චීනය අසල පිහිටි තායිවානය, කෘත්‍රිම බුද්ධි පද්ධති සඳහා අවශ්‍ය මයික්‍රෝ චිප්, අර්ධ සන්නායක සහ අධි-කාර්ය සාධන පරිගණක තාක්ෂණ මෙවලම් ආදී නිෂ්පාදන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ලෙස ඉදිරියෙන් පසුවෙයි.
තායිවාන ජනාධිපති ඊයේ (20) මාධ්‍ය හමුවේ කියා සිටියේ, ඒ.අයි. ක්ෂේත්‍රයේ, තායිවානය ලැබූ ලාබය, තායිවාන වැසියන් අතරේ බෙදා දීමට තමන් යෝජනා කරන බවය.
ඒ අනුව, සෑම පුරවැසියකුටම ලබන වසරේදී තායිවාන ඩොලර් 10,000ක (ශ්‍රී ලංකා රුපියල් 30,000) මුදලක් ලබා දීමට තායිවාන ජනාධිපති ලායි චිං-තෙ යෝජනා කර ඇත. තායිවාන ජනාධිපතිවරයා මෙම මුදල් නම් කර ඇත්තේ 'ඒ.අයි. ලාභාංශ' ලෙසය.
තාක්ෂණික ක්ෂේත්‍රයේ ශීඝ්‍ර වර්ධනය හේතුවෙන් ලැබෙන ආර්ථික වාසි සාමාන්‍ය ජනතාව වෙත ද ගලා යා යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැහැදිලික කර තිබේ.
තායිවාන පාර්ලිමේන්තුව විසින් මේ වසර අවසානයට පෙර 2027 මධ්‍යම රජයේ අයවැය අනුමත කළහොත්, ලබන වසරේ පෙබරවාරි මාසයේ දී මෙම විශේෂ දීමනාව ජනතාව අතට පත් කිරීමට සැලසුම් කර ඇතැයි ද පැවැසෙයි. ජනාධිපතිවරයාගේ පාලක 'ඩිමොක්‍රටික් ප්‍රෝග්‍රෙසිව්' පක්ෂය මීට පෙර මෙවැනි මුදල් සහන ලබා දීමට එරෙහි වූ නමුත්, ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් ජනප්‍රියවාදී තීරණයක් ලෙස මෙසේ ස්ථාවරය වෙනස් කර ඇති බව විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන්ගේ අදහසය.
එසේ වුවත්, ජනාධිපති ලායි ප්‍රකාශ කළේ සමාජයේ පවතින ආර්ථික අසමානතාවය අවම කර සියලු ජන කොටස් වෙත තාක්ෂණික දියුණුවේ ප්‍රතිලාභ ලබා දීම මෙහි එකම අරමුණ බවය.

