ඉන්දියාවත් නවසීලන්තයත් අතරේ නව වෙළෙඳ ගිවිසුමක්


දුරකතන සාකච්ඡාවකින් අනතුරුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් අතරේ නව නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇතිකරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, නවසීලන්තය සමග ඇති කර ගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ද්විපාර්ශ්වික ආර්ථික සම්බන්ධතා තවත් ශක්තිමත් කර ගැනීමට හැකිවනු ඇති බවය.

මෙම නව නිදහස් වෙළඳ ගිවිසුම දෙරට අතර උපායමාර්ගික සහයෝගීතාව ශක්තිමත් කර විවිධ අංශ හරහා දෙරටේ නවෝත්පාදකයින්, ව්‍යවසායකයන්, ගොවීන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සිසුන් සහ තරුණයන් සඳහා නව අවස්ථා විවෘත කරන බව ද එම අමාත්‍යංශය පැහැදිලි කර ඇත.

ඉදිරි වසර පහ ඇතුළත ද්විපාර්ශ්වික වෙළඳාම දෙගුණ කිරීම මෙන්ම ඉදිරි වසර 15 තුළ නවසීලන්තයෙන් ඉන්දියාවේ ඇමෙරිකන් ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් පිළිබඳව මෝදි සහ ලක්සන් අතරේ සාකච්ඡා කෙරුණු බව ද පැවැසෙයි.

මෙම වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන්, නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ඉන්දියාව සමඟ එළඹි වෙළඳ ගිවිසුම හරහා රටේ අපනයනකරුවන්ට වාසි රැසක් ගෙන එන විශිෂ්ට ගනුදෙනුවක් බවය.

නව ගිවිසුම මගින් ඉන්දියාවට කරන අපනයනවලින් සියයට 95ක් සඳහා තීරුබදු අඩු කිරීම හෝ ඉවත් කරන බවත්, එය ගොවීන්, නිෂ්පාදකයින් සහ අපනයනකරුවන්ට සහාය වන බවත් නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කර ඇත.