ඉම්රාන් ජීවතුන් අතර සිටිනවැයි ඔප්පු කරලා නෑ


රාවුල්පිණ්ඩි නුවර අඩියාලා බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජීවතුන් අතර සිටින බවට කිසිදු පැහැදිලි සාක්ෂියක් තවමත් තමන්ට ලැබී නොමැති බව, ඉම්රාන් නියෝජනය ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ දේශපාලන පක්ෂය පවසයි.

2022 දී විශ්වාසභංගයකින් ධුරය අහිමිවීමෙන් පසු, දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී, සිරදඬුවම් විඳින ඉම්රාන් බන්ධනාගාරයේ දී මියගොස් ඇති බවටත්, පාකිස්තාන රජය එය වසං කිරීමට උත්සාහ ගන්නා බවටත් ‘තරීක් ඊ ඉන්සාෆ්’ දේශපාලන පක්ෂය පමණක් නොව, ඉම්රාන්ගේ සොහොයුරියන් සහ පුත්‍රයා ද චෝදනා නගා ඇත.

පාකිස්තාන රජය දිගින් දිගටම පවසා ඇත්තේ, ඉම්රාන් ඛාන් යහතින් සිටින බවත්, ඔහු අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර පවා කිසිදු බාධාවකින් තොරව ලැබෙන බවත්ය. බන්ධනාගාරයේ සෙසු රැඳෙවියන්ට වඩා ඉම්රාන්ට පහසුම් ලබා දි ඇති බවත් පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය ඛවාජා අසීෆ් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

ඉම්රාන් ඛාන් යහතින් සිටිනවාද නැද්ද යන්න ඔප්පු කරන්නැයි පාකිස්තාන රජයට බල කරමින් දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට ‘තර්ක් ඊ ඉන්සාෆ්’ පක්ෂය මේ වනවිට සුදානම් වෙමින් සිටින බව ද පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.