ඇමෙරිකන් ගොවීන්ට ඩොලර් බිලියන 12 ක සහන පැකේජයක්


ඇමෙරිකන් ගොවීන් වෙනුවෙන් ඩොලර් බිලියන 12 ක සහන පැකේජයක් හඳුන්වා දෙන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර ඇත.

ට්‍රම්ප් ප්‍රමුඛ ඔහුගේ රජය, රටවල් රැසක් සමඟ වෙළෙඳ යුද්ධයක පැටළී සිටී. ඒ, තීරු බදු පැනවීම් සිදු කරමිනි. විදේශවලින් ආනයනය කරන භාණ්ඩ මත ඇමෙරිකාව පනවා ඇති ඉහළ තීරු බදු පෙරළා ඇමෙරිකානුවන්ට ද බලපෑම් එල්ල කර තිබේ. එසේ බලපෑමට ලක්වුණු වැඩිදෙනා ඇමෙරිකන් ගොවීන්ය.

ගොවීන් වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන 12 ක මෙම සහන පැකේජය ලබා දීම සිදුවනු ඇත්තේ ද ඇමෙරිකාව විදේශවලට පනවා ඇති තීරුබදු මුදල්වලින් යැයි ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමෙරිකන් ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

ඇමෙරිකාව වෙළෙඳ යුද්ධයට මුල පිරුවේ චීනය සමඟය. ඇමෙරිකාව චීන භාණ්ඩවලට තීරු බදු පනවද්දී, චීනය පෙරළා ඇමෙරිකාවට තීරු බදු පැනැවීය. මේ වනවිට ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ මෙම තීරු බදු සම්බන්ධයෙන් එකඟත්වයක් ඇති කරගෙන තිබේ.