අනවසර සංක්‍රමණිකයන්ට පිටවී යන්න ඩොලර් 3,000 ක්


ඇමෙරිකාවේ සිටින ලේඛනගත නොවුණු අනවසර සංක්‍රමණිකයන්, එරටින් පිටවී යෑමට අදහස් කරන්නේ නම්, ඔවුන්ට ඇමෙරිකන් ඩොලර් 3,000 බැගින් මුදල් ලබා දීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළ බව, ඇමෙරිකන් ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසා ඇත.

මෙම මුදල ලබා ගැනීමට, එම අනවසර සංක්‍රමණිකයන්, ඔවුන් වෙනුවෙන් සකසා ඇති ඇප් එක හරහා ස්වයං පිටුවහල් වීමකට කැමැත්ත පළ කළ යුතු බව ද පැවැසෙයි. මෙය නත්තල නිමිතිකොට ගනිමින් කරන දිරි ගැන්වීමක් බව ද ඇමෙරිකන් ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයෙම් පෙන්වා දී ඇත්තේ, ලියාපදිංචි නොවී ඇමෙරිකාවේ රැඳී සිටින අනවසර සංක්‍රමණිකයන්ට මෙය හොඳ අවස්ථාවක් බවත්, එයින් ප්‍රයෝජන ගැනීම මැනවි බවත්ය.

මේ වනවිට නීතිවිරෝධී ලෙස ඇමෙරිකාවේ රැඳී සිටින පිරිස් අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීම සිදුවෙමින් පවතී. ට්‍රම්ප් පරිපාලනය ස්වේච්ඡාවෙන් පිටව යන පුද්ගලයන් සඳහා ඇමෙරිකන් ඩොලර් 1,000 බැගින් ලබා දුන් අතර, නත්තල නිමිත්තෙන් එම මුදල 3,000 තෙක් වැඩි කර ඇතැයි ද පැවැසෙයි.