ඉරානයට එරෙහිව දැනටමත් අප‍්‍රකාශිත යුද්ධයක් By None // 2012 ජන 20 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළ අඩපණ කිරීම සඳහා එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර රටවල් ඉරාන තෙල් අපනයනය ඉලක්ක කර ගත් සම්බාධක පැනවීමට ක‍්‍රියා කරන ආකාරයත්, ඒ නිසා මැද පෙරදිග තවත් යුද්ධයක් හට ගැනීමේ අනතුරත් ගිය සතියේ දී ද සාකච්ඡා කෙළෙමු. එම අනතුර මේ සතිය වන විට යථාර්ථයක් වන බවට සාධක රැසක් දක්නට ලැබිණ. ඉන් වැදගත්ම සිද්ධිය වන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළ හා සම්බන්ධ ප‍්‍රමුඛ විද්‍යඥයකු වන මුස්තාපා අහමඩි රොෂාන් තෙහෙරාන් නගරයේදීම ඝාතනය කිරීමය. තම කාරයට කාන්දම් බලයෙන් අලවා තිබූ බෝම්බයක් පිපිරීමෙන් විද්‍යඥයා සහ ඔහුගේ රියැදුරා මිය ගියහ. සිද්ධිය පිළිබඳව කිසිවකු වගකීම භාර නොගත් නමුත් මෙය ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළ එල්ල කර ව්‍යාපාරයේ කොටසක් බවට කිසිදු සැකයක් නැත. පසුව ඉරාන රජයෙන් නිකුත් කළ ප‍්‍රකාශයකින් විද්‍යාඥයා සහ ඔහුගේ රියැදුරා ඝාතනය කිරීම එක්සත් ජනපද සී.අයි.ඒ. සංවිධානයේ සහ ඊශ‍්‍රායෙලයේ මොසාඞ් ඔත්තු සේවයේ මෙහෙයුමක් බව සඳහන් කෙළේය. රොෂාන් ඝාතනය පසුගිය වසර දෙකක කාලය ඇතුළත ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළ හා සම්බන්ධ විද්‍යඥයින් ඝාතනය කිරීමේ සිව් වැනි අවස්ථාවයි. පුද්ගලයන් ඝාතනය කිරීමට අමතරව ඉරානයේ නටාන්ස්හි පිහිටි න්‍යෂ්ටික මධ්‍යස්ථානයක විශාල පිපිරීමක් සිදු වූ අතර ඉන් ඉරාන මිසයිල වැඩ සටහන පිළිබඳ අධ්‍යක්‍ෂවරයකු මරුමුවට පත් වූ බව ද වාර්තා විය. ඊට අමතරව මෙම මධ්‍යස්ථානවල පරිගණක යන්ත‍්‍රවලට ඇතුළු වූ ස්ටක්ස්නෙට් (Stuxnet) නම් වයිරසයක් නිසා ප‍්‍රතික‍්‍රියාකාරක ක‍්‍රියාත්මක කිරීම මාස ගණනාවක් පසු පසට දැමීමටත් එම වයිරසය ඉවත් කිරීම වෙනත් මෘදුකාංග සකස් කිරීමටත් සිදු විය. මේ සියල්ලෙන් පෙනී යන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළ එල්ල කර ගත් ප‍්‍රහාරය සාම්ප‍්‍රදායික ස්වරූපයෙන් සිදු නොවන බවය. පාබල සේනා, ගුවන් යානා හෝ මිසයිල යොදා කරන ප‍්‍රහාරයකට වඩා ඉලක්ක කර ගත් පුද්ගලයන් ඝාතනයෙන් හා හඳුනාගත් මධ්‍යස්ථාන විනාශ කිරීමෙන් සිය අරමුණ ඉටු කර ගැනීමට එක්සත් ජනපදය හා ඊශ‍්‍රායෙලය සූදානම් වන බවය. සමහර නිරීක්‍ෂකයන් සඳහන් කරන ආකාරයට මෙවැනි ප‍්‍රහාර අඩු වියදමෙන් කළ හැකිය. තමන්ගේ පාර්ශ්වයෙන් සිදු වන ජීවිත හානි ද අවම කර ගත හැකිය. අනෙක් කාරණය වන්නේ මෙම සිද්ධී පිළිබඳ වගකීම නිශ්චිත වශයෙන් කිසියම් රටකට හෝ සංවිධානයකට ඍජුවම එල්ල කිරීමට නොහැකි වීමය. මෙම ප‍්‍රහාරයන්ට ඊශ‍්‍රායෙලය සම්බන්ධ බවට ප‍්‍රසිද්ධියේ කරන ලද එකම ඉඟිය වන්නේ මෙම වසර ආරම්භයේදීම ඊශ‍්‍රායෙලයේ ආරක්‍ෂක ඇමතිවරයා පසුගිය වසරේ සිදු වූ ආකාරයට න්‍යෂ්ටික වැඩ පිළිවෙළ හා සම්බන්ධ පුද්ගලයන් ඝාතනය වීම වැඩි විය හැකි බවට කළ අනතුර හැඟවීමය. එක්සත් ජනපදය ඒ ගැන කිසිත් සඳහන් කෙළේ නැත. එසේ වුවත් සී.අයි.ඒ. ඔත්තුකරුවන් ඉරානය තුළ ක‍්‍රියාත්මක වන බවට කිසිදු සැකයක් නැත. එවැනි එක් පුද්ගලයකුට මීට සති කීපයකට පෙර ඉරාන අධිකරණයෙන් මරණ දඬුවම නියම විය. වැදගත් වන්නේ පුද්ගලයන් හා ස්ථාන එල්ල කර ගත් මෙම ප‍්‍රහාර ත‍්‍රස්තවාදී ක‍්‍රියාවලින් වෙනස් වන්නේ කෙසේ ද යන්නයි. මෙවැනි ඝාතන හා පිපිරවීම් ඊශ‍්‍රායෙල් හෝ ඇමරිකානු ඉලක්කවලට සිදු වූයේ නම් එය නිසැක වශයෙන්ම ත‍්‍රස්තවාදී ක‍්‍රියා ලෙස හැඳින්වීමටත් ඊට අනුබල දුන්නේ යැයි සැක කරන රටවලට එරෙහිව ප‍්‍රහාර එල්ල කිරීමටත් ඔවුන් කිසි විටෙකත් පසුබට වන්නේ නැත. ඇෆ්ගනිස්ථානයේ තලෙබාන් පාලනය පෙරළා දැමීමට දැවැන්ත හමුදා මෙහෙයුමක් දියත් කළේ එම රට ත‍්‍රස්තවාදීන්ට අනුබලය දෙන්නේය යන චෝදනාව මතය. එම තර්කය අනුව ඉරානය ද ඊශ‍්‍රායෙලයේ මොසාඞ් ඔත්තු සේවයේ මධ්‍යස්ථානයකට හෝ න්‍යෂ්ටික අවි ගබඩා කර ඇති ස්ථානයකට පහර දුන හොත් කෙබඳු තත්ත්වයක් ඇති විය හැකි ද? ඇත්තෙන්ම නැවත වරක් පසුගිය සතියේ සිදු වූ ආකාරයේ ප‍්‍රහාරයක් සිදු වුව හොත් ඉරානය ද එවැනිම පියවරක් ගැනීමට සූදානම් යැයි ඉඟි කර තිබිණ. එවිට මහත් විනාශකාරී ගැටුමකින් ඇති විය හැකි ජීවිත හා දේපල විනාශය තක්සේරු කිරීමට ද නොහැකි වනු ඇත. මේ අතරතුර මෙම වසන්තයේ දී එක්සත් ජනපද හමුදා භටයන් 6000ක් සමග ඊශ‍්‍රායෙලය සිදු කිරීමට නියමිතව තිබූ හමුදා අභ්‍යාසය කල් දැමීමට තීරණය කර ඇති බව ද වාර්තා විය. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ ඊශ‍්‍රායෙලයේ හමුදා වියදම් කපා හැරීමය. ඊට අමතරව පසුගිය සතියේ දී සිදු කළ ආකාරයට ඉලක්ක කර ගත් පුද්ගලයන් ඝාතනය කිරීමෙන් සිය අරමුණු ඉටු කර ගැනීමට හැකි වනු ඇතැයි ඊශ‍්‍රායෙලය හා එක්සත් ජනපදය අදහස් කරනු විය හැක. එය පහසු හා අඩු වියදම් උපාය මාර්ගයක් වුව ද සෑම අතකින්ම ත‍්‍රස්තවාදී ක‍්‍රියා ලෙස හැඳින්විය හැකි එවැනි ක‍්‍රියා වඩ වඩාත් උත්සන්න වීමෙන් පාලනය කළ නොහැකි ප‍්‍රචණ්ඩත්වයක් ලොව පුරාම උද්ගත විය හැකි බව ද අමතක කළ යුතු නැත. සටහන -මහින්ද හත්තක Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත