සහරාන්ගේ කල්ලියේ බෝම්බ හැදූ කාන්තාව


 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවී වසර තුනක් ගතවන්නට තවත් ඉතිරිව ඇත්තේ මාසයකටත් ආසන්න කාලයකි. දින ගණන් කරමින් සිටියත් තවමත් එහි විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින්නේය. එය කුමන කෝණයකින් බැලුවද තවමත් වින්දිතයින් වේදනා විඳිමින් සිටින බව නිරන්තරයෙන් අපට අසන්නට දකින්නට ලැබෙයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට අදාළව සැකකරුවන් 25 දෙනකුට කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අධිචෝදනා නගමින් මේ වන විටත් එය විභාග වෙමින් පවතියි. වනාතවිල්ලුව ලැක්ටෝවත්ත සිද්ධියට අදාළව පුත්තලම මහාධිකරණයේ චූදිතයන් හය දෙනකුටත් මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියට අදාළව කෑගල්ල මහාධිකරණයේ චූදිතයන් 16 දෙනකුටත් නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරනු ලැබ එම නඩු කෘත්‍යයන් ද විභාග වෙමින් තිබේ.   

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අවස්ථාව තිබියදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කණ්ඩායමක් ඒ පිළිබඳ නිසි පරිදි විමර්ශනය නොකිරීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එම දෙපාර්තමේන්තුව කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි ශෂිකලා විජේතුංග මහත්මිය ඉදිරියේ ඉකුත් පෙබරවාරි මස 10 වැනිදා කරුණු වාර්තා කර තිබුණේ මේ අතරවාරයේදීය.   


මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට යොමුකරන ලද පෙත්සමක් විමර්ශනය කරන ලෙස පොලිස්පතිවරයා විසින් ඉකුත් 2021 වසරේ දෙසැම්බර් මස 03 වැනිදා තම ඒකකයට භාරදෙනු ලැබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකක ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත දිසානායක මහතා මේ සම්බන්ධයෙන් එලෙස අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.   


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර එනම් ඉකුත් 2019 පෙබරවාරි මස 19 වැනි දින අංක 383/2, කැකුණගොල්ල, කැකුණගොල්ල යන ලිපිනයේ පදිංචිව සිටි සහ්රාන්ගේ බිරිඳ වන ෆාතිමා හාදියා යන අයගේ නිවසට ගොස් විධිමත් විමර්ශනයක් සිදුකිරීමට එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි උසස් නිලධාරීන් නිසි උපදෙස් හා නියෝග ලබා නොදීම හේතුවෙන් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වී ජීවිත 300කට ආසන්න ප්‍රමාණයක් මියයාම සහ 500කට අධික ප්‍රමාණයක් තුවාල ලැබීම මෙන්ම දේපළවලට හානිවීම යන සිද්ධීන් වළක්වා නොගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලද පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් විය.   


ඒ අනුව ඉකුත් 2019 පෙබරවාරි මස 19 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උපපොලිස් පරීක්ෂක ඩයස් ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් කුලියාපිටිය ප්‍රදේශයට ගොස් සිදුකළ විමර්ශනයට අදාළව විමර්ශන උදෘත ලබාගැනීමට කටයුතු කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.   


ඒ අනුව, 2018 දෙසැම්බර් මස 22 වැනි දින සිට 2018 දෙසැම්බර් මස 26 වැනි දින දක්වා මාවනැල්ල ප්‍රදේශයේ පුද්ගලයින් කණ්ඩායමක් බුදු පිළිම කැඩීමේ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ 02 හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරසිංහ මහතා විසින් සිදුකරනු ලැබ ඇති අතර, ඒ සඳහා උපපොලිස් පරීක්ෂක ඩයස්, පොලිස් සැරයන් 4679 නන්දලාල්, පොලිස් සැරයන් 587 පාලිත, පොලිස් සැරයන් 34836 විජයරත්න සහ පොලිස් කොස්තාපල් 92170 දිසානායක යන නිලධාරින් සහාය වී ඇතැයි අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.    
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇයගෙන් ප්‍රකාශය සටහන් කරගන්නා අවස්ථාවේදී එම නිවස තුළ සාරා ජෙස්මින් නොහොත් පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් “සාරා” යන අය රැඳී සිට ඇති බවට පසුව කරුණු අනාවරණය වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.   


මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ ඉකුත් 2019 ජනවාරි මස 16 වැනිදා වනාතවිල්ලුව අවි පුහුණුව හා අවි ආයුධ සොයාගැනීම් සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අනාවරණය වූ කරුණු අනුව සිදුකළ විමර්ශනයට අදාළව සහ්රාන්ගේ බිරිඳගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබීම පමණක් විමර්ශකයින් සිදුකර ඇති බවය. එසේම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 700ක් පමණ නිලධාරින් සිටියදී මෙතරම් බරපතළ සිදුවීමක් සඳහා නිලධාරීන් පස් දෙනකු පමණක් යොදවා තිබීම ද ගැටලු සහගත බව රහස් පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණ. එම විමර්ශන නිලධාරීන් විසින් ඒ පිළිබඳව පසුපස හඹායෑම් සඳහා එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් උපදෙස් ලබාදී තිබුණේ නම් හාදියා සහ සාරා රැගෙන යාමට පැමිණ සිටි සහ්රාන් එදිනම අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබූ බවත් එසේ වී නම් එම මාසයේම 21 වැනිදා සිදුවූ පාස්කු ඉරු දින ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබූ බවත් රහස් පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.   
අධිකරණ නියෝග අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොහොමඩ් සහ්රාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් පාතිමා හාදියාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ගොස් තිබිණි. එහිදී ඇය කියන්නේ අමුතුම කතාන්දරයකි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූ සාරා ජෙස්මින් නොහොත් පුලස්තිනි මහේන්ද්‍රන් නොහෝත් “සාරා” නමැත්තිය බෝම්බ සෑදීමේ ක්‍රියාවලියේ නිරතව සිටි අයකු බවත්, ඒ සඳහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය, වෙඩි බෙහෙත් සහ රසායනික ද්‍රව්‍ය ආදිය සියල්ලක්ම ඇය සන්තකයේ තිබූ බවත් ඇය සිය ප්‍රකාශයෙන් පවසා තිබිණි. සාරා ජෙස්මින් යන අය නිතර නිතර සිදුකරමින් සිටියේ අන්තර්ජාලය පරිශීලනය කිරීමත් තොරතුරු එක්රැස් කිරීමත් පසුව ඒවා තම කණ්ඩායමේ අයවලුන්ට බෙදාහැරීමත් බව ද ඇය සිය ප්‍රකාශයෙන් සඳහන් කර ඇත.   


මේ අතර, සාරා යටතේ අවි පුහුණුවීම් ආදී අන්තවාදී දේශනවලට සහභාගී වෙමින් ‘ඉස්ලාම් රාජ්‍යයක් උදෙසා දිවුරුම් දුන්’ බව කියන කාන්තාවන් 10 දෙනකු නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ද නිකුත් වී තිබුණේ ඉකුත් ජනවාරි මාසයේදීය.   


මේ කියන සාරා සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ ඇතිවී තිබෙන කතා බහේ නම් අඩුවක් නැත්තා සේය. ඇය ඉන්දියාවට පලා ගියාද? නැතහොත් ඇය සයිදමරුදුහිදී මියගියේ දැයි දැන් විමර්ශකයෝ සොයමින් සිටිති. විදෙස් ගතව සිටින සාරාගේ ඥාති සහෝදරයකුගේ ඩී එන් ඒ වාර්තා සමග සයිදමරුදු හි මියගිය අයගේ ඩී එන් ඒ සැසඳීම සඳහා නැවතත් අධිකරණ නියෝග ලබාගැනීමට සූදානම් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග සඳහන් කරයි.   


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි අංශ වාර්තා අනුව පියවර නොගැනීම ඇතුළු චෝදනා ගණනාවක් ඉදිරිපත් කරමින් රහස් පොලීසිය කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කොට ඇති බී වාර්තාව මත පදනම්ව තමන්ව අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් සහ රුපියල් කෝටි දහයක වන්දි මුදලක් ලබා දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා සහ එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණේ මේ අතරවාරයේදීය.   
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබාගැනීමේ නියෝග නිකුත් කිරීම වළකාලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ද අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා, එම දෙපාර්තමේන්තුවෙහි ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂනී හේවාපතිරණ සහ එහි විශේෂ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා ඇතුළු 14 දෙනෙකි.   


මේ අතර කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය අමතමින් පැවසුවේ, මිනිස් ජීවිත 296ක් විනාශ කරමින් ලංකාවේ සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය මහා දේශපාලන කුමන්ත්‍රණයක කොටසක් බවයි. පාස්කු ඉරිදා සමූල ඝාතනය පිටුපස ඇති සත්‍ය සොයා ගැනීමට අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්වීම සඳහා ක්‍රමවේදයක් සැලසුම් කිරීමට සහයෝගය දක්වන ලෙසද උන්වහන්සේ එහිදී ඉල්ලා සිටියහ.

 

 

නිමන්ති රණසිංහ