩායම ඇමෙරිකාවට


සති තුනක නිරෝධායනයකින් පසු කොංගෝ පාපන්දු කණ්ඩායම ඇමෙරිකාව බලා පැමිණියේය. කොංගෝ පාපන්දු කණ්ඩායම නිරෝධායනයට ලක් කෙරුණේ බෙල්ජියමේදීය. ඒ ඔවුන් පාපන්දු තරගාවලියට සහභාගී වීමේ අරමුණින් යුරෝපය හරහා ඇමෙරිකාව බලා යද්දීය.

නිරෝධායන කාලසීමාව අවසන් වූ පසු පාපන්දු කණ්ඩායම ප්‍රංශයේ පැරිස් අගනුවර හරහා ඇමෙරිකාව බලා ගුවන්ගත වුණැයි ද පැවැසෙයි.

මේවනවිට කොංගෝවෙන් යළිත් වරක් ‘ඉබෝලා’ වයිරසය හිස ඔසවා ඇත. ඉබෝලා වසංගත තත්ත්වයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනතුරු අගවා ඇත.

ඒ අනුව, කොංගෝවේ සිට පැමිණෙන සියලු දෙනා සති කීපයක් නිරෝධායනයට ලක් කිරීමට රටවල් රැසක් පියවර ගෙන ඇත. මෙවර පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන්නේ ඇමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල එකමුතුවෙනි.

අප්‍රිකා කලාපයේ රටවල් රැසක කණ්ඩායම් පාපන්දු ලෝක කුසලනයට සහභාගී වෙයි. ක්‍රීඩකයන් පමණක් නොව, අප්‍රිකා රටවලින් පැමිණෙන ක්‍රීඩා ලෝලීන් පවා නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇත.

වර්තමාන ‘ඉබෝලා’ වසංගතයට හේතුව, බුණ්ඩිබුග්යෝ නමැති වයිරස ප්‍රභේදයයි. මීට පෙර අප්‍රිකාවෙන් ව්‍යාප්ත වුණු ඉබෝලා වසංගතයට හේතුව ‘සයරේ’ ප්‍රභේදයයි. ‘සයරේ’ ප්‍රභේදයේ ද ආරම්භය කොංගෝ රාජ්‍යයයි. අතීතයේ කොංගෝව හැඳින්වූ නාමය ‘සයරේ’ යන්නය. මෙම ප්‍රභේදයට සාර්ථක එන්නක් නිපදවා ඇත.

බුණ්ඩිබුග්යෝ වයිරස ප්‍රභේදයේ ඇති විශේෂත්වය වන්නේ, මෙය ඉතා වේගයෙන් මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන බවය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ, බුණ්ඩිබුග්යෝ වයිරස ප්‍රභේදය ගැන අනිසි බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවත්, වයිරසය අප්‍රිකා කලාපයට පමණක් සීමා වී ඇති බවත්ය.