
අයවැය සම්මත කර ගැනීමට නොහැකි වීමෙන් අඩපණ වුණු ඇමෙරිකන් රජය, යළි පණ ගැන්වීම සඳහා තාවකාලික අරමුදල් පැකේජයක් සම්මත කර ගැනීමට ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ එකඟත්වයක් ඇති කර ගැනුණි.
මෙම තාවකාලික අරමුදල් පැකේජයට අදාළ පනත් කෙටුම්පත සකස් කෙරුණේ ද පාලක රිපබ්ලිකන්වරුන් සහ ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් අතරේ දීර්ඝ වශයෙන් පැවැති සාකච්ඡාවලින් පසුවය. ඉන්පසු අදාළ පනත් කෙටුම්පත කොංග්‍රසයට (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) ඉදිරිපත් කෙරුණි.
පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කොංග්‍රස් මණ්ඩලයේ ඡන්ද විමසුමක් පැවැත්වීමට නියමිතව තිබුණු අතර, සම්මත වුණු පනත් කෙටුම්පතට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය අස්සන යෙදීම කළ යුතුය. ඊට තව දින දෙකක් හෝ තුනක් ගතවනු ඇතැයි පැවැසෙයි.
නව මූල්‍ය වර්ෂය සඳහා අයවැය සම්මත කර ගැනීම නොවැම්බර් මස මුලදී කළ යුතු විය. සෞඛ්‍ය සේවා සහ සෞඛ්‍ය පහසුකම් සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ තීන්දු තීරණ ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන්ගේ විරෝධයට හේතු වූ බැවින් මත ගැටුම් නිර්මාණය විය.
එම තීන්දු තීරණවලට ඇතුම් රිපබ්ලිකන්වරුන්ගේ ද විරෝධයක් එල්ල විය. ඒ අනුව, අයවැය සම්මත කර ගැනීමට නොහැකි වී රජය දින 40 කට වැඩි කාලයක් තිස්සේ අඩපණ විය. මෙය ඇමෙරිකන් ඉතිහාසයේ සිදුවුණු දීර්ඝතම අඩපණ වීම යැයි පැවැසෙයි.

