රසවත් තේ කෝප්පයක් පානය කිරීමෙන් ලැබෙන නැවුම් ආශ්වාදයත්, ගතට ලැබෙන මිහිරත්, දුරුවන කාන්සියත් ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. ඕනෑම විඩාබර ගතියක් ඉමිහිරි තේ කෝප්පයකින් දුරු කර ගත හැකිය. ශ්‍රී ලංකාවේ කීර්ති නාමය ලෝකය හමුවේ බැබළවීමට මුල් වූ වගාවක් ලෙස තේ කර්මාන්තය අදටත් එක සේ ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබේ. ඒ අනුව ලොවක් රස ගන්වන විවිධ තේ රසයන් තුළින් කීර්තියක් අත්පත් කර ගෙන සිටින ශ්‍රී ලාංකේය “සිලෝන් ටී” සන්නාමය අප සතු සුවිසල් සම්පතකි.
නමුත් මේ කියන්නට යන්නේ තේ පිළිබඳ වූ අතුරු කතාවකි. මෙය තේ කර්මාන්තයේ ඉතාම වැදගත් සහ විශේෂිත ක්ෂේත්‍රයකි. එය කලාත්මක බව සහ විද්‍යාත්මක ක්‍රමවේදයන් මුසු වූ වෘත්තියකි. එනම් තේ රස පරීක්ෂක වෘත්තියයි (Tea Taster) . මේ වෘත්තියෙහි නියැළෙන්නේ පුරුෂ පාර්ශ්වයේ වෘත්තිකයන්ය.
නමුත් එකම එක කාන්තාවක් පමණක් මේ වෘත්තියේ නියැළෙන්නීය. ඇය නමින් ගීධාරි සුපේසලා වල්පිට යි. තම වෘත්තියේ අත්දැකීම් පිළිබඳව සිය අදහස් “ඉරිදා ලංකාදීප”ය සමග ඇය මේ අයුරින් බෙදා ගත්තා ය.
“තේ රස බැලීම කියන්නේ තේ කෙරෙහි සැබෑ ආශාවක් සහ කැපවීමක් ඇති පුද්ගලයන්ට ඉතා හොඳින් ගැලපෙන, අභියෝගාත්මක නමුත් තෘප්තිමත් වෘත්තියක්. මම මේ වෘත්තියට සම්බන්ධ වෙලා අවුරුදු 09 ක් වෙනවා.”
“මගේ උපන් ගම ගාල්ල. ගාල්ලේ සවුත්ලන්ඩ්ස් විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබීමෙන් පස්සේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා ව්‍යවහාරික ජෛව විද්‍යා පීඨයෙන් මම මගේ මූලික උපාධිය සම්පූර්ණ කළා. පසුව එක්සත් රාජධානියේ Anglia Ruskin විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය සම්පූර්ණ කළා.”
“2015 වසරේ දී මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිම කරලා, මට විද්‍යා උපාධියක් තිබුණු නිසා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ තේ විද්‍යාගාර පුහුණුවරියක් ලෙස තනතුරට සම්බන්ධ වුණා. එහි කටයුතු කරද්දි තේ රස පරීක්ෂක තනතුර ගැන මම උනන්දු වුණා. එය ඒකීය වෘත්තියක්. ඒ නිසා මට ආශාවක් ඇතිවුණා ඒ වෘත්තියට. නමුත් එම වෘත්තියට කාන්තාවන් සම්බන්ධ වෙනවා බොහෝම අඩුයි. ඒකටත් හේතු තිබෙනවා. නමුත් මම මගේ තිබුණු උනන්දුවත් එක්ක ලොකු කැප කිරීමකින් පසුව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ තේ රස පරීක්ෂිකාවක් වශයෙන් තනතුරට සම්බන්ධ වුණා.”
“මේ වෘත්තිය වෙනුවෙන්ම පමණක් මම විශාල කැපකිරීමක් කළා කිව්වේ, ඒ වෘත්තිය වෙනුවෙන් මම අවුරුදු 5 ක කාලයක් න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුවක් ලැබුවා. එම පුහුණුව අත්‍යවශ්‍යයෙන්ම ලැබිය යුතුයි. ඒ අවුරුදු 5 ක කාලය අතරතුර විභාග හා සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දෙන්න සිදුවුණා. 2016 - 2018 කාලපරිච්ඡේදයේ දී මම තේ කර්මාන්තශාලාවල හා තේ තැරැව්කරුවන් ගෙන් හා තේ අපනයනකරුවන් ගෙන් ප්‍රායෝගික පුහුණුවක් ද ලැබුවා. ලංකාවේ තේ තැරැව්කරුවන් 8 දෙනෙක් සිටිනවා. ඊට අමතරව තේ අපනයනකරුවන් සමග සම්බන්ධ වෙලා පුහුණු වෙන්න ඕන. මෙය විශාල ක්‍රියාවලියක්. ඒ අනුව තේ පැළයේ සම්භවයේ සිට අපනයනය කරන හෝ නිමි තේ එකක් දක්වා වූ සමස්ත ක්‍රියාවලිය පිළිබඳව දැනුම අවබෝධයක් තිබිය යුතුයි.”
තේ රස පරීක්ෂණය යනු තේවල ගුණාත්මක භාවය, වර්ගය සහ විශේෂ ලක්ෂණ තීරණය කිරීම සඳහා සිදුකරන විධිමත් ක්‍රියාවලියකි. තේ රස පරීක්ෂකයෙකු විසින් විවිධ සංවේදක උපයෝගි කරගෙන තේවල සුවඳ, වර්ණය, රසය සහ දිවට දැනෙන ස්වභාවය (Mouthfeel) විශ්ලේෂණය කරනු ලබයි. තේ රස බැලීම එක්තරා ආකාරයක කලාවක්. සාමාන්‍යයෙන් තේ වත්තකින් නෙළා ගන්නා තේ දලුවල රසය පෙර වාර්තා අනුව නිශ්චිතව පුරෝකථනය කිරීම අසීරුය. එකම තැනකින් නෙළාගත්ත ද වසරේ කාලය අනුව තේ දල්ලකට හිමිවන රසය පැහැය හා සුවඳ වෙනස් වීම මීට හේතුවයි. සමාන ගුණාංග වලින් යුතු තේ සාම්පල එක් කාණ්ඩයක් යටතේ වර්ග කිරීමකට ලක් කරනු ලැබේ. මේ වර්ගීකරණ ක්‍රියාවලිය සිදු කරන්නේ තේ රස පරීක්ෂකවරුන් විසිනි. මෙය ඉතා භාරදූර සියුම් කාර්යයකි. තේ වෙෙළඳාමෙහි නියුක්ත වන සියලුම පාර්ශ්වකරුවෝ එනම් නිෂ්පාදකයන්, තැරැව්කරුවන් හා මිලදී ගන්නන් තේ නිෂ්පාදනවල ගුණාත්මක බව තක්‌සේරු කිරීමට තේ රස පරීක්ෂකවරුන් සේවයේ යොදා ගනිති.
තේ රස පරීක්ෂණ ක්‍රියාවලිය සිදුකරනු ලබන ආකාරය පිළිබඳව ගීධාරි සුපේසලා මෙසේ පැහැදිලි කළාය.
“අපි තේ රස පරීක්ෂාව කරන්නේ Organoleptic test එකක්. එනම්, අපේ මුළු පංචේන්ද්‍රියම භාවිත කරමින් කරනු ලබන පරීක්ෂණයක් ලෙසයි. මුලින්ම තේ සාම්පලය හෙවත් තේ කොළ නියැඳිය ඇසෙන් බලනවා, පසුව නාසයෙන් ආඝ්‍රාණය කරලා බලනවා. ඒ තේ සාම්පලයේ සුවඳ හා සුදුසු තත්ත්වයේ පවතිනවා ද කියන එක. ඉන්පසුව තේ සාම්පලය අතට අරන් තේ සාම්පලයේ ඝනත්වය (Hardness) බලනවා, ඒකෙන් තේ සාම්පලයේ ගුණාත්මක බව ගැන කියන්න පුළුවන්. විද්‍යාගාරයක් තුළ තේ සාම්පලයක් පරීක්ෂා කිරීමෙන් කරන්නේ, ප්‍රමාණාත්මක විශ්ලේෂණයක්. නමුත් පංචේන්ද්‍රිය භාවිත කරමින් කරන පරීක්ෂණයට කියන්නේ, ගුණාත්මක විශ්ලේෂණයක් කියලා.”
“මුලින්ම තේ රස පරීක්ෂකයන් ගේ පිරික්සුම සඳහා වියළි තේ කොළ නියැඳි, මේසයක් මත තබා එම මේසය ළඟ සිට ගෙන තේ රස බැලීම සිදු කරනු ලබනවා. මෙය වියළි තේ කොළ දෙස බැලීමෙන් ද, ඇතැම් අවස්ථාවල දී අතගා බැලීමෙන් ද පරීක්ෂා කරනවා.
මෙම පරීක්ෂණයේ දී රස පරීක්ෂකයා තේ කොළවල පෙනුම, ලොකු කුඩා බව, වර්ණය සහ “ටිපි” හෙවත් දලු දකින්නට තිබෙනවාද යනාදී විවිධ ලක්ෂණ සොයා බලනවා. පසුව එක් එක් තේ නියැදිය නටන වතුරට දැමීම ද සිදු කරනවා. මෙහිදී සාමාන්‍ය අනුපාතය වන්‌නේ තේ 2.5ට නටන උණු වතුර 150ක් ය. ඉන්පසු එම භාජනය මිනිත්තු 4 - 5 ක කාලයක් වසා තබනු ලබනවා. මෙම තේ රස බැලීම සිදුකරනු ලබන්නේ විශේෂිත ආලෝකකරණයක් යටතේ, එනම් තේ රස බැලීමට ඒකකයේ විදුලි ආලෝකයක් අවශ්‍ය වෙනවා.”
“අනතුරුව තේවල රසය උරා ගෙන ඇති දියරය, රස බැලීම සඳහා විශේෂයෙන් වෙන් කර තිබෙන සුදු පාට පෝසිලේන් කෝප්පවලට වත් කරනු ලබනවා. තැම්බුණු තේ කොළ වලින් කොටසක් ද පිරික්සීම සඳහා සුදු පාට පෝසිලෙන් පීරිසියක නැත්නම් පියනක තබනවා.
පසුව තේ රස පරීක්ෂකයා තේ කොළවල වර්ණය සහ “ඔපවත් බව” යන මේවාට අමතරව එහි සුවඳ සහ වර්ණ අනුකූලතාව ද තක්‌සේරු කරනු ලබනවා. ඉන්පසුව තේ දියර (Liqour) පරීක්ෂාවට ලක් කරනවා. තේ වල තත්ත්වය ගැන රස පරීක්ෂකයා ගේ විනිශ්චය පිළිබඳව මේ පියවර තීරණාත්මක බලපෑමක් ඇති කරනවා. මෙහිදී සුවඳ වැදගත් මිනුම් දණ්ඩක්. ඒ වගේම තේ කහටවල වර්ණය මෙන්ම පැහැදිලි බව සහ උකුගතිය හෙවත් කහට ගතිය (Strength) යන මේවා වැදගත් වෙනවා. මේවා තමයි තේ හඳුනාගැනීමට උපයෝගී කර ගන්නා ගුණාංග.”
“අවසානයේ දී තේ රස පරීක්ෂකවරයා තේ දියරය සිය මුව තුළට ගන්නවා. එසේ ගෙන මහත් ශබ්දයක් නගමින් එය උරනවා. එසේ කරන්නේ ඔක්සිජන් වායුව සමග මිශ්‍ර වී දිවේත්, තල්‌ලේත් හැම කොටසකටම කහට සංසරණය කරවන්නයි. මෙසේ කිරීමෙන් තේවල ගුණාංග, එනම් නැවුම් බව, කහට ගතිය, පියකරු සුවඳ, ප්‍රණීත රසය යනාදී ගුණාංග රාශියක් තක්‌සේරු කර ගන්නවා. තේ රස බැලීමට අදාළ වාග්මාලාවෙහි (Terminology) එබඳු ගුණාංග පැවසෙන පාඨ සමුදායක් තිබෙනවා. ඒ වගේම තවත් දෙයක් කිවයුතුයි. තේ රස පරීක්ෂක විසින් තේ දියරය පමණක් නෙවෙයි බලන්නේ, නිමි තේවල කොළය (Dry leaf), තේ මණ්ඩිය (Infusion) ද ඊට අමතරව දියරය (Tea liqour) ද බලනු ලබනවා. ඒ තුනෙන්ම අවබෝධ කර ගන්නවා. ඒ වගේම තේ වල ක්ෂුද්‍ර ජීවීන් සිටිනව ද යන්නත් ඒ තේ රසයෙන් දැනෙන්න ඕන. ඊට අමතරව තේ රසයට අමතරව වෙන රසක් තිබේ නම් එය දැනෙන්න ඕන. තේ එක පරණ නම් එය දැනෙන්න ඕන. මේවා පුහුණුව තුළින් තමයි දැන ගන්නේ.”
“මම තේ රස පරීක්ෂකවරියක ලෙස මේ ක්‍රමවේදය යටතේ එක් දිනකට නියැඳි සියයක් පමණ පරීක්ෂා කරනවා.”
එසේම තේ රස පරීක්ෂක වෘත්තියට කාන්තාවන් ගේ දායකත්වය අඩුවීමට බලපාන ප්‍රධාන හේතු කීපයක් ඇත. මේවා ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවී, ලෝකයේ තේ කර්මාන්තයේ පොදුවේ දැකිය හැකි තත්ත්වයන්ය.
“මූලික වශයෙන් මතයක් තිබුණා, කාන්තාව ගේ ගර්භණී සමයේ තේ රස තන්තු වෙනස් වෙනවා කියලා. නමුත් මෙය විද්‍යාත්මකව තහවුරු කළ මතයක් නෙවෙයි. මේ අනූව ඉස්සර කාලයේ මේ වගේ වෘත්තීන්වලට කාන්තාවන් බඳවා ගන්න පසුබට වීමක් තිබුණා. නමුත් මේ වගේ මතයන් මේ වෙන විට නැති වෙලා තිබෙනවා. මම මේ ක්ෂේත්‍රයට එන විටත් පිරිමින් තමයි මෙම වෘත්තියේ කටයුතු කළේ. ඓතිහාසික පසුබිම නම්, තේ කර්මාන්තය ඓතිහාසිකව පිරිමින් විසින් ආධිපත්‍යය දැරූ ක්ෂේත්‍රයක්. තේ වතු කළමනාකරණය, තේ වෙන්දේසි කිරීම සහ රස බැලීම වැනි ඉහළ පෙළේ තනතුරු බොහෝ විට පිරිමින්ට සීමා වී තිබුණා.”
“තේ රස පරීක්ෂකවරුන්ට බොහෝ විට තේ කර්මාන්ත ශාලා, වෙන්දේසි ශාලා සහ විවිධ වතු අතර නිතර ගමන් කිරීමට සිදු වෙනවා. මෙය කාන්තාවන්ට, විශේෂයෙන්ම පවුලේ වගකීම් ඇති අයට, අපහසු විය හැකියි. රාත්‍රී වැඩ මුර සහ නම්‍යශීලී නොවන වේලාවන් එනම්, තේ කර්මාන්තයේ සමහර අංශවලට රාත්‍රී වැඩ වේලාවන් අවශ්‍ය විය හැකියි. එය කාන්තාවන්ට ඔවුන්ගේ පවුල් ජීවිතය සමග සමතුලිත කර ගැනීමට අපහසු වෙන්න පුළුවන්. ඊට අමතරව කාන්තාවන් තමන්ගේ රූප සොබාව ගැන උනන්දුවක් දක්වනවා. මේ වෘත්තියේ දී දවසකට තේ කෝප්ප 100 ක පමණ රස පරීක්ෂාවට ලක් කරනවා. මේ නිසා දත් අව පැහැ ගැන්වීම වගේ දේවල් සිදු වෙනවා. ඒ වගේම මෙම වෘත්තිය හිටගෙන කළ යුතු වෘත්තියක්. මේ වැනි හේතු නිසාත් කාන්තාවන් මේ වගේ වෘත්තියන්ට එන්නට පසුබට වෙනවා.”
“තේ නෙළීමේ දී අපි කියන්නේ තේ දල්ලයි කොළ දෙකයි නෙළන්න කියලා. ඒක තමයි ප්‍රමිතිය. ඒවා නෙලා ගෙන ආවට පස්සේ තේ නිෂ්පාදනයේ දී තේ කර්මාන්තශාලාවල කළ යුතු ප්‍රධාන පියවර 4 ක් අනුගමනය කරනවා. පළමු පියවර තමයි, තේ දල්ලේ ජලය යම් ප්‍රමාණයකින් අඩු කිරීම (Withering). දෙවන පියවර ජලය යම් ප්‍රමාණයකින් අඩු කළ දල්ලයි කොළයි රෝල් කිරීම (Rolling). තෙවන පියවර පැසවීමකට ලක්කිරීම (Fermentating). හතරවැනි පියවර වියළන යන්ත්‍රවලට දැමීම (Drying).”
ශ්‍රී ලංකාව ලොව ප්‍රමුඛතම තේ අපනයන රටක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන අතර, එහි අපනයන තේ වර්ග විශාල ප්‍රමාණයක් පවතී. මෙම තේ වර්ග ඒවා වගා කරන ලද ප්‍රදේශය, උස, සහ නිෂ්පාදන ක්‍රියාවලිය අනුව වෙනස් වේ. ඒ පිළිබඳව, ගීධාරි සුපේසලා මෙසේ සඳහන් කළාය.
“නිෂ්පාදනය කරන ලද නිමි තේ වලින් මැද පෙරදිග රටවලට යවන්නේ වැඩිපුරම පහත රට තේ. එනම් රුහුණ, සබරගමුව වැනි පැතිවල තේ. ඒ තේවල කළු පැහැති ගතිය වැඩියි. ඊට සාපේක්ෂව උඩරට තේවල ළා දුඹුරු පැහැයක් ගන්නවා. ශ්‍රී ලාංකිකයන් බහුතරය ගත්විට ඔවුන් හුරුවී සිටින්නේ, දිඹුල තේ සඳහා යි. නුවරඑළිය තේ හරිම ළා පැහැයකින් යුක්තයි. එහි රසයට කියන්නේ Floral Taste එකක් කියලයි. නුවරඑළිය තේ වලට වැඩිපුර ඉල්ලුමක් තිබෙන්නේ යුරෝපීය රටවල. උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ තිබෙන තේවල කහට ගතිය අඩු නමුත් වර්ණය වැඩියි. ඒ වගේම තනි තේ වෙනුවට අගය එකතු කළ තේ ලෙස උඩුපුස්සැල්ලාව තේ වැඩිපුර යොදා ගන්නවා.”
“ඊට අමතරව ලංකාවේ තේ දේශගුණික වාරයන් දෙකක් තිබෙනවා. එනම් ඌව සෘතුව සහ දිඹුල සෘතුව යන ලෙසයි. ඒ වාරයන් දෙකේ තේවල රසයන් වෙනස්ය. ඌව තේ සෘතුව ජූලි - සැප්තැම්බර් කාලයේ අදාල වේ. ඒවා වෙනම රසයක් ඇති අතර, එය හඳුන්වන්නේ මින්ට් රසට සමාන රසයක් කියලයි. මෙයට හේතුව වන්නේ Methyl salicylate නම් රසායනිකය ස්වභාවයෙන්ම තේ තුළ නිපදවීමයි. මින්ට් රසයක් ඇති තේවලට ජපානය, චීනය වැනි රටවල ජනතාව බොහෝ කැමැත්තක් දක්වනවා. දිඹුල තේ සෘතුව කියලා හඳුන්වන්නේ දෙසැම්බර් - පෙබරවාරි කාලයයි. මේ කාලයේ තේවල ඇත්තේ වෙනමම රසයක්. එයට හේතුවන රසායනික ද්‍රව්‍යLinalool නම් වේ.”
“මේ අනුව අපේ රටේ තේ, අනෙක් ඕනෑම රටක අයට කැමති විදිහට නිෂ්පාදනය කරන්න පුළුවන්.”
තේ රස පරීක්ෂිකාවක් ලෙස සමාජයට ලබා දිය හැකි පණිවිඩයක් ද ගිධාරී සුපේසලා ට ඇත. අවසාන වශයෙන් ඒ පිළිබඳව ඇය මෙසේ සඳහන් කළාය.
“තේ රස පරීක්ෂිකාවක් විදිහට, මම දිනපතා ලෝකයේ විවිධ ප්‍රදේශවලින් එන තේ සාම්පල විශාල ප්‍රමාණයක් රස බලනවා. මේක හුදෙක් රස බැලීමක් නෙවෙයි. තේ වල ගුණාත්මකභාවය, සුවඳ, පාට, සහ රසය නිවැරදිව හඳුනාගෙන, හොඳම තේ වර්ග තෝරාගැනීමේ සංකීර්ණ ක්‍රියාවලියක්. තේ කියන්නේ අපේ දෛනික ජීවිතයේ පුංචි විවේකයක්, මිත්‍රත්වයේ සංකේතයක්, සහ සංස්කෘතික අනන්‍යතාවයේ කොටසක්. තේ කෝප්පයක් කියන්නේ ඒ පිටුපස ඇති වෙහෙස මහන්සිය, සොබා දහමේ ආශීර්වාදය, සහ පරම්පරා ගණනාවක දැනුම කැටි කරගත් ප්‍රතිඵලයක්. අපි හැමෝම මේ තේ කෝප්පය පිටුපස ඇති කතාව තේරුම් ගත යුතුයි. තේ රස පරීක්ෂිකාවක් විදිහට, මම හැම විටම උත්සාහ කරන්නේ හොඳම තේ වර්ග තෝරා ගන්න. ඒ වගේම, පාරිභෝගිකයන් විදිහට ඔබත් ගුණාත්මක තේ තෝරාගැනීමට උත්සාහ කරන්න. මිල අඩු වීම පමණක් තේරීමකට හේතුවක් කරගන්න එපා. හොඳ තේ කෝප්පයක් ඔබට දෙන සතුට, නැවුම් බව සහ සෞඛ්‍ය ප්‍රතිලාභ මිල කළ නොහැකියි. ඔබ පානය කරන සෑම තේ කෝප්පයක්ම සොබාදහමේ ත්‍යාගයක් සහ මිනිසුන් ගේ කැපවීමේ ප්‍රතිඵලයක්. ඒ වටිනාකම තේරුම් ගෙන, එය අගය කරමින් තේ පානය කරන්න.”
එම්. තාරික්