විවාහ උත්සවයේ මුදලින් අසරණයන්ගේ කුසගිනි නිවූ සොහොයුරෝ


මනාල යුවළ හා ඥාතීන්

තමන්ගේ මංගල උත්සව සඳහා වෙන්කර තිබූ රුපියල් මිලියන හතරක පමණ මුදල වැයකර උත්සවයක් නොගෙන එම මුදල් අසරණ මිනිසුන්ගේ බඩගින්න නිවීමට දායක වූ සහෝදරයන් දෙදෙනකු පිළිබඳව මිනුවන්ගොඩ, මාතම්මන ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මේ අයිය මලෝ දෙපළ වන්නේ හර්මන් වෙන්ඩ්ලන්ඩ් හා ස්ටෙෆාන් වෙන්ඩිලන්ඩිය.   

මේ පුතුන් දෙදෙනාගේ පියා ජර්මන් ජාතික ඩිටර් වෙන්ඩිලන්ඩ්ය. මව ලාංකීය කාන්තාවක වන ඒ. රත්නශීලිය. මෙම මාපියන් දෙපළ ද වසර 30ක් තිස්සේ වාර්ෂිකව ප්‍රදේශයේ දිලිඳු පවුල් 500කට පමණ වියළි ආහාර බෙදා දීමට පුරුදුව සිටියහ. කුඩා පුතුන් දෙදෙනා ද මේ පිළිබඳව දැඩි වුවමනාවකින් බලා සිටියහ.   


මින් වැඩිමහල් පුත්‍රයා වන හර්මන් 2012 වසරේ අගෝස්තු 01 වැනිදා විවාහ වූ අතර, ඒ වෙනුවෙන් ඔහු උත්සවයක් නොගත් අතර, ප්‍රදේශයේ දුප්පත් මිනිසුන් වෙනුවෙන් වියළි ආහාර බෙදා දී ඔවුන්ට රසවත් කෑමකින් සංග්‍රහ කළේය.   


බාල පුත්‍රයා වන ස්ටෙෆාන්  ද පසුගියදා විවාහ වූයේ ජර්මන් ජාතික තරුණියක් සමගය. ජර්මනියේ දී විවාහ වූ යුවළගේ ශ්‍රී ලංකාවේ විවාහ උත්සවය ගැනීමට නියමිතව තිබුණේ පසුගිය 31 වැනිදාය. ඒ වෙනුවෙන් යුවල හා තරුණියගේ ජර්මන් ජාතික මාපියන් ඇතුළු ඥාතීහු ද මෙරටට පැමිණියහ. එහෙත් ස්ටෙෆාන් තරුණයා තම දෙමාපියන්ට කියා සිටියේ අයියා මෙන් තමන් ද උත්සවයක් නොගෙන එම මුදල් අසරණ පවුල් වෙත ප්‍රදානය කරන බවය. දුප්පත් මිනිසුන් යනු කවරුන් දැයි නොදත් ජර්මන් ජාතික තරුණිය හා ඥාතීහු ද මෙම නුහුරු අත්දැකීම විඳ ගැනීම පිණිස එම අදහසට එකඟ වූහ.   


ප්‍රදේශයේ දුගී දුප්පත් පවුල් අමුතුවෙන් හඳුනා ගැනීමට ඔවුන්ට අවශ්‍ය නොවීය. වාර්ෂිකව වියළි ආහාර දානයක් දෙන ලැයිස්තුව ​ඔවුන් සතුව තිබිණි. ඒ අනුව පසුගිය 31 වැනිදා පවුල් 350ක් වෙත වියළි ආහාර  මල්ලක් හා දිවා ආහාරය පිළිගන්වන ලදී. ප්‍රදේශයේ ග්‍රාමසේවක නිලධාරීන් හරහා එම පවුල් තෝරාගෙන තිබිණි.   
මේ පිළිබඳව අදහස් දැක්වූ ස්ටෙෆාන් වෙන්ඩිලන්ඩ් මහතා මෙසේ කීවේය.   


‘‘මම මීට දිනකට පෙර විවාහ වුණා. ජර්මනියේ සංස්කෘතිය අනුව ඒ කටයුතු සිදු වුණා. ඒ සඳහා සහභාගි වුණේ මගේ අයියා පමණයි. ඒ නිසා ලංකාවේ සිටින දෙමාපියන් ඇතුළු ඥාතීන් හා මිතුරන් සඳහා ලංකාවේ දී උත්සවයක් ගන්න රුපියල් මිලියන තුනකට ආසන්න මුදලක් මා වෙන්කර තිබුණා. අලුත් අවුරුද්දේ ඒ උත්සවය ගන්න සැලසුම් කරලා මීට සතියකට පෙර ලංකාවට පැමිණියා.   

 

භාණ්ඩ බෙදාදෙමින්...

රැස්ව සිටි ආධාරලාභීන්


ඒත් මා දැක්කා ලංකාවේ මිනිසුන්ගේ තත්ත්වය. ආහාර වේල සොයා ගන්න ඔවුන් මොන තරම් දුක් විඳිනවද? මගේ බිරිඳත් මේ බව තේරුම් ගත්තා. දුප්පත් මිනිසුන්ට උපකාර කිරීම මා ඉගෙන ගත්තේ මගේ දෙමාපියන්ගෙන්. දෙපාරක් හිතන්නේ නැතුව මම තීරණය කළා ඒ සල්ලි වියදම් කරලා මිනිසුන් පිරිසකගේ හෝ බඩගින්න නිවන්න. දවසකින් දෙකකින් මේ කටයුත්ත සංවිධානය කරලා ඒ අයට උපකාර කරන්න අපට පුළුවන් වුණා. 

 
හර්මන් හා ස්ටෙෆාන් අයියා-මලෝ දෙදෙනා මේ කළ උදාර පරිත්‍යාගය ලෝකයටම ආදර්ශය සපයන්නකි. ඔවුන් දෙදෙනාට තම විවාහ උත්සව කැප කරමින් ජනතාව වෙත වියළි ආහාර හා පිසූ ආහාර ලෙස බෙදා දුන් මුදල රුපියල් මිලියන හතර ද ඉක්මවයි. 

 
තම රටවැසියන් අන්ත අසරණ වූ මොහොතක තමන් ගැන පමණක් නොසිතා පරාර්ථකාමීව සිතීමට ජර්මන් සම්භවයක් සහිත මේ පුතුන් දෙදෙනා අපට කියා දෙන පාඩම කොතරම් අගය කළ යුතු ද?

 

සටහන සහ ඡායාරූප: දොම්පේ
අජිත් මදුරප්පෙරුම