වෘත්තීකයෙකුට බැන වදින්න,අපහාස කරන්න,පහර දෙන්න,තවත් වෘත්තීකයෙකුට බලය භාවිතා කරන්න පුළුවන්ද?


නීතිමය පසුබිම

කිසිම කෙනකුට තම වෘත්තිය හෝ තත්වය භාවිතා කරලා වෙනත් කෙනකුට පහර දීම හෝ අපහාස කිරීම කරන්න බැහැ. පහරදීම හෝ අපහාසය ශ්‍රී ලංකා නීතිය යටතේ වරදවල් වෙනවා. පහරදීම අනිවාර්යයයෙන්ම ශ්‍රී ලංකා නීතිය යටතේ අපරාධමය වරදක් වෙනවා. ඊට තරාතිරම වැදගත් නැහැ. නීතිය සැම දෙනාටම සමානයි. ඒ වගේම යම් පුද්ගලයකු (නිළධාරියකු හෝ සාමාන්‍ය පුද්ගලයකු හෝ වේවා) නීති විරෝධී අයුරින් හැසිරීම සිදු කරන්නේ නම් ඊට විරුද්ධ වීම හෝ ප්‍රතිරෝධය දැක්වීම කරන්න පුළුවන්. නමුත් ඊට සීමා පවතිනවා. එවන් අවස්ථාවක් රාජකාරියට බාධා කිරීම හෝ සාපරාධි බලහත්කාරය වශයෙන් අර්ථ දැක්වීම වැරදියි. කෙසේ නමුත් එවන් අවස්ථාවකදී කිසිම කෙනකුට නීතිය අතට ගෙන තවත් කෙනකුට අපහාස වන අයුරින් කටයුතු කිරීම කළ නොහැකියි. නීතියේ දක්වා ඇති නිසි ක්‍රියාදාමය අනුගමනය කර පැමිණිල්ලක් කිරිම මගින් යුක්තිය ඉෂ්ඨ කරගත යුතු වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නීතිය යටතේ තවත් පුද්ගලයෙකුට පහර දෙන්න  තවත් පුද්ගලයෙකුට බෑ. එය දණ්ඩ නීති සංග්‍රහයේ 314 වගන්තියේ සිට ඉදිරියට සඳහන් වගන්ති වල සදහන් වනවා. එහිදී තුවාල සිදු කිරීම වෙනුවෙන්  ඊට අදාල දඩුවම් හිමිවනවා. ඊට අමතරව පුද්ගලයෙකුට කිසිම නිළයක් දරන හෝ  සාමාන්‍ය  පුද්ගලයෙකුට හෝ කිසිම  විදියකින් පහර දෙන්න ,දඬුවම් කරන්න, අපහාස කරන්න හැකියාවක් නෑ. දණ්ඩ නීති සංග්‍රහයේ 43 වන වගන්තියේ "තුවාලය" (Injury) යන්න අර්ථ දක්වා  තිබෙනවා එහිදී "කායික වශයෙන් හෝ මානසික වශයෙන් හෝ කීර්තියට හෝ දේපල වලට නීති විරෝධීව කරනු ලැබූ පීඩාවක්" යනුවෙන් අර්ථ දක්වා තිබෙනවා. ඒ අනුව මානසික වශයෙන් කකරනු ලබන පීඩාවක්ද "තුවාලයක්" වශයෙන් අර්ථ දැක්විය හැකියි.
වර්ථමානයේදී ශ්‍රී ලංකා නීතියේ "සාපරාධී අපහාසය" කියන අපරාධමය වරද අයින් වෙලා තියෙන්නේ. නමුත් සාමාන්‍ය පුද්ගලයෙකුට අපහාස කලොත්   සිවිල්  අපහාස නීතිය යටතේ කටයුතු කරන්න පුළුවන්. 
දඬුවම්  කිරීම වගේම අපහාස කිරීමත් මෙරට නීතිය තුළ සදහන් වනවා. 
 සාපරාදී අපහාසය ලෙස කොටසක් අතීතයේදී  පැවතුනා, එනම් අපහාස කරාම අපරාධමය වරදක් නිර්මාණය කරන්න පුලුවන් බව. නමුත් දැනට ශ්‍රී ලංකා නීතියෙන් එය ඉවත් වෙලා තියෙනවා. එය සංශෝධනය වී තිබෙනවා. නමුත් සිවිල් වශයෙන් අපහාසය සම්බන්ධයෙන් වන්දි අය කරවා ගැනීම සදහා  නඩු පවරන්න හැකියාව තියෙනවා. ඕනෑම පුද්ගලයෙකුට තමන්ට අපහාසයක් සිදුවුණා නම් ඒ සඳහා අපහාස නීතිය යටතේ කටයුතු කරලා  නඩු පවරලා වන්දි ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා.

රාජකාරියට බාධා වන ආකාරයෙන් බැනවැදීම අපහාසයක් ද?

අපහාස කිරීම සහ රාජකාරියට බාධා කිරීම දෙකක්. පුද්ගලයෙක් රාජකාරියේ නියැළිලා රාජකාරී කටයුත්තක් සිදුකරමින් සිටින අතරතුර තවත් පුද්ගලයෙකුට අපහාස වන අයුරින් හෝ වෙනත් කිසිදු අයුරකින් බැණ වැදීමට හැකියාවක් නැහැ. තමන්ට එවැනි අසාධාරණයක් සිදු වූවානම් ඊට අදාළ ආයතනයට පැමිණිල්ලක් සිදු කළ හැකියි. එවිට ඊට අදාළව නීතිය ක්‍රියාත්මක වෙනවා. නමුත් නීති අතට ගන්න කාටවත් අයිතියක් නැහැ.  එහිදී වෙනත් පුද්ගලයෙකුට අපහාස වන ආකාරයෙන් කටයුතු කරන්න හැකියාවක් නැහැ. නිලධාරියෙක් වුවද තමන්ගේ රාජකාරි සීමාව ඉක්මවා ගොස් බලය පාවිච්චි කරන්න කටයුතු කරන්න කිසිම හැකියාවක් නැහැ. ඒ වගේ අවස්ථා වලදී නීතියේ නිසි ක්‍රියාදාමය අනුගමනය කර කටයුතු කිරීම වැදගත් වෙනවා.

(නීති උපදෙස් - නීතිඥ සුමුදු ලියනාරච්චි)

ආයතනික රෙගුලාසි අනුව 

කිසිම වෘත්තියක ඉන්න කෙනෙක්ට තවත් වෘත්තියක නියැලී සිටින කෙනෙක්ට ඒ වෘත්තීය  අධිකාරි බලය පාවිච්චි කරලා රාජකාරියට බාධා කරන්න හෝ ගරහන්න, තලා පෙළන්න, පහර දෙන්නමේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බලයක් , අයිතියක් නැහැ. රාජකාරිමය අවස්ථාවේදී දෙන්නෙක් අතර හෝ ආයතනික මට්ටමෙන් කුමන  හෝ  ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටළුව විසඳා ගන්න අදාළ ආයතනික නීති රෙගුලාසි අනුව හෝ රටේ ව්‍යවස්ථාව අනුව  නැත්නම් ගැටළු විසඳාගන්න වෙනත් ආයතන තියෙනවා,ඒවා අනුගමනය කරන්න ඕනේ. ඒ ඇරෙන්න කිසිම අවස්ථාවක ඒ දෙන්නා ඒ ප්‍රශ්නය  බහින්බස් වීමකින් හෝ අපහාස කර ගැනීමකින් හෝ පහරදී ගනිමින් ගැටලුව විසඳාගන්නට යාම සාමාන්‍ය ශිෂ්ඨසම්පන්න සමාජයක අනුමත කරන්නේ නැහැ.උදාහරණයක් විදිහට පාරේ වාහන දෙකක් හැප්පුනහම ඒ දෙන්නා ඒ ප්‍රශ්නය පාර මැද්දෙ විසඳගන්න යාම ප්‍රායෝගික නැහැ වගේ වැඩක්. මේ රටේ හැටියට සෑම ආයතනයකම ප්‍රශ්න විසඳා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒ ක්‍රමවේදී අනුව ඒ ආයතනය තුළ  විසඳාගන්නට බැරි නම් ඊට සහය වෙන්න පුළුවන් දෙවන පාර්ශ්වයක් වෙත ගිහිල්ලා විසඳාගන්න ක්‍රමවේදත් තියෙනවා. ඒ වගේ ආයතනත් රටේ ඕන තරම් තියෙනවා. ඒ විදිහට මේ ගැටලු විසඳාගන්න එක කරනව ඇරෙන්න ඒ දෙන්නගෙ වෘත්තීය  භාවිත කරලා  ඒ දෙන්නගේ සිතැඟි පරිදි මේ ගැටලුව විසඳා ගැනීම අනුමත කරන්න බැහැ.

(මානව සම්පත් කළමණාකරණ උපදෙස් මත)

 

වෘත්තීය මාර්ගෝපදේශ අනුව 

වෘත්තීමය ක්ෂේත්‍රයක් තුළ  වෘත්තීමය වශයෙන් පුද්ගලයෙක් එම වෘත්තීය භාවයට පත්වීම පිළිබඳව සෑම කෙනෙකුටම වටිනාකමක් තිබෙනවා. අපේ රටේ මේ වෘත්තීන්ට දෙන වටිනාකම් වෙනස් වෙලා තියෙනවා.  එය ඉතාම හොඳ දෙයක් වගේම නරක පැත්තක්ද තිබෙනවා.   එහිදී   උදාහරණයක් ලෙස විශ්ව  විද්‍යාල ආචාර්යවරයෙක් එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. ප්‍රවීණතාවය මත ඔවුනට ගෞරවයක් ලැබෙනවා. එය අපි පිළිගත යුතු කාරණයක්. නමුත් අද ලංකාවේ තිබෙන දේ තමයි යම් යම් වෘත්තීන් තුළ ඔවුන් කරන සේවාවට වඩා ඒ සේවාව අභිබවා ගිය යම් තත්ත්වයක් හදාගෙන තිබෙනවා. ඕනෑම තනතුරකට යම් තත්ත්වයක් තිබෙනවා.  නමුත් අපි ඒක පමණට වඩා අධි තක්සේරුවක සිටිනවා. මේ අපේ සංස්කෘතිය තුළ අධ්‍යාපන ක්‍රමය තුළ සාදා තිබෙන දෙයක්. මෙහි හොඳ නරක විමසනවාට වඩා ලෝකය දෙස බලන විට මේ සෑම වෘත්තීය භාවයකටම යම් වටිනාකමක්  කබා දී තිබෙනවා. 
උදාහරණයක් ලෙස නගර සභාවේ පිරිසිදු කරන පුද්ගලයෙක් ඒ වැඩ කටයුත්ත නිසි පරිදි සිදු නොකරනවානම් අපේ නගරයට කුමක්ද වෙන්නේ? මාර්ගවලට මොකක්ද වෙන්නේ?  නමුත් අපි උදෑසන රැකියාවට යන විට ඉතාම පිරිසිදු මාර්ග, නගර දක්නට ලැබෙනවා. ඒ එම පිරිසිදු කරන පුද්ගලයන් ඉතාම වෙහෙස මහන්සි වී මේ පිරිසිදු  කිරීමේ කටයුතු සිදුකරන නිසයි. නමුත් අපි එම රැකියාව වෘත්තීමය භාවය තුළ වැඩිදියුණු කර නැහැ. ඒ සඳහා නිසි ප්‍රමිතීන් ඇති කරනැහැ. නමුත් එම රැකියාව සඳහාත් නිසි ප්‍රමිතියක් ඇති කළොත් මීට වඩා දියුණුවක් ඇති කරගන්න පුළුවන්. 

 සමාජය විවිධ ආකාරයෙන් ඔවුන්ගේ රැකියාව තුළ උස්, පහත්කම් තීරණය කරගෙන තිබෙනවා. ඒ කාගෙවත් වරදක් නොවෙයි . ඒ සමාජය විසින් ඇතිකරනන ලද්දක්. එහිදී පෙනීයන්නේ බලය සහ තත්ත්වය සඳහා තිබෙන්නා වූ තරගයක්. එම නිසා අපි කළ යුත්තේ සෑම වෘත්තීයකටම වෘත්තීය පිළිගැනීමක් ඇති කිරීමයි. අධිකාරිත්ව බලයත් සමග තමයි බලය හෝ තත්ත්වය මිනිසුන් අතරේ තරගයක් ඇතිවෙන්නේ. 

ඊට අමතරව ඇතැම් අයට වෘත්තීය ඊරිසියාවක් ඇතිවෙන්න පුලුවන් .   ඇතැම් වෙලාවට වෘත්තීය පිළිබඳව ඇතිවන දැඩි ආඩම්බරය, ආත්මාර්ථකාමීත්වය නිසා වෘත්තීකයන් විසින් සමහර වෙලාවට තමන්ගේ පහළ ස්ථානවල සිටින වෘත්තීන් පහළ දැමීම සහ පීඩාවට පත් කිරීම දකින්න පුළුවන්. 

සමාජයක් ලෙස ගත් විට සෑම වෘත්තීයක්ම අපිට වටිනවා. වෛද්‍යවරයා, නීතිඥවරයා ,ගුරුවරයා, පොලිස් නිලධාරියා ,පෙදරේරුවන්,විදුලි කාර්මිකයන්,පිරිසිදු කරන්නන් යන විවිධ ක්ෂේත්‍රයන් වල රැකියාව සිදු කරන සියලු දෙනාගේම වෘත්තීන්ට අපි ගරු කළ යුතුයි. මම යෝජනා කරන්නේ අනෙකාගේ වෘත්තියට ගරු කළ යුතුයි. එලෙස වෘත්තීමය සුදුසුකමක් ලබාගන්න බැරි තැන්වලට එම වෘත්තීය සුදුසුකම ඇතිවන ආකාරයට ප්‍රමිතියක් ඇතිකිරීම වඩාත් වැදගත්. 

 (වෘත්තීය  මාර්ගෝපදේශනය  - ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ , අකිල ඖෂධ බණ්ඩාර)                                                                                                                                                                                              පියුමිකා වීරසූරිය, D.N.අභයවර්ධන