කළුකුමන්ලාට ට්‍රම්ප්ගෙන් සමාව


මරණයට කැපවුණු කළුකුමන් දෙදෙනකුට අභයදානය ලබා දීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත්තේය.

ඇමෙරිකානුවන්ගේ තුති පුද කිරීමේ දිනය දා රාත්‍රී භෝජන සංග්‍රහයේ අනිවාර්ය අංගය රෝස්ට් කළ කළුකුම් මස් ය. තුති පුද කිරීමේ නිවාඩු දිනයට පෙර, කළුකුමන් දෙදෙනකුට අභයදානය ලබා දීම ඇමෙරිකන් ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබයි.

මරණයට කැපවුණු කළුකුමන් දෙදෙනකුට අභයදානය දීම ඒ අනුව, ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ සම්ප්‍රදාය වී ඇත. එය සෑම වසරක තුතිපුදකිරීමේ උත්සවයට සමගාමීව ධවල මන්දිරයේ රෝස් ගාඩ්න් උද්‍යානයේ දී සිදුවෙයි.

මෙවර, ට්‍රම්ප්ට අනුව, කොන්දේසි විරහිතව කළුකුමන් දෙදෙනාට සමාව ලැබුණි. සමාව ලැබුණේ ගොබල් සහ වැඩ්ල් නමැති කළුකුමන් දෙදෙනාටය. අභයදානය හිමිවන කළුකුමන්, සිවි ඇති තෙක් නිදහසේ ජීවත් වීමට ගොවිපොළකට යැවීම සිදුවෙයි.

මෙම අවස්ථාවට ධවල මන්දිර කාර්ය මණ්ඩලය, උප ජනාධිපති ජේඩී වැන්ස් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් පමණක් නොව, ඇමෙරිකන් ජනාධිපති ආර්යාව මෙලානියා ද සහභාගී වූවාය.

නත්තල වෙනුවෙන් මේ වනවිට ධවල මන්දිරය හැඩ ගැන්වෙයි. සාම්ප්‍රදායිකව නත්තල් ගසක් ධවල මන්දිරයේ සැරැසීම ද සිදුවෙයි. ධවල මන්දිරයට නත්තල් ගස රැගෙන ඒම සිදුවුණු අතර එය බාර ගනු ලැබුවේ, මෙලානියා විසිනි.