ඇමෙරිකන් ආරක්ෂක ලොක්කෝ යුක්රේනයට


රුසියන් යුක්රේන යුද්ධයට නතර කිරීමට නව සාම සැලැස්මක් සම්බන්ධයෙන් යුක්රේන ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවී සාකච්ඡා කිරීමේ අරමුණින්, ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයේ ආරක්ෂක ප්‍රධානීන් කණ්ඩාමක් යුක්රේනයේ කීව් අගනුවරට පැමිණි බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම කණ්ඩායමට නායකත්වය දුන්නේ, ඇමෙරිකන් හමුදා ලේකම් ඩෑන් ඩ්‍රිස්කෝල් ය. ඩ්‍රිස්කෝල් සමඟ ඇමෙරිකන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රැන්ඩි ජෝර්ජ්, යුරෝපයේ ඇමෙරිකන් හමුදා අණදෙන නිලධාරී ජෙනරාල් ක්‍රිස් ඩොනාහු සහ ඇමෙරිකන් හමුදාවේ මේජර් මයිකල් වෙයිමර් ද යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියහ. 

කීව් අගනුවරට පැමිණි මෙම පිරිස පිළිගනු ලැබුවේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය ඩෙනිස් මිහාල් විසිනි. ඩ්‍රිස්කෝල් සහ ජෙනරාල් රැන්ඩි ජෝර්ජ්, යුක්රේනයට පැමිණි ඇමෙරිකන් හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් යැයි ද පැවැසෙයි.

ඊයේ (20) ඩෑන් ඩ්‍රිස්කෝල් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අත​රේ හමුවක් පැවැත්වීමට ද නියමිතව තිබුණි. රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමට ඇමෙරිකාව මේ වනවිට නව සාම සැලැස්මක් සකස් කරමින් සිටී. ඒ, මීට පෙර සකස් කළ සාම සැලැසුම් සියල්ල අසාර්ථක වූ බැවිනි.

රුසියන් යුක්රේන යුද්ධය කඩිකමින් නැවැත්වීමට මැදිහත් වීම ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡන්ද පොරොන්දුවකි. ට්‍රම්ප් අවස්ථා කීපයක දී යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පවත්වා ඇත. 

ඊට අමතරව, ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ ද  මුහුණට මුහුණ හමුවක් පැවැත්විණි. ට්‍රම්ප් පුටින් දෙවැනි හමුවක් ද යෝජනා වූ නමුත් එය සාර්ථක නොවිණි.

ඇමෙරිකන් ආරග්ෂක අංශ ප්‍රධානීන් මෙසේ යුක්රේනයට යද්දී පවා රුසියන් හමුදා යුක්රේනයේ ටෙරනෝපිල් නගරය ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් මියගිය යුක්රේන වැසියන් ගණන 26 කි. මියගිය එම 26 දෙනා අතරේ, කාන්තාවන් සහ කුඩා දරුවන් ද සිටින බව යුක්රේන රජය පවසා ඇත.