එප්ස්ටින් වාර්තා ප්‍රසිද්ධ කරන්න අනුමැතිය


ලිංගික අපරාධකරුවකු යැයි චෝදනා ලැබූ ජෙෆ්රි එප්ස්ටින්ගේ ගනුදෙනු සහ ඔහු ඇසුරු කළ පුද්ගලයන් සම්බන්ධ වාර්තා ප්‍රසිද්ධියට පත් කරන්නැයි ඉල්ලා ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) සම්මත කරගත් පනත් කෙටුම්පතට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අස්සන හිමිවිය. ජෙෆ්රි එප්ස්ටින්ගේ ගනුදෙනු සහ ඔහු ඇසුරු කළ පුද්ගලයන් අතරේ ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් ද සිටීම විශේෂත්වයකි.

ඇමෙරිකන් කොංග්‍රසය යනු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ එකතුවය. එප්ස්ටයින් සම්බන්ධ ලිපිගොනු ප්‍රසිද්ධියට පත් කරන්නැයි ඊට අදාළ පනත් කෙටුම්පත කොංග්‍රස් මණ්ඩලය හමුවට ඉදිරිපත් කෙරුණු අතර, ඊට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඡන්ද 427-1 ක් ලෙස පනත් කෙටුම්පත අනුමත කර ගත් අතර, සෙනෙට් මණ්ඩලය කිසිදු විධිමත් ඡන්දයකින් තොරවයි පනත් කෙටුම්පත ඒකමතිකව අනුමත කර ගැණුනි. එය ජනාධිපති ට්‍රම්ප්ට යොමු  කෙරුණේ ඉන් අනතුරුවය.

ප්‍රසිද්ධ මූල්‍යවේදියකු වූ ජෙෆ්රි එප්ස්ටයින් 2019 අගෝස්තු 10 වැනිදා දිවි නසා ගත්තේය. ඒ, නිව්යෝක් නුවර මැන්හැටන් රැඳවුම් මධ්‍යස්ථානයක සිටියදීය. එප්ස්ටයින් ධනවත් පුද්ගලයන් සහ දේශපාලනඥයන් සමඟ පැවැත්වූ සමීප සබඳතා හේතුවෙන් ප්‍රසිද්ධ විය.

2008 දී බාලවයස්කාර දැරියන් සම්බන්ධ ලිංගික අපරාධ චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසු, 2019 දී එප්ස්ටයින් නැවතත් බාලවයස්කාර දැරියන් ජාවාරම් කිරීමේ ෆෙඩරල් චෝදනා යටතේ අත්අඩංගුවට ගැනුණි. නඩු විභාගයට පෙර සිර මැදිරිය තුළදී එප්ස්ටයින් මියගිය අතර, එය දිවි නසා ගැනීමක් ලෙස තීන්දු කෙරුණි.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එප්ස්ටයින් අතර මිත්‍රත්වය 1980 ගණන්වල සිට 2004 තෙක් පැවැතිණි. එප්ස්ටයින්ගේ අපරාධ හෙළිදරව් වීමෙන් පසු තමන් වසර 15 ක් තිස්සේ එප්ස්ටයින් සමඟ ඇයිහොඳයිකමක් පැවැත්වූයේ නැතැයි ට්‍රම්ප් පවසා ඇත.