ශ්‍රී ලංකාවට පදක්කම් මල්ලක්


ඡායාරූප:- තායිලන්ත තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනාගෙන් හත් දෙනෙකුටම පදක්කම්. පුහුණුකරු අනුර බණ්ඩාර හා කළමනාකරු ලුතිනන් කර්නල් රංජිත් හෙන්නායක යන අයද මෙහි වෙති.

බැංකොක් නුවරදී නිමාවට පත් වූ තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් හයක් ඇතුළුව රිදී පදක්කම් හතරක් හා එක් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

ඒ අතර වියට්නාමයේදී තරග වැදුණු ශ්‍රී ලංකා මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මී අහිංසා ප්‍රනාන්දු එහිදී පැවැති ආසියානු වයස 23 න් පහළ මල්ලවපොර තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්වීමත් පසුගිය සතියේදී ජාත්‍යන්තර තරග බිමේ ශ්‍රී ලංකාව අත් කර ගත් තවත් කීර්තියක් විය.

මෙවර ඉරිදා ලංකාදීප ක්‍රීඩා පිටුවෙන් ඔවුන්ගේ දක්ෂතා පිළිබඳව විමසුමක් කිරීමට අදහස් කළෙමු. 

තායිලන්ත මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙකු සහභාගී කිරීමේදී ඉන් හත් දෙනෙකුම පදක්කම් දිනා ගැනීමට සමත්වීම කැපී පෙනුණි. එහිදී මැදි දුර ධාවන ශූර රුසිරු චතුරංග ගාල්ලගේ හා පිටියේ ඉසව් ක්‍රීඩිකා නෙත්මිකා මධුෂානී හේරත් රන් පදක්කම් දෙකක් බැගින් දිනා ගැනීමට සමත්වීමත් වඩාත් අවධානයක් දිනා ගත්තේය.

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා අමාෂා ද සිල්වා මීටර 100 (කාන්‍තා) ඉසව්වේ සිව් වැනි ස්ථානයට (තත්පර 12.05) පත්වීමෙන් පදක්කමක් දිනා ගැනීමේ අවස්ථාව ඇගෙන් යන්තමින් වැළකී ගියාය. 

දුර පැනීම හා තුන් පිම්ම යන පිටියේ (කාන්තා) ඉසව් දෙකකදී පිළිවෙළින් මීටර 6.37 ක හා මීටර 13.58 ක දක්ෂතාවයන් දක්වමින් නෙත්මිකා මධුෂානි හේරත් රන් පදක්කම් දෙකක් බැංකොක් නුවරදී දිනාගත්තාය.

ද්විත්ව රන් පදක්කම්ලාභී රුසිරු චතුරංග ගාල්ලගේ මීටර 1500 ( විනාඩි 3) හා මීටර 800 (විනාඩි 1තත්පර 50.01) යන පිරිමි ඉසව් දෙකේදී රන් පදක්කම් දිනා ගත්තේය.

මීටර 800 (කාන්තා) ඉසව්වෙන් නිමාලි ලියනාආරච්චි (විනාඩි 2 තත්පර 10.46) හා වක්ෂාන් වික්නරාජ් මීටර 5000 (පිරිමි) ඉසව්වෙන් (විනාඩි 15 තත්පර 04.56) ශ්‍රී ලංකාවට තායිලන්ත තරගාවලියේදී රන් පදක්කම් දිනා දුන් සෙසු ශ්‍රී ලාංකිකයෝ වූහ.

කණ්ඩායම් නායිකාව ලෙස මෙම තරග සංචාරයට එක්ව සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකා 35 හැවිරිදි නිමාලි ලියනාආරච්ච් විදෙස් තරග සංචාරයකට සහභාගි වන්නේ වසර 2021 ජූලි මාසයට කල් දමමින්පැ වැත්වූ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලෙන් පසුවය.

ඒ අනුව රුසිරු චතුරංග හා මධුෂානි හේරත් (දුර පැනීම හා තුන් පිම්ම - කාන්තා) මෙම තරගාවලියේදී ද්විත්ව රන් පදක්කම්ලාභියෝ බවට පත් වූහ. ඒ අතර රන් පදක්කම්ලාභීන් වන නිමාලි ලියනාආරච්චි හා වක්ෂාන් වික්නරාජ් මීටර1500 කාන්තා හා පිරිමි යන ඉසව් දෙකෙන් රිදී පදක්කම් හිමි කර ගැනීමෙන් ඔවුන් තායිලන්ත තරගාවලියේ ද්විත්ව පදක්කම්ලාභී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බවට පත් වූහ.

තායිලන්ත විවෘත තරගාවලියේ ශ්‍රී ලංකාව මෙතෙක් දිනා ගත් වැඩිම පදක්කම් ගණන ඒ අනුව මෙවර තරගාවලියේදී වාර්තා වී තිබේ. වසර ගණනාවකට පසුව ශ්‍රී ලංකාව මෙවර තායිලන්ත විවෘත (ජාත්‍යන්තර) මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි විය. එහි ශ්‍රී ලංකා සහභාගිත්වයේ විශේෂ වැදගත්කමක් වන්නේ ඉහළම ජාත්‍යන්තර පදක්කම් දිනූ මෙරටින් බිහිවූ විශිෂ්ටතම මලල ක්‍රීඩික ක්‍රීඩිකාවන් රැසකගේ පළමු ජාත්‍යන්තර තරග අත්දැකීමක් බවට එය පත්ව තිබීමයි.

ඒ අතර දමයන්ති දර්ශා, සුසන්තිකා ජයසිංහ, ශ්‍රියානි කුලවංශ, සුගත් තිලකරත්න, රොහාන් ප්‍රදීප් කුමාර, ප්‍රසන්න අමරසේකර, රංග විමලවංශ, ජයමිණී ඉලේපෙරුම, ධම්මිකා මැණිකේ, ප්‍රියන්ත දිසානායක, යමුනා ජයලත් යාපා, චින්තක ද සොයිසා, ඉනේකා කුරේ ආදී පැරණිතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝද වෙති.

ආසියානු වයස 23 න් පහළ මල්ලවපොර ලෝකඩ පදක්කම හිමි කර ගත් නෙත්මී අහිංසා ප්‍රනාන්දු පුහුණුකරු සුරංග කුමාර හා ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ යන අය සමග කටුනායක ගුවන් තොටුපොළේදී

මේ අතර වියට්නාමයේදී රටවල් 44 කගේ සහභාගිත්වයෙන් නිමාවට පත්වූ ආසියානු වයස 23 න් පහළ මල්ලවපොර තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා නෙත්මී අහිංසා ප්‍රනාන්දු කිලෝග්‍රෑම් 57 බර පංතිය (කාන්තා) ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් වූවාය.

එහිදී චීන - තායිපේ හා කසකස්තානය යන රටවල ක්‍රීඩිකාවන් පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසි නෙත්මී එහිදී උතුරු කොරියානු ක්‍රීඩිකාවට තියුණු පරාජයක් ලැබීමෙන් අවසන් තරගයේ අවස්ථාව ඇය වෙතින් ගිළිහී ගියාය. මෙහි රන් පදක්කම දිනා ගත්තේද එකී උතුරු කොරියානු ක්‍රීඩිකාව වන ඈන් ජේ විසිනි.

21හැවිරිදි නෙත්මී අහිංසා මීට පෙර ජාත්‍යන්තර වශයෙන් අවධානය දිනා ගත් ඉහළම අවස්ථාවන් වූයේ වසර 2022 බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී හා වසර 2024 ස්පාඤ්ඤ ලෝක ශූරතා (වයස 20 න් පහළ) තරගාවලියේදී එම ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත්වීමෙනි.
තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 24 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වූහ.

ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ මහතාගේ පෞද්ගලික අනුග්‍රහයෙන් නෙත්මි අහිංසා මෙන්ම සිව් වැනි ස්ථානයක් ලද ශ්‍රී ලංකා ක්‍රීඩිකා නිපුණී වාසනා හා පුහුණුකරු සුරංග කුමාර මෙම තරග සංචාරයට සහභාගි වී තිබේ.

සරත් හේවාවිතාරණ ඉරිදා ලංකාදීපයට පැවැසුවේ ශ්‍රී ලාංකිකයෙකුට මල්ලවපොර ක්‍රීඩාවෙන් මෙතෙක් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා නිර්දේශ ලබා ගැනීමේ අවස්ථාවක් හිමිව නැතත් බොහෝවිට එම අවස්ථාව උදා කර ගන්නා මෙරට පළමු ශ්‍රී ලාංකිකයා බවට නෙත්මී අහිංසා පත්වීමේ ඉහළම ප්‍රවණතාවයක් පවතින බවයි.

ඒ හේතුවෙන් මීළඟට 2028 ට යෙදෙන ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් නිර්දේශ ලබා ගැනීමේ දැඩි අදිටනෙන් යුතුව ඇගේ පෙර පුහුණුවීම් ඉහළම සාර්ථකත්වයෙන් යුතුව පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය හා එහි සභාපතිවරයා ලෙස තමා පෞද්ගලිකවත් මැදිහත්වීම් කරන බව සරත් හේවාවිතාරණ පවසයි. 

නාමල් පතිරගේ