අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට සුබද ?


 '

 

  • වෘෂභ, කන්‍යා, තුලා, වෘශ්චික, මකර, මීන ලග්න හිමියන් අපේක්ෂා කළ සැලසුම් කළ වැඩ අතපසු වී අපේක්ෂා නොකළ දෙයකින් හදිසි වාසියක් සතුට සැනසුම අතරම දුක් දොම්නස්.  

මේෂ, මිථුන, කටක, සිංහ, ධනු, කුම්භ ලග්න හිමියන්ට ආර්ථික ප්‍රගතිය හා තනතුරු නිලතල වරප්‍රසාද සමඟ ජීවියේ නව සුභදායී වෙනසක්.   

සියලු පැතුම් ඉටුවන වරසක් 

මේෂ ලග්නයට අනුව ලග්නාධිපති කුජ හා යෝගකාරක රවි ගුරු බලයෙන් යුක්තව රාජයෝග සහිතව නව වසර උදාවන මොහොතේ සිටම වසර ශුභඵලදායී අයුරින් ගතවීමට හේතු වේ. එබැවින් මෙම වසර තුළ ඔබගේ ආර්ථික රැකියා විවාහ ආදී කාර්යයන්හි වැඩි දියුණුවට කටයුතු පිළියෙල වේ. ස්වයං හා හවුල් ව්‍යාපාරික වශයෙන් අලුත් යමක් ක්‍රියාත්මක කිරීමේ බලවත් ආශාවක් මතු වන්නේය. හිඟ මුදල් ලාභයක් ද අතට ලැබේ. ව්‍යාපාරික ගැටලු නිරාකරණය වන වසරකි. විශේෂ දියුණුවකට මග පෑදෙනු ඇත. මෙම වසර තුළදී ඔබගේ සියලු අධ්‍යාපනික කටයුතු සිතැඟි පරිදි අපේක්‍ෂා කළ අයුරින් කරගෙන යා හැක. පොතපත කියවීමටත්, දැනුම බුද්ධිය වර්ධනය කර ගැනීමටත් ආශාවෙන් කටයුතු කරයි. ශිෂ්‍යත්ව ලාබාදිය හිමිවීමටත් බලය ඇත.   


විශේෂයෙන් විවිධ තරාතිරමේ අයගේ උදව් උපකාර මත අනාගත දියුණුවට හේතු වන කාර්යයන් රැසක් ඔබට මෙම වසර තුළ සකස් වෙනු ඇත. එසේම මෙම වසර ගතවූ වසරට සාපේක්ෂව පැහැදිලි සුබඵල රැසක් ගෙන දෙනු ඇත. ගරු නම්බු ලැබේ. මිල මුදල් ලාභ ගෙනදෙනු ඇත. එසේම තනතුරු නිලතල වරප්‍රසාදයන් ද මෙම වසර තුළ හිමිවන්නේය. පසු කලෙකදී වැඩි ලාභ උපයා ගැනීමට හැකි වන ලෙසට තමා නිරත ව්‍යාපාරයේ නව වෙනසක් ඇති කර ගනී. බලපෑ අලාභ පාඩු පියවා ගත හැකි වසරකි. පොදුවේ මෙය ඔබට නව ආදායම් මාර්ග ගොඩනැගෙන වසරක් ද වේ. දිගු කාලයක් තිස්සේ තමන්ට විසඳා ගැනීමට නොහැකිව තිබූ ආර්ථිකමය, වෘත්තීමය සහ සමාජමය ගැටලු විසඳා ගැනීමට හැකිවේ. ඒත් සමඟම වෙනදට වඩා ඉතා පහසුවෙන් තමන් කරන වැඩ කටයුතුවලින් ප්‍රතිඵල ළඟා කරගනී. රැකියාවේ උසස් වීම් බලාපොරොත්තු වෙනවා නම් මෙය යහපත් වසරකි. අලුත් ව්‍යාපාරයක්, අධ්‍යාපන කටයුත්තක් නැවත ආරම්භ කිරීමටද සුබදායක වසරකි.   


ඔබට මෙම නව වසර තුළ ආලය පිළිබඳ කටයුතු පහසුවෙන් ඇති කර ගත හැක. සහකරු සහකාරියගේ පවුලේ අයගෙන් බලාපොරොත්තු වූ යමක් ලැබීමෙන් සිතට සතුටක් ගෙනදේ. ප්‍රේම දිවිය හොඳින් ගතවේ. ආදර සබඳතාවක හෝ විවාහ දිවියේ පැවති ප්‍රශ්නයක් පවුලේ ඥාතියෙකු මාර්ගයෙන් විසඳා ගත හැක.   

 

 

අභියෝග මැඬගෙන ඉදිරියට යන්න 

වෘෂභ ලග්නයට අනුව නව වසරේ ග්‍රහ ගමන සුබාසුබ මිශ්‍ර අයුරින් පවතින නිසා උදාවන අලුත් අවුරුද්ද ඔබේ වැඩ කටයුතු ක්‍රියාකාරකම් කෙරෙන්ද සුබ අසුබ මිශ්‍ර බවක් පෙන්නුම් කරයි. අධිෂ්ඨානශීලිව සැලසුම් සහගතව අත්‍යාවශ්‍ය වැඩ කටයුතු රාජකාරින්හි නියැලීමෙන් ප්‍රගතියක් අත්පත් කරගත හැක.   


පොදුවේ ඔබට මෙම වසර තුළ අභියෝග මැඩගෙන ඉදිරිය කරා ගමන් කිරීමට සිදුවනු ඇත. එසේම රැකී රක්ෂා කටයුතුවලට මෙන්ම තම වෙළද ව්‍යාපාර ආදී කටයුතුවලට බලපෑ අවහිර බාධා ප්‍රශ්නකාරී ස්වභාවයන් කිහිපයක් ද පහව යනු ඇත. ඇතැම් අවස්ථාවල යම් යම් අවහිර බාධා ප්‍රමාදයන් මධ්‍යයේ තම දෛනික කාර්ය කටයුතු කර ගැනීමටත් සිදුවෙයි. රැකියාවට අදාළව උසස්වීමට බාධාවන ආකාර නොයෙක් අවහිරකම් මතු වේ. ගොවිතැන් කටයුතුවලටද ඉඩකඩම්වල කටයුතුවලට ද කරදර පාඩු සහ අවහිරකම් ඇතිවේ. සමහරවිට ඒවායේ අලාභහානි හෝ පැටලුම් සිදුවෙයි. ඒත් සමඟම රැකී රක්ෂාවලට පසුගිය වසරේදී මතුවූ නොයෙක් ගැටලු පැටලීම් මෙම වසර තුළ ක්‍රමයෙන් පහව යයි. නිරත රාජකාරියෙන් හා ආයතනයෙන් ඉවත්ව නව දියුණුවක් වෙනුවෙන් අලුත් වැඩ කටයුතුවලට හෝ රැකී රක්ෂාවලට සම්බන්ධ වන්නටත් සිදුවෙයි.   


පොදුවේ ඔබ මෙම වසර තුළදී උදාසීන හා අකර්මන්‍ය ස්වභාවයෙන් මිදී පොතපත කටයුතුවල නියුතු වන්න. ගුරු දෙගුරුන්ගේ දෝෂ දර්ශනයට ලක්වන ක්‍රියාවන්හි නිරත නොවී අපේක්‍ෂිත අධ්‍යාපනික ඉලක්ක සපුරා ගැනීමට උනන්දුවෙන් ක්‍රියා කරන්න.   


මෙම වසර තුළ පොදු වශයෙන් ඔබ විවාහ දිවියේ කටයුතු හා ප්‍රේම දිවියේ කටයුතුවලදී වඩාත් ඥාණාන්විතවන්න. නැතහොත් ආදර දිවියේ හා යුග දිවියේ තෘප්තිමත් බවක් මෙම වසර තුළ ඔබට ගෙන නොදේ. නුසුදුසු ප්‍රේම සබඳතා හා රහස් සබඳතාවන්ද ගොඩනැඟීම තුළින් විවිධ ප්‍රශ්නයන්ට අපවාද චෝදනාවන්ටත් ලක්වීමේ ප්‍රවණතාවක් ඇති බැවින් දූරදර්ශීව ක්‍රියා කරන්න.  

 

අප්‍රේල් 21 න් පසුව සුබදායී වෙනසක් 

මිථුන ලග්නයට අනුව ධර්ම කර්මාධිපති රාජයෝග බලයක් උදාව පවතින හෙයින් ඔබට මෙම අලුත් අවුරුද්ද ශුභදායී අයුරින් ගතවෙයි.   


පොදුවේ ඔබට මෙම අප්‍රේල් මස 21න් පසු පවත්නා තත්වයේ සැලකිය යුතු යහපත් වෙනසක් බලාපොරොත්තු විය හැක. අනාගත සුබසිද්ධිය උදෙසා කටයුතු සාර්ථක කර ගැනීමටත් මෙහිදී අවස්ථාව උදාවේ. තම වැඩ කටයුතුවලට සමාජයේ උසස් පුද්ගලයන්ගේ ආධාර උපකාර පවා ලැබෙනු ඇත. රැකියා හෝ පදිංචියේ කිසියම් වෙනසක් මාරුවක් අනාගත සුබ සිද්ධිය උදෙසා සිදුවේ. ප්‍රතිඵලදායක දීර්ග ගමන් යෙදෙනු ඇත. අවබෝධ ඥාණය ධාරණ ශක්තිය හොඳින් ගොඩනැගෙන වසරකි. දරු ලාභ නව පදවි ගෞරව මුදල් ලාභ ගෘහ ජීවිතයෙහි සතුටු සැප නීරෝගි සුවයත් ලැබෙනු ඇත. සියලු අතින්ම සරුසාර වේ. නැතිවූ වස්තුව හෝ නැතිව ගිය රැකී රක්ෂා තනතුරු නැවත ලැබේ. සෑම දෙයින්ම ලාභ ප්‍රයෝජන ලැබෙන වසරකි.   


ඔබට මෙම වසර තුළ ආර්ථික හා ආදායම් වශයෙන් යම් යම් ලාභ ප්‍රයෝජනයන් සැලසෙනු ඇත. එසේම ඔබ මෙම වසර තුළදී ඉඩකඩම් යානවාහන මෙන්ම දේපල ආදියට මිලමුදල් යොදවීමක් ද කරයි. ඒවාගේම ආර්ථිකය ශක්තිමත් වන මංපෙත් විවර වේ.   


පොදුවේ මෙය ඔබ තම රැකියා ව්‍යාපාරාදිය වෙනුවෙන් බෙහෙවින් උනන්දුවකින් යුතුව කටයුතු කරන වසරක් ද වේ. විනෝදය විවේකය ගැන නොසිතා රැකියාව ජීවනෝපාය කෙරේ ක්‍රියාශීලීභාවයෙන් කටයුතු කොට රැකියා ව්‍යාපාරාදියේ වැඩිදියුණුවක්, ස්ථාවරභාවයක් සකසා ගනී. ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන දෙයක්ද මෙම වසර තුළ සිදුවේ. විදේශ රැකියා අපේක්‍ෂාවන් ද ඉටුවන ලකුණු මුල් මාස තුන තුළම මෙන් පහළ වේ. ඊට බලපෑ බාධා පහව යයි.   


මංගල භාවාධිපති මෙන්ම විවාහ කාරකද වූ ගුරු-සිකුරු බලයෙන් යුක්ත බැවින් ඔබට මෙම නව වසර තුළ ආලය පිළිබඳ කටයුතු ඉතා පහසුවෙන් ඇතිකර ගත හැක. ආදර සබඳතා ස්ථිර තහවුරු කර ගැනීමට බාධාවක්ව පැවති දේ පහව යයි. විශේෂයෙන් ඔබට විරුද්ධ ලිංගිකයන් වැඩිපුර ඇසුරු කිරීමටත් මෙහිදී හැකිවන්නේය. පොදුවේ බැලීමේදී අවිවාහක ඔබට තම අනාගත සහකරු/සහකාරිය මෙම වසර තුළ ලැබෙනු ඇත. 

 

සැලසුම් සාර්ථක කරගත හැකි වසරක් 

නව වසරේ ග්‍රහ ගමන ඔබේ අධ්‍යාපන ආර්ථික රැකියා මෙන්ම විවාහ ආදී කාර්යයන්ට බලපාන අයුරු පහත සඳහන් අයුරු වේ.   

කටක ලග්නය අනුව ග්‍රහ ගමන බලයෙන් යුක්තව පවතින හෙයින් මෙම අලුත් අවුරුද්ද ඔබට ශුභදායී ලෙස ගතවනු ඇත. එබැවින් මෙම වසර තුළ සැලසුම් කරන බොහෝ වැඩ කටයුතු රැසක් සාර්ථක වනු ඇත. අධ්‍යාපන රැකියා විවාහ වැනි අංශවල ප්‍රගතියක් සිදුවේ. තරග විභාග සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටීමටත් ඉන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමටත් අවහිර බාධක ප්‍රමාදවීම් මධ්‍යයේ නමුදු මෙම වසරේදී අවස්ථාව සැලසෙයි. ඔබ පුනාවස නැකතේ 4වැනි පාදයෙන් හා පුෂ-අස්ලිස යන නැකත්වලින් උපන් කෙනෙකු නම් සෙනසුරුගේ ඒරාෂ්ඨක අපලය ඇති කරයි. ඔවුනට මෙම වසර මිශ්‍රඵල සහිතයි. එවැනි නැකැත්වලින් උපන් අය අතපය බිදීම් වැටීම් තැලීම් වැනි හදිසි පීඩා අනතුරු ආපදා කෙරෙන් ද සැමවිට ආරක්ෂා වන්න.   


සමස්ථයක් වශයෙන් ඔබට මෙම වසර තුළ භාර්යාවට හෝ ස්වාමි පුරුෂයාට යම්යම් අවස්ථාවල අසනීප වැළඳේ. පවුලේ වැඩිහිටියෙකුට මාරකයක් හෝ කල්අල්ලන අසනීපයක් හෝ ඇතිවේ. ආශ්‍රය කරන්නන්ගෙන් බරපතළ ලෙස කරදර සිත්තැවුල් ඇතිවිය හැකියි. එසේම එකට වැඩ කරන සහකාරයන්ගෙන්ද නැතහොත් එකට ඉගෙනීම කරන අයගෙන් කරදර හා ඊර්ෂ්‍යාකාරකම්ද තම කටයුතුවලට බාධා කිරීම්ද ඇතිවෙන නිසා ඔබ මෙම වසර පුරාවටම මෙන් උපේක්ෂාවෙන් කටයුතු කරන්න.   


විශේෂයෙන් ඔබ ආගමානුකූල වත්පිළිවෙත් පුද පූජාවන්හි නියුතු වෙමින් වසර තුළ කටයුතු කිරීම වඩාත් යෙහෙකි. ඒ එසේ නමුදු ඔබට මෙම වසර තුළ ආර්ථික තත්ත්වය උසස් කර ගැනීමට අවස්ථාව සැලසේ. යම් යම් මුදල් ලාභ හිමිවන වසරකි. ණය ගනුදෙනු අපේක්‍ෂා සඵල වේ. තමාට අය කරගන්නට තිබූ ණය ගනුදෙනුවක් ලැබේ. නිවසට හෝ ආයතනයට අවශ්‍ය බඩු බාහිරාදියක් මිලදී ගැනීමට ද අවස්ථාව උදාවේ. අවශ්‍යතා පිරිමැසීමට මිල මුදල් අතමිට ගැවසේ.   

 

නැතිවී ගිය බොහෝ දේ යළි ලැබේ

සිංහ ලග්න හිමියන්ට මෙම අලුත් අවුරුද්ද ආරම්භ වීමෙන් පසු පැහැදිලි ශුභපල රැසක් ගොඩනැගෙනු ඇත. අධ්‍යාපන රැකියා ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ කටයුතුවල උනන්දුව වැඩිවෙයි. ඒ ඒ කාර්යයන්හිදී වගකිව යුත්තන්ගේ ප්‍රසාදයටද ලක්වන අවස්ථා ගොඩනැගෙයි. මැයි මාසයේ සිට ආදායම් තත්ත්වයේ වර්ධනයක් ඇති කරයි.   


නැති වූ වස්තුව මෙන්ම නැති වී ගිය රැකියා තනතුරු පමා වූ වැඩ යනාදී බොහෝ කාර්යයන් නැවත ලැබේ. රැකියා අපේක්ෂිතයන්ගේ හා විවාහ අපේක්ෂිතයින්ගේ අපේක්ෂා ද ඉටුවීමත් මෙම නව වසරේදී සිදුවෙයි. තමාම යම් යම් දේ සොයා දැන ගැනීමෙන් උසස්වීමට ඉඩ ප්‍රස්ථා සලසා ගනී. දැඩි උත්සාහයෙන් ආත්ම විස්වාසයෙන් කරන වැඩවලින් ප්‍රයෝජන ලැබේ. විදෙස් ගමන් පවා යාමට ඉඩ ලැබේ. ඉගෙනීමේ යෙදී සිටින ශිෂ්‍යයන්ට නම් මෙම වසරේදී අලුත් උසස් විෂයන් හැදෑරීම්වලට අවස්ථාව උදාවේ. විභාගවලින් ජය අත්පත්වේ. යම් යම් ආර්ථිකමය ප්‍රතිලාභ සලසා ගත හැකි වන්නේය. දුර බැහැර හෝ විදෙස් ගතව සිටින්නන්ගෙන් වුව තම මුදල් අවශ්‍යතා පිරිමැසීමට විශේෂ මුදල් උපකාර ලැබෙන හිමිවන අවස්ථා යෙදේ.   


පසුගිය මාසවල රාජකාරියට අදාළ හෝ ආයතන තුළින් බලපෑ අවුල්වියවුල්වලින් නිදහස ලැබේ. නව රැකීරක්‍ෂා තනතුරුවලට පත්වීමටත් පසුබිම සැකසේ. රාජකාරි ස්ථානය තුළ ගෙනදී තිබූ කිසියම් කලකිරීම් සහගත ස්වභාවයක් පහව යයි. එමෙන්ම රැකියාවට පැවති ගමන් දුෂ්කරතා ප්‍රවාහන අපහසුතා වැනි ප්‍රශ්නයක් ද විසඳේ. විවාහ කාරක සිකුරු හා මංගල භාවාධිපති ශනි බලයෙන් යුක්ත බැවින් ඔබට මෙම වසර තුළ ආලය පිළිබඳ කටයුතු ඉතා පහසුවෙන් ඇතිකර ගත හැක. ආදර සබඳතා ස්ථිර තහවුරු කර ගැනීමට බාධාවක්ව පැවති යමක් ඉවත් වේ. විශේෂයෙන් ඔබට විරුද්ධ ලිංගකයන් වැඩිපුර ඇසුරු කිරීමටත් මෙහිදී හැකිවන්නේය. අවිවාහක ඔබට තම අනාගත සහකරු/සහකාරිය මෙම කාලය තුළ ලැබෙනු ඇත. ඉක්මන් විවාහ ගිවිසුමකට වුව පසුබිම සකස් වේ.   

සිතා මතා සැලසුම් සහගතව කරන වැඩ සාර්ථක වෙයි 

කන්‍යා ලග්නයෙන් උපන් ඔබට නව වසරේ ග්‍රහ ගමන ශුභාශුභ මිශ්‍ර බැවින් දිවියේ තම සියලු වැඩ කටයුතු කෙරෙන්ද ශුභාශුභ මිශ්‍ර බවක් ඇති කරයි.   

විශේෂයෙන් ඔබ සිතන සැලසුම් කරන වැඩ සියල්ලම සාර්ථක කර ගැනීම අපහසු වුවත් හොඳින් සිතා බලා සැලසුම් සහගතව කරන කාර්යය කටයුතු අභියෝගයට ලක් නොවේ. ඒවා කෙසේ හෝ සාර්ථක කර ගත හැකිවේ. බොහෝවිට මෙය රැකියාවේ ස්ථාන වෙනසක් කිරීම උදෙසා සිත බලකෙරෙන වසරකි. උත්පත්ති කේන්දරයේ සඳු ග්‍රහයා 6 වන 11 වන ස්ථානවල සිටි කන්‍යා ලග්න හිමියන්හට මෙවැනි සුබපල මධ්‍යයේම සිතට වදදෙන යම් යම් ප්‍රශ්න ඇතිවේ. ගෘහ ජීවිතයේ ගැටළු ශරීර සනීපය දුර්වලවීම් හවුල් කටයුතුවල අර්බුද සතුරු කරදර රහස් කුමන්ත්‍රණ වැනි දේට මුහුණ දෙන්නට ඔවුනට සිදුවේ.   


පොදුවේ ඔබට මෙම නව වසර තරමක් මතභේදාත්මක වසරක් වේ. එනිසා හවුල් කටයුතුවලදීත් සාමූහික ක්‍රියාකාරකම්වලදීත් වැරදි වැටහීම් ඇතිකර නොගන්න. නිශ්ඵල ගමන්බිමන් නිසා හෝ බාහිර විවිධ කරදර නිසා හෝ නිකරුනේ මිල මුදල් වියදම් වේ. උරුම හිමිකම් ප්‍රශ්න වුව මතු කෙරේ. ඔබට යම් යම් මුදල් ලාභ ගෙන දුන්නත් මෙම වසරේ අවසන් මාස 6 තුළදී නාස්තිකාර වියදම් වැඩි වෙයි. එසේම ආර්ථිකමය වශයෙන් ලැබීමට තිබූ ඵල ප්‍රයෝජන අවස්ථා කිහිපයක් ද මග හැරී යාමට පුළුවන.   
අමතර වැය කිහිපයක් යෙදීම නිසා හිතවතුන්ගෙන් අතමාරු ගැනීමට වුව සිදු වේ. නැතහොත් තැන්පත් ධනය වැය වන කටයුතු යෙදේ. මුදල් පරිහරණයේදී මෙන්ම ආයෝජනවලදීත් සැලකිලිමත් වන්න.   


උදරාබාධ මුත්‍රා ආසාධන වරින් වර හටගන්නා නිසාත් තමන් ගන්නා ආහාරපාන වෙනදාට වඩා ඉතා සුපරීක්ෂාකාරී ලෙස පරිභෝජනය කරන්න. එමෙන්ම අක්මාව, වකුගඩු යන ඉන්ද්‍රියන්ට හිතකර ආහාරපාන ලබාගන්න. මෙය ඔබ සිරුරට පීඩා ගෙන දෙන ඇවතුම් පැවතුම් නොකළ යුතු වසරක් ද වෙයි.  

බලාපොරොත්තු නොවූ මාර්ගවලින් වාසි 

තුලා ලග්නය පරිදි ද නව වසරේ ග්‍රහ ගමන සුබාසුබ මිශ්‍ර බලයෙන් යුක්තව පවතින නිසා ඔබ සැලසුම් සහගතව සැලකිල්ලෙන් විමසිල්ලෙන් යුතුව තම අත්‍යාවශ්‍ය කාර්යය කටයුතුවල නියුතු වන්න. එලෙස වැඩ කිරීමෙන් තමාගේ අරමුණු සැලසුම් බොහොමයකම සාර්ථකත්වයක් මෙම නව වසර තුළ අත්පත් කරගත හැක. එසේම ඔබට මෙම වසර තුළ වරින් වර තමා බලාපොරොත්තු නොවූ සැලසුම් නොකළ මාර්ගවලින් විවිධ ලාභ ප්‍රයෝජන සැලසෙයි.   


විද්‍යස්ථානාධිපති ශනි බලවත්ව එහිම සිටින අතර විද්‍යාකාරකද බලයෙන් යුක්තව ගමන් කිරීම හේතුකොට අධ්‍යාපන කටයුතු කෙරෙන් දක්ෂතා පෙන්වයි. ඉගෙනීම් කටයුතුවල නියුතු වන තුලා ලග්න හිමියන්ට එමගින් අපේක්‍ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වන්නේය. සහජ දක්‍ෂතා දියුණුකර ගැනීමටත්, වෘත්තීය පාඨමාලාවන්ගෙන් හැකියා කුසලතාවයන් පෙන්වීමටත් ඉඩකඩ ලැබේ. අධ්‍යාපනය බාධාවකින් තොරව කෙරෙනු ඇත.   


ඔබට මෙම වසර තුළ ආර්ථිකමය ලාභ ප්‍රයෝජන සැලසේ. ණය ගනුදෙනු බලාපොරොත්තු සාර්ථක වීමද සිදුවේ. ඔබට මෙහිදී මූල්‍ය සැලසුම් හා අපේක්‍ෂිත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමටත් අවස්ථාව සැලසෙන්නේය. ඉපැයීම් මාර්ග ශක්තිමත් කර ගැනීමටත් අවස්ථාව සැලසේ. උරුම හිමිකම් ලාභාදිය ද ලැබේ. අවශ්‍යතා සපුරා ගැනීමට කෙසේ හෝ මුදල් ලැබෙන වසරකි.   


බොහෝවිට ඔබ මෙම වසර තුළ සෑම කටයුත්තක්ම ඉතා වගකීමෙන් කරන සැටියක් පෙන්නුම් කරයි. අනුන් සමඟ එකට සහකාරකම් ඇතිව යම් යම් ව්‍යාපාර පටන් ගැනීමට ඉඩ ලැබේ. ඥාණය වැඩි දියුණු වේ. ප්‍රශ්නකාරී ස්වභාවයන් මධ්‍යයේම යම්යම් ලාභ ප්‍රයෝජනයන් ද ලැබෙනු ඇත. සිත් ප්‍රීතියට කටයුතු සැලසේ. ස්ත්‍රීන්ට පුරුෂයන්ගෙන්ද පුරුෂයන්ට ස්ත්‍රීන්ගෙන්ද ලාභ ප්‍රයෝජන ලැබේ. ප්‍රීතිමත් සමාගම් පැවැත්වීමට ඉඩ ලැබේ. රජයෙන් හෝ තම ප්‍රධානීන්ගෙන් ගරු සැලකිලි ලැබේ. ඒ එසේ නමුදු යුගදිවියේ සාමය සතුට බිඳීයන දෑ සිදුවන බැවින් ඒ කෙරේ වඩාත් සැලකිලිමත් වන්න.   


උදරාබාධ මුත්‍රා ආසාධන වරින් වර හටගන්නා නිසාත් තමන් ගන්නා ආහාරපාන වෙනදාට වඩා ඉතා සුපරීක්ෂාකාරී ලෙස පරිභෝජනය කරන්න. එමෙන්ම අක්මාව, ආමාශය ජීර්ණ පද්ධතිය යන ඉන්ද්‍රියන්ට හිතකර ආහාරපාන ලබාගන්න. මෙය ඔබ සිරුරට පීඩා ගෙන දෙන ඇවතුම් පැවතුම් නොකළ යුතු වසරක් ද වෙයි.   

 

 

පොඩි පොඩි බාධක ආවත් නොසැලෙන්න 

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මෙම අලුත් අවුරුද්ද ඔබගේ අධ්‍යාපන රැකියා විවාහ ආදී කාර්යයන්හි ප්‍රගතියට කිසියම් ශුභදායී වෙනසක් ඇති කළත් පොදුවේ ඔබට මෙම 2023 මැයිවලින් පසු කාලය යම් යම් අවහිර බාධා ප්‍රමාදතාවන් මධ්‍යයේ තම දෛනික කාර්යය කටයුතු කරගෙන යාමට සිදුවන බව සිතට ගෙන වැඩකටයුතුවල නිරත වන්න.   

කෙසේ නමුත් ඔබට මෙම අලුත් අවුරුද්ද තුළ විකිණීම් මිලයට ගැනීම් හෝ අන්‍ය ව්‍යාපාරවලින් බලාපොරොත්තු රහිත ලාභ ලැබේ. ව්‍යාපාරාදිය බාධාවකින් තොරව කරගෙන යා හැක. ඔබට වෙළඳ ව්‍යාපාරික අත්දැකීම් හා පළපුරුද්ද ඇති උපදේශකයෙකුගෙන් ප්‍රයෝජනවත් වැඩ කොටසක් තම ව්‍යාපාරයේ මතු දියුණුවට ලබා ගැනීමට හැකි වන්නේය. කෙසේ වෙතත් මහා පරිමාණ ආයා්ජනවලට එතරම් සුදුසු වසරක් නොවේ.   


විශේෂයෙන් ගතට සිතට සැපත සතුට දනවන කාර්යය කටයුතු කෙරෙන් විවිධ අවහිර බාධා මතුකරන අතර අත්‍යාවශ්‍ය වැඩ ප්‍රමාද වන දෑ සිදු වන්නේය. එසේම ලැබෙන මුදල් නිකරුනේ වියදම් වී යන කරුණු යෙදේ. සමාජීය වශයෙන් සිදුවන ඇතැම් සිද්දීන් මුල්කොට අප්‍රසිද්ධව වාසය කිරීමට සිදු වේ. අනපේක්ෂිත කරදර සිතේ සමාදානය නැතිවීමද මේ අවුරුද්දේදී ඇති වන අයහපත් ප්‍රතිඵලයන්ය.   


පොදුවේ මෙම වසර තුළදී අනාගත යහපත උදෙසා කිසියම් ශුභඵලදායී බවක් ගොඩනැගුණත් අත්තනෝමතික හිතුවක්කාර ක්‍රියා නිසා විවිධ පාඩු සිදුවීමටත් ඉඩ ඇත. මේ නිසා සෑම දෙයක් කෙරෙහිම සැලකිල්ලෙන්, විමසිල්ලෙන් ක්‍රියා කරන්න. අප්‍රේල් 20ත් මැයි 20ත් අතර සොර සතුරන් නිසා භයෙන් කල් ගෙවන්ට ද සිදුවීමක් පෙන්වන හෙයින් සැලකිළිමත් වන්න. කරගෙන එන කටයුතුවලින් පාඩු ද සිතට භය හා සැකද ඇති වේ. නැතහොත් භාර්යාවගෙන් හෝ ස්වාමියාගෙන් ඈත් වීමට හෝ සිදු වේ. ඔවුනොවුන් අතර කරන කියන සෑම කටයුත්තෙන්ම සැකයට කරුණු ඇතිවේ. විටින් විට වෙහෙස ඇති දුෂ්කර දුර ගමන් යෙදෙයි. මුදල් අතින් අමාරුකම් ඇති වේ. වසරේ මැද භාගයෙන් පසු ආගමික වත්පිළිවෙත් පුද පූජාවන්හි නියුතු වෙමින් කටයුතු කරන්න. එය බාධක පහව යෑමටත් හේතුවෙයි.  

මැයි මාසයෙන් පසුව වාසි රැසක් 

ධනු ලග්න හිමියන්ට උදාවන අවුරුද්දේ ග්‍රහ ගමන ශුභදායක අයුරින් බලපාන බැවින් දිවියේ නව දියුණුවක් අභිවෘද්ධියක් මෙම 2023 වසර තුළ ඇති කරයි. විපරීත රාජයෝගයක් ද වසර උදා මොහොතේ ක්‍රියාත්මක වන නිසා තමා සැලසුම් කරන දෙයට වඩා අපේක්ෂා නොකළ පැත්තකින් සුවිශේෂී සාර්ථක ජීවන පසුබිමක් ගොඩනැගෙනු ඇත.   

මැයි මාසය ආරම්භයත් සමඟම ජීවනෝපාය මාර්ගයන්හි පැහැදිලි වෙනසක් නව ආදායම් මාර්ග හිමිවීමක් ඇති කෙරේ. පරිසරය යහපත් වීම නිසා රාජකාරි වගකීම් නිසි ලෙස ඉටු කිරීමටත් හැකිවේ. මෙය ඔබට තනතුරු නිලතල වරප්‍රසාද හිමිවන වසරකි. බලාපොරොත්තු ඉටුවන සැලසුම් ක්‍රියාවට නැංවීමට හැකිවන ශුභදායී වසරකි. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට මුදල් යොදවා ආරම්භ කරන ව්‍යාපාරවලින් අපේක්ෂිත ලාභ ලැබේ. ඉඩම් විකුණන අයට එයින් ලොකු ලාභ ලැබේ. තමා යටතේ වැඩ කරන අය සමඟ යහපත් හිතවත් සම්බන්ධකම් ඇති වේ. තම වැඩකටයුතුවලට ඥාති මිත්‍රයන්ගෙන් උපකාර ලැබේ. සැප පහසුවට ආධාර වන දේ ලබා ගැනීමට ඉඩ ලැබේ.   


මෙම වසරේ අප්‍රේල්වලින් පසු පවතින තත්වයේ කැපී පෙනෙන යහපත් වෙනසක් ඇති වන්නේය. සතුරු කුමන්ත්‍රණ පරාජය කළහැකි වේ. අධ්‍යාපන රැකියා ව්‍යාපාර මෙන්ම විවාහ යනාදියේ අපේක්ෂා ඉටුවීම නිසා සිතට සතුට දනවන වසරක් ද වේ. තරග විභාග සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය ලැබෙන දිවියේ නව පරිවර්තනයකට මුල පිරෙන ශුභදායක වෙනස්කම් රැසක් සිදුවන නව වසරක් බවට පත්වේ.   


උපන් කේන්දරයේ ගුරු-ශනි ග්‍රහයින් දෙදෙනා 5 වැනි කොටුවෙහි සිටි ධනු ලග්න හිමියනට මෙම අලුත් අවුරුද්ද ආර්ථික ප්‍රගතිය හා තනතුරු නිලතල වරප්‍රසාද සමඟ ජීවියේ නව සුභදායී වෙනසක් සමඟ අධ්‍යාපන ආර්ථික රැකියා ව්‍යාපාරාදියට මෙන්ම විවාහ ආදී කාර්යයන්ට අදාළව සිත තුළ කලක් තිස්සේ අපේක්ෂා සහගතව පැවති සුවිශේෂී බලාපොරොත්තුවක් ද ඉස්ට සිද්ධවන සතුට සැනසුම පිරි වසරක් බවටත් මෙම නව වසර පත්වන්නේය.  

ආර්ථික තත්ත්වය වර්ධනය කරගන්න අලුත් අවස්ථා 

මකර ලග්නයෙන් උපන් ඔබට ලබන්නාවූ අලුත් අවුරුද්දේ ග්‍රහ ගමන සුබයෝගයන්ගෙන් හා අසුබ යෝග බලයෙන් ද යුක්ත නිසා ඔබට මෙම වසර ශුභපල මෙන්ම අශුභපලයන්ද මිශ්‍රව ගෙනදෙන මධ්‍යස්ථ වසරකි. එසේම මිල මුදල් හා වෙනත් භෞතික සම්පත් ලාභද ලැබේ. පාසල් හා වෘත්තීය අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වයට හා දැනුම වැඩිදියුණු කර ගැනීමටත් යම් යම් අයගේ ආධාර මෙන්ම උගතුන්ගේ සහයත් ලැබේ. අධ්‍යාපනික වශයෙන් විවිධ හැකියා කුසලතා පෙන්විය හැකි වසරකි.   


සමස්ථයක් වශයෙන් ගත්කල ඔබට ආර්ථික හා දේපලමය වශයෙන් වැඩි දියුණුවට කටයුතු පිළියෙල වන අතර විවිධ ආර්ථිකමය ලාභාදියත් ලැබේ. ඔබගේ ආර්ථිකය වර්ධනය කර ගැනීමට මංපෙත් විවර වන්නේය. කෙසේ වෙතත් ඔබ මෙම වසරේදී නෙදෙන්නා නොහඳුනන අයත් සමඟ කරන ගනුදෙනුවලින් නොසිතූ අවාසි අලාබ පාඩු විදින්ට සිදුවීමක් පෙන්නුම් කරන නිසා එවැනි දේට නතු නොවන්න. යටපත්ව පැවති හිමිකම් හා අයිතිවාසිකම් ලැබෙන මාර්ග විවර වේ. කෙසේ නමුත් විනෝදයට බරව කටයුතු කරන්නට යෑමෙන් නිෂ්ප්‍රයෝජන හා අධික වියදම්ද යෙදෙන අවස්ථා ගොඩනැගේ. ඒවා මඟ හැර ගන්න.   


නව රැකියාවක් ලබා ගැනීමට හා නියුතු රැකියාවේ හා ව්‍යාපාරයේ දියුණුවට අදාළ වන කාර්යන් සාර්ථක වන්නේය. ව්‍යාපාරයේ වැඩිදියුණුව උදෙසාද නව වෙනසකට කටයුතු පිළියෙල වේ. මේවාට බලපෑ රහස් සතුරු කරදර විරුද්ධවාදීකම් යනාදියත් පහව යයි.   


කෙසේ වෙතත් යම් යම් අවස්ථාවල ගැටලු පැන නැගෙන නිසාත් හවුල් හෝ ස්වයං ව්‍යාපාරවල නියුතු වන්නන්ට ඒවායේ කාර්යයන් සැලකිල්ලෙන් අවබෝධයෙන් කරන්න. විශේෂයෙන් මෙම වසර තුළ ඔබ සැලසුම් නොකළ බලාපොරොත්තු නොවූ මාර්ගයක නැතහොත් දෙයකින් ඔබට විශේෂ ලාභ ප්‍රයෝජනයක් ගෙනදෙන්නේය. ඔබ පුනාවස නැකතේ 4 වැනි පාදයෙන් හා පුෂ-අස්ලිස යන නැකත්වලින් උපන්කෙනෙකු නම් සෙනසුරුගේ ඒරාෂ්ඨක අපලය ඇති කරයි. බලාපොරොත්තු වන සැලසුම් කරන දෑ කල් යයි. විශේෂයෙන් මෙම වසරේ අප්‍රේල් - අගෝස්තු අතර මාස තුළ උරුම හිමිකම් ප්‍රශ්න දේපල ආරවුල් මතු වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් ඒ කෙරේ සැලකිලිමත් වන්න. දුර්වල හෝ පහත් අයගේ ආශ්‍රයට වැටේ. ඔවුන් නිසා අලාභ හානිද සිදු වේ. තිබුණ කඩිසර ගතිය ප්‍රාණවත් ගතිය වැඩට පැවති උනන්දුව උද්යෝගය නැති වේ. ගමන්බිමන්වලින් කරදර හා අනතුරුද ඇති කරයි. ඥාතීන් සමඟ අවුල්වියවුල් මතු වේ. සමහරවිට රක්ෂාවෙන් අස්වීමට හෝ විශ්‍රාම ගැනීමටද සිත්දෙන අවස්ථා ද මතුකරයි. 

සහෝදරයන්ගෙන් සහ අසල්වැසියන්ගෙන් ලාබ

කුම්භ ලග්නය හිමි ඔබට ලබන්නා වූ අලුත් අවුරුද්දේ ග්‍රහ ගමන බලවත්ම නොවන හෙයින් ඔබ සාමූහිකව හෝ හවුල් වැඩ කටයුතුවල යෙදෙන්නේනම් ගැටළු බාධා මතු නොවන ලෙස කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතුවල නිරත වන්නන්ගේ සිත් උසස් අධ්‍යාපනයට යොමු වී එවැනි දේට සම්බන්ධ වේ. ඇණ හිට තිබූ විදෙස් ගමන් බිමන් රැකියා ලාභ ගොඩනැගීමද නව වසර තුළ සිදු වන්නේය.   


කෙසේ නමුත් ඔබ මේ අවුරුද්දේදී ළඟපාත අසල්වැසි ඇසුර වැඩි කරන්න. ලිපිලේඛන හා අදහස් හුවමාරුවෙන් ලාභ ලැබේ. යහපත් ගමන් ඇති වේ. සොයුරු සොයුරියන් ආදීන් සමඟ සුහද සබඳතා වැඩිදියුණු වී ඔවුන් ඔස්සේ ලාභ ප්‍රයෝජන අත්වේ. යහපත් අවබෝධය පුළුල් අදහස් කරුණාවත් තෑගිවත් සාමකාමී බව ඔබ තුළ වැඩිදියුණු වේ. වැඩියෙන් වියදම් නොකරන්න. අත්තනෝමතිකව කටයුතු නොකරන්න. එවිට ඔබට යහපත සැලසේ. ලාභ ලැබීම සඳහා සාර්ථක ලෙස සැලසුම් කරන්න. පමණට වැඩිය කටයුතු නොකරමින් අන්තයට යාමෙන් වළකින්න. නොකළ හැකි කටයුතුවලට අත නොගසන්න. තත්ත්ව හානි දයාබර ළබැදියන්ගෙන් වෙන්වීම් බිය කටයුතු හෝ රැකියා බාධා රෝග පීඩා රැකියා හානි හෝ පදිංචිය ද වෙනස්වීමක් හෝ මෙම අවුරුද්දේ පෙන්නුම් කරයි.   


ඔබ නිසි කළමනාකරණයකින් තොරව කිසිදු දෙයක් නොසොයා නොබලා කටයුතු කළහොත් දියුණුවට බාධා සිදුවේ. අනුමානයට කරන කටයුතුවලින් පාඩුද පරාජයද සිදු වේ. තනතුරුවලින් පහළ යා හැකියි. කරන කියන ඇතැම් වැඩ කටයුතුවලින් කරදරද පාඩුද කරන්ට යන කටයුතුවලට බාධාද ප්‍රමාද වීම්ද ඇති වේ. ස්ථාන හැර යාමට සිතෙයි. චෝදනා අපවාද ලැබෙන වසරක් ද බැවින් පරෙස්සම් විය යුතුයි. අධික වියදම් ඇති වේ. බලාපොරොත්තු රහිත අවුල් මතුවේ. නිෂ්ඵල ගමන් නිතරම ඇති වේ. ප්‍රයෝජන නොලැබෙන දෙයට මහන්සි වෙයි.   


2023 ඔක්තොම්බර් හා 2024 පෙබරවාරි අතර කාලය තුළ අඩපණව පවතින කටයුතු ප්‍රතිසංවිධානය වේ. තමා නිරත වන රැකියා ව්‍යාපාරයන්හි දියුණුවක් අභිවෘද්ධියක් ද ඇති කරයි. විශේෂයෙන් මෙම කාලය තුළ ඔබට සමාජයේ උසස් පුද්ගලයන්ගේ ගුණවතුන්ගේ ඇසුර ලැබේ. එමෙන්ම ආධාර උපකරද ලැබේ. එහෙත් අනුමානයට කරන කටයුතුවලින් පාඩුද පරාජයද සිදු වේ.  

අගෝස්තුවෙන් පසුව ඉවසිල්ලෙන් වැඩ කරන්න 

මීන ලග්නයට අනුව ග්‍රහ ගමන එතරම් ශූභදායක නොවෙන බැවින් දිවියේ අත්‍යාවශ්‍ය කාර්යය කටයුතු විශේෂයෙන් මැයි මස සිට ඔබට ඉටුකර ගැනීමට සිදු වන්නේ නොයෙකුත් අවහිරයන් මෙන්ම බාධාවන් මධ්‍යයේය.   


සමස්ථයක් වශයෙන් ගත්කල අධ්‍යාපන රැකියා විවාහ යානදියේ වැඩි දියුණුවට කටයුතු පිළියෙලවීමක් 2023 මැයිවලට පෙර ක්‍රමයෙන් ඇති කරයි. ගරුනම්බු ලැබේ. මිල මුදල් ලාබ ලැබේ. ආදායම වැඩි වේ. පඩි වැඩි වේ. ඥානය වැඩි වේ. සැපවත් සේ ගතවෙයි. රසවත් කෑම බීම සංග්‍රහ ආදිය ලැබේ. වාසනාව මතු වේ. ඥාති මිත්‍රයෝ තමා සොයාගෙන එති. රැකී රක්ෂාවලින් උසස් වේ. විභාගවලින් ජය වේ. වෙළහෙළඳාම්වලින් ජයද ලාභද ලැබේ. වටිනා දේ මිලදී ගැනීමට ඉඩ ලැබේ. භාරගෙන කරන වැඩවලින් හෝ ආරම්භ කරන කටයුතුවලින් ලාභද වැඩි දියුණුවද ඇති වේ. රැකී රක්ෂා ලැබේ. අලුත් තත්ත්වයකට පත් වේ. ප්‍රිය සමාගම් නිතර ඇති වේ. විවාහ වූ අයට නම් තම බිරිඳට හෝ ස්වාමියාට ලාභ ලැබෙන සැප ලැබෙන වසරකි.   


කෙසේ වෙතත් අගෝස්තුවලින් පසු අත්‍යාවශ්‍ය කාර්ය කටයුතු කෙරෙන් විශේෂ සුබදායකකමක් පෙන්නුම් නොකරයි. බොහෝ සෙයින් මෙය ඉවසිලිවන්තව බුද්ධිමත්ව සිතා තීන්දු තීරණ ගෙන කටයුතු කළ යුතු කාලපරිච්ජේදයක් බව සිතට ගෙන කටයුතු කරන්න. ශරීර සනීප කෙරෙහි නිබඳව සැලකිලිමත් වන්න. කැඩුම් බිඳුම් වැටීම් ආදිය නිසා ශරීරයෙහි තුවාල ඇසට හිසට පීඩා සාදන්නට පුළුවන. මිල මුදල් හානි වේ. නිකරුණේ වියදම් යන කටයුතු ඇති වේ. සමහරවිට දැන දැනම නිෂ්ඵල දෙයට වියදම් කරන්නට සිදුවේ. පොදුවේ මෙය ඔබට විපරීත රාජයෝග බලයක් ක්‍රියාත්මක වන වසරක් බැවින් සැලසුම් කළ දේවල් අඩපණ වුවත් සැලසුම් නොකළ බලාපොරොත්තු නොවූ පැත්තකින් අනාගත දියුණුව අභිවෘද්ධියට හේතුවෙන ජීවනෝපායේ ප්‍රගතියක් ගොඩනැගෙන විශේෂ වැඩකටයුත්තක් ඉෂ්ට සිද්ධ වනු ඇත.    


www.hirumadala.lk අපගේ වෙබ් පිටුවට පිවිසීමෙන් මෙවැනි ජ්‍යෝතිෂ ලිපි මෙන්ම සුබනැකැත් ආදි ඔබගේ ජ්‍යෝතිෂ අවශ්‍යතා රාශියක් සපුරා ගත හැක.   

 

ජ්‍යෝතිෂවේදී   
හේමන්ත වීරසිංහ