අද වන විට මිනිසුන් ගෙවන පීඩාකාරී ජීවන රටාවත් සමග බොහෝ රෝග නිහඬ වසංගත ලෙස මිනිස් ශරීරය වැලඳගෙන අවසන්ය. මෙම රෝග කාරකයන් අතර අක්මාවේ මේදය තැන්පත් වීම නැතහොත් ෆැටී ලිවර් (Fatty Liver) රෝගය මේ වන විට ලෝක ජනගහනයෙන් සියයට 25 ක පමණ ප්‍රමාණයක් ගොදුරු වී ඇති බව සමීක්ෂණවලින් තහවුරු වී ඇත.
අධික ලෙස මත්පැන් පානය කරන්නන්ට පමණක් සීමා වූ තත්ත්වයක් ලෙස එදා සලකනු ලැබුණ ද එය අදවන විට මත්පැන් බිඳුවක්වත් ස්පර්ශ නොකළ කුඩා දරුවන්ට පවා (Fatty Liver) සෑදීමේ අවදානම් පවතින බව අහන්න ලැබීම වුව ඛේදජනකය.
එවැනි වටපිටාවක බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ඔබ්බට ගොස් දේශීය චිකිත්සක ක්‍රම ඔස්සේ මේ රෝගය පිළිබඳව විමසා පාඨක ඔබව දැනුවත් කිරීමට මෙවර ලිපියෙන් අපි සිතුවෙමු.
ශරීරයේ ඉතා වැදගත්ම ඉන්ද්‍රියක් වන අක්මාව මගින් ආහාර මාර්ගය හරහා උරාගන්නා හානිකර ද්‍රව්‍ය ශරීරයට ඇතුළුවීම පාලනය කිරීම, සිරුරේ එකතුවන සියලු රසායන ද්‍රව්‍ය විශ්ලේෂණයට භාජනය කර එහි අඩංගු විෂ පෙරා ඉවත් කිරීම, බොහෝ ජීව ක්‍රියාවලි පාලනය, හෝමෝන, විටමින් සහ ප්‍රෝටීන් නිෂ්පාදනය, ග්ලූකෝස් සහ මේදය පාලනය සහ ගබඩා කිරීම, කාලය අවසන් කරන රුධිරානු බිඳවැටීම සහ පිත නිෂ්පාදනය, රුධිරය කැටිගැසීමට අවශ්‍ය සංයෝග නිපදවීම, කොලෙස්ටරෝල් නිෂ්පාදනය සහ පරිවෘත්තිය ආදි විශාල කෘත්‍යයන් රැසක් ඉටු කරයි. නමුත් අක්මාවේ ඇතිවන රෝගී තත්ත්වයන් නිසා මෙම කාර්යයන් අඩාළවීම සිදුවෙන අතර - එය අද වන විට මිනිස් ශරීරයේ පවතින බරපතළ රෝගී තත්ත්වයක් වී අවසන් බවට ඇති හොඳම නිදසුන ෆැටී ලිවර් රෝග තත්ත්වයයි.
ෆැටී ලිවර් හෙවත් අක්මාවේ මේද තැන්පත් වීම යනු?
“අක්මාව යනු විශාල කෘත්‍යයන් ගණනාවක් ඉටුකරන ශරීරයේ ඇති ඉතාමත් වැදගත්ම ඉන්ද්‍රියක්. සාමාන්‍යයෙන් අපි හැමෝගෙම අක්මාවේ යම් ප්‍රමාණයකට තෙල් තැන්පත්වීමක් අපිට දැකගන්න පුළුවන්. එහෙත් නිරෝගී අයෙකුගෙ එය පැවතිය යුතු ප්‍රමාණය ඉක්මවා ගොස් අක්මාවේ අධික ලෙස මේදය තැන්පත් වූ විට අක්මා සෛලවල සන්දාරණයට එය පීඩාකාරී විදිහට බලපානවා. ඒ පීඩාකාරි තත්ත්වය නිසා පටකවල සෛලවලට අනවශ්‍ය සෛලීය තෙරපුමක් ඇතිවෙලා ක්‍රියාකාරිත්වය නිසි ආකාරව වෙන්නෙ නැහැ. ඒක තමයි සාමාන්‍යයෙන් අක්මාවෙ තෙල් තැන්පත් වීම. එහෙම නැත්නම් ෆැටී ලිවර් කියලා හඳුන්වන්නේ”
ෆැටී ලිවර් තත්ත්වයට බලපාන හේතු
මෙම තත්ත්වයට ප්‍රධානම හේතුව වන්නේ - ක්ෂණික ආහාර වර්ග, කෘත්‍රිම රසකාරක වගේ දේවල් එක් කළ ආහාර, මද වශයෙන් පුළුස්සා ගන්නා ආහාර, හාෆ් බොයිල් කළ බිත්තර වැනි ආහාර හා BBQ වැනි ආහාර යි. මේ ආහාරවල තිබෙන මේද ප්‍රමාණය ශරීරයට හිතකර මේදය නොවන නිසා - ඒවා ජීර්ණයෙන් අන්තඵල ලෙස ලැබෙන මේදය ගොඩක් ඉහළ වෙනවා. ඊට අමතරව නැවත නැවත පිපුම් කාරක එකතු කර සාදන තෙල් වර්ග ද බලපානු ලබනවා. ඊට අමතරව ගොඩක්ම බලපාන දේවල් තමයි මානසික ආතතිය, වෙහෙසකාරී ජීවන රටාව, ක්‍රියාකාරී බවින් අඩු ජීවන චර්යාවන්, ජලය පානය අඩුවීම, ව්‍යායාම හිඟකම, හෝමෝනමය බලපෑම් ප්‍රධාන වෙනවා. ඊට අමතරව මත්පැන් සහ දුම්වැටි පානය. මේ සියලු කරුණු අක්මාවේ සංචිත මේද ප්‍රමාණය ප්‍රශස්ත මට්ටමට වඩා ඉක්මවා යාමට බලපානවා.
රෝග ලක්ෂණ
ඇතැම් විට කෙනෙකුට අක්මාවේ තෙල් අධිකව තිබුණත් රෝග ලක්ෂණ නොපෙන්වන්න පුළුවන්. මෙම රෝගී තත්ත්වය ආරම්භයේ දීම ප්‍රධාන වශයෙන් ආහාර දිරවීමේ අසමතුලිතතා ඇති වෙනවා. ප්‍රධාන වශයෙන් ප්‍රෝටීන්, මේදය ජීර්ණයට අදාළ පිත නිපදවීම වෙනවා. එවිට ක්‍රමවත් ජීර්ණයක් සිදුවෙන්නෙ නැහැ. ආහාර අරුචිය සිදුවිය හැකියි. රුධිර සංචායනය තැන්පත් කරගැනීමට සහ රුධිරය ආහාර ජීරණ පද්ධතියෙන් අවශෝෂණය කර හෘදය කරා ගෙන යාමේදී පෝෂණ පදාර්ථ එකතුවීමේ කටයුතු සියල්ල අකර්මණ්‍ය වෙද්දි ප්‍රධාන වශයෙන් රෝග ලක්ෂණ පහළ වීම ඇරඹෙනවා. මල බැහැර වීමේ අසමතුලිතතා හෙවත් මල වියළීම හෝ මල මෘදුව පිටවීම, උදරය ඉදිරියට නෙරා ඒම, ශරීරයට වෙහෙසකාරී ස්වභාවය, ඊට අමතරව නිතර නිතර ඇති වෙන චර්ම රෝගත් ඇතැම් අයගෙ සංකුලතා ලෙස දැක ගන්න ලැබෙනවා. ඔක්කාරය, අලස බව, දෙපා වළලුකර ඉදිමීම ඇති විය හැකිය.
ප්‍රධාන වශයෙන් මත්පැන් පානය මෙයට බලපානව ද?
මේදය තැන්පත්වීමට මත්පැන් බලපාන්නෙ නැහැ. නමුත් මත්පැන් භාවිතයේ දි එහි ඇති විෂ රසායන සංඝටකවල විෂ හරණමය කාර්යය සිද්ධ කරන්නෙ අක්මාවේදියි. එහිදී ඇල්කොහොල් එතිල් මධ්‍යසාරවල කොටස් ශරීරයේ දී අක්මාව තුළ දහනය කොට ඒවායේ කාබන් අංශු ඉවත් කොට ජීරණ අන්තඵල බැහැර කිරීමක් සිද්ධ කරනවා. ප්‍රමාණය ඉක්මවා ගිය එතිල් මධ්‍යසාර ප්‍රමාණයක් ශරීරයට එකතුවෙද්දි ඒවායේ විෂහරණය කෘත්‍ය නිසියාකාරව සිද්ධ කරන්න අක්මාවට ඇති කාර්ය ප්‍රමාණය ඉක්මවා යනවා. ඉන් සෛලවලට වෙහෙසක් ඇතිවී සෛල විකෘති තත්ත්වයක් ඇති වෙනවා. එහෙම ඇති වෙන කෙනෙක්ගේ සිරෝසිස් වගේ අක්මා ප්‍රදාහ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ සමග තෙල් තැන්පත්වීමටත් අක්මාව නැඹුරුවීමට ඉඩ තියෙනවා. මේ තත්ත්ව දෙකම ඇති වෙන අවස්ථාත් දැකගන්න ලැබෙනවා.
ඒ වගේම තමයි දවල්ට නිදාගැනීම ආයුර්වේදයේ වගේම දේශීය චිකිත්සාවේත් කොහොමටත් නිර්දේශ කරන්නෙ නැහැ. දිවා කල නින්ද බොහෝ විට රෝග රැසකට හේතු වෙනවා . ඒකට හේතුව තමයි ප්‍රධාන ආහාර වේලකට පසු සංචිතමය කොටස්වල ඇති දහනය නිසි පරිදි සිදු වෙන්නෙ නැහැ නිද්‍රාගත තත්ත්වයකට ගිය විට. ඒ නිසයි අපි රාත්‍රී ආහාරය පුළුවන් තරම් සැහැල්ලු කරන්න කියලා කියන්නේ. ඒ නිසා කොහොමත් හොඳයි ප්‍රධාන ආහාර වේලකින් පසු පැයක් විතර කාලයක් අවදියෙන් ක්‍රියාශීලීව සිටීම.
වැඩි බලපෑම
බොහෝ විට උදර ආශ්‍රිතව ස්කෑන් පරික්ෂණ ලියා දුන් පසු බොහෝ රෝගීන් ගෙන් රෝග නිර්ණයක් ලෙස එන දෙයක් තමයි අක්මාවේ තෙල් තැන්පත්වීමක් පවතින බව. ඇත්තටම වර්තමානයේ සමස්ත ජනගහනයෙන් සියයට 90 ට ආසන්න ප්‍රමාණයකට අක්මාවේ තෙල් තැන්පත්වීමේ ගැටලුවක් තියෙනවා. එසේ සලකා බැලුවොත් තරගකාරි අවධියේ ඉන්න තරුණ ප්‍රජාව, සාමාන්‍යයෙන් වයස අවුරුදු 25-30 ත් අතර වයස් මට්ටමේ සිට අවුරුදු 65-55 කියන කාලාන්තරය වෙනකල්ම මේක විහිදිලා තියෙනවා.
තරබාරු අයට විතර ද මේ රෝගය තියෙන්නේ?
මහත අයට ෆැටී ලිවර් තියෙනවා කියන එක මිථ්‍යා මතයක්. නමුත් මහත බොහෝ දෙනෙක්ට ෆැටී ලිවර් තත්ත්වයන් තියෙනවා. හැබැයි ෆැටී ලිවර් තියෙන හැමෝම මහත අය නෙවෙයි. සිහින් කෙට්ටු ශරීරයක් ඇති අයෙකුට පවා ෆැටී ලිවර් තියෙන්න පුළුවන්.
ප්‍රතිකාර
දේශීය චිකිත්සාවේ දි අක්මා ප්‍රදාහයේ මූලික අදියරයේ දී ඉතාමත් නිවැරදි ප්‍රතිකාර තුළින් බොහෝ දුරට රෝගියාව සුවපත් කරන්න හැකියාව පවතිනවා. නමුත් ඉතාමත් අසාධ්‍ය තීව්‍ර මට්ටමට පැමිණ ඇති රෝගී තත්ත්වයන්වල දී ඖෂධ භාවිතයේ යම්කිසි සීමාවන් අපිට පැනවෙනවා. බටහිර ප්‍රතිකාර ගැන තීරණය කිරීමේ දී අක්මා ප්‍රදාහ හෝ අක්මාවේ මේදය තැන්පත් වීම සඳහා විශේෂ ප්‍රතිකාර ක්‍රමවේදයක් නැහැ.
ඒ අය බොහෝ විට කරන්නේ ආහාර සහ දින චර්යාවේ ඇති කරගන්නා වූ වෙනස්කම් සමග මූලික සංඝටකවලට ලබාදෙන විටමින් සහ ප්‍රෝටීන් සංඝටකවල තුල්‍යතාවයක් ඇතිව ලබා ගැනීමට උපදෙස් දීමක්. නමුත් දේශීය චිකිත්සා ක්‍රමවේද තුළ බොහෝමයක් අක්මාවට හිතකර ආහාර වට්ටෝරු සමග ඖෂධ මාත්‍රා ලබාගැනීම් සඳහන් වෙලා තියෙනවා.
අක්මාවේ හිතකර ස්වභාවය පිළිබඳව සඳහන් වෙන විශේෂ ඖෂධ ලබා ගැනීම්, වට්ටෝරු සඳහන් කිරීම් ඒ රෝග තත්ත්වයන් එක්ක ඍෂිවරුන් ප්‍රකාශ කරලා තියෙනවා. අපි හඳුනාගෙන තියෙනවා එවැනි රෝගී තත්ත්වවල දී භාවිතා කරන ඖෂධවල ගුණාත්මකභාවය සහ කුමන ආකාරයට ද එම ඖෂධ භාවිත කළ යුත්තේ කියලා.
ආයුර්වේදයේ සාමාන්‍යයෙන් දින චර්යාව ගැන එහෙම නැත්නම් ස්වත්තභූත යටතේ විශේෂ අවධානයක් යොමු කරනවා. එහිදී විශේෂයෙන්ම ආහාරපාන චර්යා පිළිබඳ විශේෂ සඳහන් කිරීම් කිහිපයක් තියෙනවා. එහිදී අතත්‍ය ආහාර ලෙස සඳහන් කර තියෙන විශේෂ ආහාර තියෙනවා. විශේෂයෙන්ම මේද අධික ආහාර, yakrut රෝග ඇති අයට කොහොමත්ම හොඳ නැහැ, නමුත් නිරෝගී කෙනෙක්ට එවැනි තත්ත්වවලින් වැළකී ජීවත්වෙන්න වුණත් අධික මේද අධික ආහාර සහ පිෂ්ඨ අධික ආහාර, සීනි අධික ආහාර යන ආහාර වර්ග තුනම සුදුසු නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම හොඳින් මතක තබා ගන්න ඕනෙ දෙයක් තමයි තෙල් වර්ග භාවිත කිරීමේදී ශාකමය තෙල් වර්ග මාංශමය තෙල් වර්ගවලට වඩා ගොඩක් හිතකරයි. විශේෂයෙන්ම මාංශමය ආහාර වැඩිපුර ලබා ගැනීම, බිත්තර, අඩු වයසින් මේරු සත්ත්වයන් ලෙස භාවිත කුකුල් මස් ප්‍රභේද වැනි හෝමෝන එක්කළ ආහාර නුසුදුසු වෙන්නේ. ඒ වගේම කෘත්‍රිම රසකාරක වර්ණකාරක එක් කළ ආහාරත් සුදුසු නැහැ. එවැනි ආහාරවලින් වැළකී තමන්ගේ ආහාර වේල හැකි තරම් සැහැල්ලුවෙන් සහ නිවසේ දිනපතා සොයාගත හැකි ආහාරවලින් සකසා ගත හැකි නම් අක්මා රෝගවලින් වැළකී ජීවත් විය හැක.
ආහාර රටාව
විශේෂයෙන්ම අපට සතියකට වතාවක් සලාද, පලා මැල්ලුම්, කොළ කැඳ වර්ග, නිවුඩු හාලෙන් සෑදූ කැඳ, බෙලිමල්, රණවරා මෙන් සැහැල්ලු පානයක් ආහාරයට එක්කර ගැනීමෙන් මේ රෝග තත්ත්වයෙන් වැළකිය හැකියි. එසේම එළවළු, පලතුරු, සම්පූර්ණ ධාන්‍ය සහ සෞඛ්‍ය සම්පන්න මේද කෙරෙහි අවධානය යොමු කළ හැක. සීනි සහ පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් සීමා කළ යුතුය. මේවා ඉන්සියුලින් වැඩි කරන අතර අක්මාවේ මේදයට දායක වේ.
කෞශල්‍යා ලක්ෂානි