සෑම වැඩිහිටියන් හය දෙනෙක්ගෙන් එක් අයෙක්ම කිනම් හෝ මානසික රෝගාබාධයකින් පෙළෙනවාලු


අදහස්‍ දැක්වීම - ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ, වෘත්තීය මාර්ගෝපදේශක, මනෝ චිකිත්සක, මනෝ උපදේශක, අකිල ඖෂධ බණ්ඩාර 


2050 වන විට වැඩිහිටි ජනගහනය බිලියන 2.1 ක් වන බවට පුරෝකථනය කර තිබේ.  මේ සමග මානසික ආබාධයන්ගෙන්  පෙළෙන වැඩිහිටියන් ප්‍රමාණයද ඉහළ යනු 
ඇත. එම නිසා වැඩිහිටි දිනය සැමරීමට වඩා වැඩිහිටි දිනය වෙනුවෙන් කලයුතු දේ බොහෝය. 

 

වෙනදාට සාපේක්ෂව දරුවන්ගේ මානසික සංකූලතාවයන් වල වැඩි වෙලා  

අද වන විට දරුවන් තුළ තිබෙන්නා වූ විවිධාකාර  ගැටලු රාශියක් අපට දක්නට ලැබෙනවා. අපේ සායනයන් වලදී හමුවන දරුවන් තුළ සමාජීය වශයෙන් තිබෙන්නා වූ ප්‍රශ්න, චර්යාත්මක ප්‍රශ්න , මානසික ප්‍රශ්න, තමන්ට දැනෙන්නා වූ සංවේදනයන් පිළිබඳ ප්‍රශ්න ආදී වශයෙන් ගැටලු රාශියකට මේ දරුවන් මුහුණ දෙනවා. වෙනදාට සාපේක්ෂව දරුවන්ගේ මානසික සංකූලතාවයන් වල වැඩි වීමක් මේ වන විට අපට දක්නට ලැබෙනවා. 

අධි ක්‍රියාකාරී දරුවන්, ආහාර ගැටලු තිබෙන දරුවන්, කාංසාමය තත්ත්ව තිබෙන දරුවන්, විශාදය තත්ත්වයේ පසුවන දරුවන්, පෞරුෂ ව්‍යාබාධ තත්ත්වයන් තිබෙන දරුවන්, සංවර්ධනාත්මක ගැටලු තිබෙන දරුවන්, විවිධාකාර වූ ජානමය හේතූන් නිසා බුද්ධිමය ව්‍යාබාධයන් තිබෙන දරුවන් යනාදී වශයෙන් බොහෝ දරුවන්ගේ ගැටලු අපට දක්නට ලැබෙනවා.  
දරුවන්ට මෙවැනි තත්ත්වයන් ඇතිවීමට හේතු සොයා බැලිය යුතුයි. එහිදී පෙනී යන්නේ ප්‍රධානම හේතුව ලෙස දරුවාගේ හුදෙකලා බවයි. අද වන විට දරුවන් දෙමාපියන්ගෙන්, වැඩිහිටියන්ගෙන් ඈත් වෙලා. ඒ තුළ දරුවාගේ තිබෙන සාමාජීය, චර්යාමය, සංවේදී  කුසලතාවයන් අඩු වෙලා තිබෙනවා. දරුවන්ට කතා කරන්න කෙනෙක් නැහැ. 
විශේෂයෙන්ම මේ ආර්ථික තත්ත්වය නිසා අද වන විට වැඩිහිටියන්, දෙමාපියන් සියලුමදෙනා ශ්‍රමිකයන් බවට පත් වී තිබෙනවා. ඒ තුළ හැමෝම කාර්යබහුල වී තිබෙනවා. මූල්‍යමය අරමුණු මත පදනම්ව පමණක් දෙමාපියන් කටයුතු කිරීම නිසා දරුවන්  බලාපොරොත්තු වන ඒ ජීවිතය දරුවන්ට අහිමි වී තිබෙනවා. දරුවන් වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද සහ කළ හැක්කේ කුමක්ද යන දේ වැඩිහිටියන්ට අමතක වී තිබෙනවා. 
බොහෝ වෙලාවට දරුවන් ජංගම දුරකථනයට ඇබ්බැහි වෙලා තිබෙනවා කියලා චෝදනා කරනවා. නමුත් දරුවන් මේ ජංගම දුරකථනයට ඇබ්බැහි වෙලා තියෙන්නේ ඇයි කියන දේ ඔබ සොයා බලා තිබෙනවාද? මේ සඳහා 90%ක්ම වගකිවයුතු වන්නේ දෙමාපියන් සහ වැඩිහිටියන්. 


දැන් දරුවන්ට කැළවිලි ගී නෑ 

ඉස්සර පුංචි දරුවන්ට නිදාගන්න නැළවිලි ගීත ගායනා කළා. අද දරුවන් නිදාගන්න විට නැළවිලි ගීත කියන්නේ නැහැ. දරුවා ඇතැම් වෙලාවට තෙහෙට්ටුවටමයි නිදාගන්නේ. ඇතැම් වෙලාවට තමන්ගේ අම්මා, තාත්තා ආදරයෙන් සලකයි කියන බලාපොරොත්තුවෙන් දරුවන් සිටිනවා. 

සමහර වෙලාවට දරුවන් නිදාගන්නෙම ෆෝන් එක දිහා බලාගෙන. අද වන විට දරුවන්ට ආහාර ගැනීම සඳහාත් ජංගම දුරකථනය ලබාදීමට සිදුවී තිබෙනවා. අතීතයේ දුවා දරුවන්ට ආහාර කැවීම සඳහා ගෙවත්තේ සිටින කුරුල්ලන්, සතුන්, ගස් වැල්, අහස, ඇළ දොළ පෙන්වුවා. අද දරුවන්ට එවැනි දේ උරුම නෑ. අද වන විට දරුවන් කෘත්‍රිම වූ පරිසරයක හැදෙනවා, වැඩෙනවා. අපි එම දරුවන්ට අනුකම්පා කළ යුතුයි. නමුත් දරුවන් ඒ තත්ත්වයට පත්වෙන්නේම අපි නිසයි. එම නිසා දරුවන් යම්තාක් දුරකට මේ සමාජය තුළ අසරණ වෙලා. දරුවන්ගේ මොළය විකෘති වෙලා තියෙනවා. ඒ සඳහා වැඩිහිටියන් වශයෙන් අපි වග කියන්න ඕන. 
අතීතයේ තිබුණේ විස්තෘත පවුල්. ඒ විස්තෘත පවුල් තුළ ආච්චි, සීයා, නැන්දා මාමා ලොකු අම්මා ලොකු තාත්තා, බාප්ප, පුංචි මේ හැමෝම හිටියා. එතකොට දරුවාට තනිකමක් දැනෙන්නෙ නෑ. ඒ සමාජය ඇතුළෙ අම්මා, තාත්තා කාර්යබහුල වුණත් දරුවාට තනිකමක් දැනෙන්නෙ නැහැ. ආච්චි සීයා දරුවන්ව බලා ගත්තා. කතන්දර කියල දුන්නා. ජනශ්‍රැතිය තියෙන බොහෝ දෑ දරුවන්ට ඉගැන්නුවා. දරුවන්ගේ අධ්‍යාපනය පෝෂණය කරන්න ආච්චි, සීයා ලොකු පිටිවහලක් වුණා. දැන් ඒ තත්ත්වය වෙනස්.


ළමා දිනය වගේම වැඩිහිටි දිනය අමතක කරන්න බෑ

ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව ලෝකයේ දැනට බිලියනයකට ආසන්න වැඩිහිටි ජනගහනයක් ජීවත් වෙනවා.  මෙම අගය 2030 වන විට බිලියන 1.4 බවට පත්විය හැකි අතර 2050 වන විට එම අගය බිලියන  2.1 බවට පත්වන බව පුරෝකථනය කර තිබෙනවා. මෙය සැලකිය යුතු කාරණයක්. ලෝක ජනගහනයෙන් සෑම හය දෙනෙකුගෙන්ම එක් අයෙක් වැඩිහිටියෙක් වනවා. වැඩිහිටියන් යනු අත්දැකීම් බහුල යම්කිසි සේවාවක් හෝ යම් රැකියාවක් කරපු පිරිසක් වන නමුත්  වයසට යෑම ලෝකයේ මේ වන විට ගැටලුවක් වී තිබෙනවා.ලාංකිකයන් ලෙස මෙය එතරම් තැකීමකට ලක් නොකරාට වයසට යෑම ගැටලුවක් බවට ලෝකය තුළ පත් වී තිබෙනවා.   අද වන විට  සෑම වැඩිහිටියන් හය දෙනෙකුගෙන්ම එක් අයෙක් කිනම් හෝ මානසික රෝගාබාධයකින් පෙළෙනවා. වයස අවුරුදු 60 ට වැඩි අයගෙන් 14% ක් කුමන හෝ මානසික ආබාධයකින්  පෙළෙනවා. 

 

වැඩිහිටියන්ට ඇති ගැටළු මනෝවිද්‍යාත්මකව විමසිය යුතුයී 

වැඩිහිටියන්ට තිබෙන ගැටලු මනෝවිද්‍යාත්මකව ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදෙනවා.  එහිදී තනිකම, සමාජීය හුදෙකලා බව ‍ප්‍රධානවම දක්නට ලැබෙනවා. බොහෝවිට පවුල තුළම වැඩිහිටියන් හුදෙකලා බවට පත් වී තිබෙනවා. 

එම නිසා අපි වැඩිහිටියන් දිහා බලන දෘෂ්ටිකෝණය මුලින්ම ඉවත් කර ගත යුතුයි. 
පෙර කාලයේ ආච්චි, සීයා කුඩා දරුවන් සමග  ළඟ සිටියා. නමුත් අද වන විට එය බොහෝ දුරස් වී තිබෙනවා. ඒ හේතුවෙන් වැසිහිටියන් සමාජයේම කොන් වී තිබෙම බවක් පෙමෙනවා. ඒ තුළ ඔවුන් ආකල්පමය වශයෙන්ද හුදකලා බවට පත්වී තිබෙනවා. ඒ තුළින් වයස්ගත වීම කිසි වැඩක් නැති බවට පත්වී තිබෙනවා. 

එම නිසා මූලිකවම අපි වැඩිහිටියන් දෙස බලන දෘෂ්ටි කෝණය වෙනස් කරගත යුතුයී . මෙම දෘෂ්ටි කෝණය වෙනස් කරගත යුතුයී . ආකල්පමය වශයෙන් සමාජීය සංවර්ධනයක් ඇතිකරගත යුතුයී.  

 

වැඩිහිටියන්ට රැකවරණය  පමණක් ප්‍රරමාණවත් නෑ

වැඩිහිටියන් රැක බලාගන්නවා කියා ආහාර පාන ලබා දී නිවසේ තබා ගැනීම ප්‍රමාණවත් නෑ. දෙමාපියන්ව විනෝද චාරිකා රැගෙන යෑම, ඔවුන් කැමති පොතක් පතක් අරන් දීම, ආගමික කටයුතු වලට යොමු කිරීම යනාදියත් ඉටුකළ යුතුයි. 
ඇතැම් වයස්ගත දෙමාපියන් මුණුපුරන් බලාගැනීමට පමණක් නිවෙසේ තබාගෙන සිටිනවා. මේ නිසාම ආගමික කටයුත්තක නියැළෙන්න, ඔවුන්  ආසා දෙයක් කරන්න ඔවුන්ට අවස්ථාව නැහැ. එම නිසා දෙමාපියන් රැකබලා ගැනීමේදී ඔවුන් ආසාවෙන් කරන වැඩවලට සහය දෙන්න පුරුදු වෙන්න. මෙලෙස කටයුතු කිරීමෙන් දරුවන් සහ දෙමාපියන් අතර ඇති සම්බන්ධතාවය තව තවත් වැඩිදියුණු කිරීමට හැකියාව ලැබෙනවා.                                                                                                                                                                                                               පියුමිකා වීරසූරිය