අසැබි දසුන් නැරඹූ කර්නාටක ඇමැති තිදෙනාට ජනතා විරෝධය
ප‍්‍රාන්ත සභා සැසිවාරය අතරතුරේ ජංගම දුරකතනයක් ඔස්සේ අසැබි දසුන් නැරැුඹීම පිළිබඳ චෝදනා ලැබීමෙන් පෙරේදා (8) ඉල්ලා අස්වූ භාරතීය ජනතා පක්ෂ ඇමැතිවරුන් තිදෙනා ප‍්‍රාන්ත සභාවෙන් ද නෙරපා දමන්නැයි කර්ණාටක ප‍්‍රාන්ත වැසියෝ ඊයේ (9) වීදි බැස විරෝධතා පැවැත්වූහ.
එම විරෝධතා සංවිධානය කර තිබුණේ ජනතා දාල් පක්ෂය සහ කොංග‍්‍රස් පක්ෂයයි. කර්ණාටක ප‍්‍රාන්තයේ බලය රැඳී ඇත්තේ භාරතීය ජනතා පක්ෂය සතුවය.
ධුරවලින් ඉල්ලා අස්වූයේ සමූපකාර කෘෂිකාර්මීක අලෙවි ඇමැති ලක්ෂ්මන් සෙවාදී, කාන්තා හා ළමා සංවර්ධන ඇමැති සී.සී. පටිල් සහ පරිසර ඇමැති කි‍්‍රෂ්ණා පලේමාර්ය.
කර්ණාටක ප‍්‍රාන්ත සභාව පෙරේදා පැවැත්වෙද්දී ඇමැති සෙවාදී සහ පටිල් ජංගම දුරකතනයකින් අසැබි දසුන් නරඹමින් සිටි අයුරු ප‍්‍රාන්ත සභා සැසිවාරයේ කටයුතු වාර්තා කිරීමට එහි ගොස් සිටි රූපවාහිනී කණ්ඩායමක් සජීවීව ප‍්‍රවෘත්ති නාළිකා ඔස්සේ විකාශය කළහ.
එම ප‍්‍රාන්ත සභා සැසිවාරය පැවැත්වුණේ ඉකුත් ජනවාරි පළමු වැනිදා කර්ණාටක ප‍්‍රාන්තයේ උතුරු දිගින් පිහිටි සින්දගී නගරයේ හින්දුවරුන් පිරිසක් පාකිස්තාන ධජයක් එසවීම සම්බන්ධයෙන් සෑම දෙනාගේම අවධානය යොමු කිරීමේ යෝජනාවලියක් ප‍්‍රාන්ත සභාවට ගෙන ඒම පිණිසය.
සෙවාදී සහ පටිල් අසැබි දසුන් නරඹමින් සිටියේ පරිසර ඇමැති පලේමාර්ගේ ජංගම දුරකතනයෙනි. ඇමැතිවරුන් තිදෙනාගේ කි‍්‍රයා කලාපය මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය වීමත් සමඟ භාරතීය ජනතා පක්ෂයට, ප‍්‍රාන්ත මහ ඇමැති ඞී.වී. සදානන්ද ගොව්ඩාට සහ ආණ්ඩුකාරවරයා වන එච්.ආර්. බරාවාජීට කර්ණාටක ප‍්‍රාන්ත වැසියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වන්න විය.
එම අවස්ථාවේදී ඇමැතිවරුන් තිදෙනා කැමැත්තෙන්ම සිය ධුරවලින් ඉල්ලා අස්වූ බවත් ඉල්ලා අස්වීමේ ලිපි තමන් වෙත බාර දුන් බවත් කර්ණාටක ප‍්‍රාන්ත මහ ඇමැති සදානන්ද ගොව්ඩා පවසයි. එම ඇමැතිවරුන් තිදෙනාගේ කි‍්‍රයා කලාපය ගැන විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන බව ද මහ ඇමැති සදානන්ද පවසා ඇත.

