ඉන්දියාව එක්ක පැටළෙන්න බය නෑ - පාකිස්තානය


ඉන්දියාව සමඟ යුද වැදීමට කිසිදු බියක් නොමැති බවත්, ඕනෑම මොහොතක ඉන්දියාව සමඟ යුද්ධයක් ඇවිලිය හැකි බවත් පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් පවසයි. 

පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ ‘සාමා ටීවී’ රූපවාහානී නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
‘අප (පාකිස්තානය) කිසිම අවස්ථාවක ඉන්දියාව විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේමයි අප කිසිම අවස්ථාවක ඉන්දියාව නොසලකා හරින්නේත් නැහැ. ඉන්දියාවෙන් අපට කෙණහිලිකම් එල්ල වෙනවා. ඉන්දියාවත් පාකිස්තානයත් අතර යුද්ධයක් යළි ඇති නොවේවි යැයි මට සහතික වෙන්න බැහැ. ඕනෑම වෙලාවක, ඉන්දියාව සමඟ යුද වැදීමට අප සීරුවෙන් සිටිනවා’ යැයි පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් පවසා ඇත.

පසුගිය දා නවදිල්ලි අගනුවර පුපුරා ගිය කාර් බෝම්බය සහ ඊට අදාළව ඉන්දු කාශ්මීරයේ මුස්ලිම් වෛද්‍යවරුන් කීප දෙනකු අත්අඩංගුවට ගැනීමත් සමඟ ඉන්දියාවත් පාකිස්තානයත් අතර යළි නොසන්සුන්තාවක් වර්ධනය විය. අත්අඩංගුවට ගත් මෙම වෛද්‍යවරුන් පාකිස්තාන ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්ත කල්ලිවලට සහාය දැක්වූවන් බව මේ වනවිට අනාවරණය වී ඇත.
ඉන්දීය බුද්ධි අංශ සහ රජය චෝදනා නගන්නේ, මෙම ඉස්ලාමීය බෙදුම්වාදී කල්ලිවලට රැකවරණය මෙන්ම අනුග්‍රහය ද ලබා දෙන්නේ පාකිස්තාන රජය සහ හමුදාව බවටය.

ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතරේ ද මේ වනවිට අර්බුදයක් පවතී. ඊට එක් හේතුවක් වී ඇත්තේ, ඇෆ්ගන් තලේබාන් පාලකයන්, ඉන්දියාව සමඟ යහපත් සබඳතා පැවැත්වීමය.