පෙර භවයේ ප්‍රබල සාක්කි
වැඩිහිටියන්ගේ විවිධ ක්‍රියාවන් දැකීමෙන් ඇතැම් දරුවන්ට සිය පෙර භවය සිහි වූ අවස්ථා රැසක් තිබේ. ඇතැම් විට එවැනි අවස්ථාවල දී පෙර භවයේ හැසිරීම් රටා එම දරුවන් මගින් අනාවරණය වේ. ජලය වීදුරුවක් නිසා පෙර භවය සිහිකළ දරුවෙක් මීට වසර ගණනකට උඩ දී ඉන්දියාවේ දී උපත ලැබීය. පෙර භවය සිහි වූ එම දරුවාගේ හැසිරීම් රටාව පුදුම උපදවන සුළු විය.
එක්දහස් නවසිය පනස් එකේ අගෝස්තු 26 වැනිදා ඉන්දියාවේ දිල්ලි නගරයේ දී උපත ලැබූ දරුවාට දෙමාපියන් නම් දී තිබුණේ ගෝපාල් යනුවෙනි. ඒ වනවිට ගෝපාල් දරුවා තෙහැවිරිදි වියේ පසු විය. දිනක් පියා හඳුනන පුද්ගලයෙක් නිවසට පැමිණියේය. ඔහුට දිය පිපාසය ඇති වී පානීය ජලය ඉල්ලා සිටියේය. පියා විසින් ඔහුට ජලය වීදුරුවක් පිළිගැන්විය. එය පානය කළ පුද්ගලයා හිස් වීදුරුව ආපසු පියාට දුන්නේය. එය අතට ගත් පියා. ඒ අසල සිටි පුත්‍රයාට වීදුරුව දී එය නිවස තුළට ගෙන ගොස් තබන ලෙස පැවසීය.
විදුරුව අතට ගත් දරුවා එය නිවස තුළට ගෙන නොගොස් ඉවතට විසි කළේය. පුත්‍රයාගේ මෙම ක්‍රියාව දුටු පියා පුදුමයට පත් විය. ජලය පානය කළ පුද්ගලයා නිවසින් ගිය පසු පුත්‍රයාගෙන් ඔහු කළ ක්‍රියාව ගැන විමසීමක් කළේය. දරුවාගේ පිළිතුර පියා මවිතයට පත් කළේය. දරුවාගේ පිළිතුර වූයේ ඒ ගොල්ලෝ අඩු කුලේ. අපි බ්‍රාහ්මණ කුලේ. ඒගොල්ලෝ බීපු වීදුරු අපි තියා ගන්නේ නෑ යනුවෙනි.
අනතුරුව පෙර භවයේ තොරතුරු රැසක් ඔහු අනාවරණය කරන්න විය. ඔහු පදිංචිව සිටියේ මතුරා නම් ප්‍රදේශයේ බවත් වෙළෙඳ ව්‍යාපාර රැසක් තිබූ බවත් පැවසීය. ඔවුන්ට තිබූ වෙළෙඳ ව්‍යාපාර නම් කර තිබූ නාමය ද ඔහුට මතක තිබිණි. විශාල නිවසක් ඔවුන්ට තිබූ බැව් ද හෙළිකළ එම දරුවා සොහොයුරන් දෙදෙනෙක් සිටි බවත් ඔවුන් සමඟ ඇතිවූ ආරවුලකින් වෙඩි පහරක් එල්ල වී මරණයට පත්වූ බවත් අනාවරණය කළේය.
පුත්‍රයා හෙළි කරන තොරතුරු වෙනත් පුද්ගලයන්ට දැනුම් දීමට මව තදින්ම විරුද්ධ වූවාය. එහෙත් පියා දරුවාගේ ප්‍රකාශ පිළිබඳව උනන්දුවක් දැක්වීය. සති කීපයක් ගතවිය. දරුවාගේ පෙර භව මතක තව තවත් වැඩිවිය. පෙර භවයේ පුද්ගල නම් කීපයක්ද ඔහු ප්‍රකාශ කළේය. ඒ අතර ඔහු තුළ තිබූ තවත් විශේෂ ගති ලක්ෂණයක් වූයේ වෙනත් කිසිවෙක් පානය කළ කිසිදු වීදුරුවක් හෝ පිඟානක් ඔහු භාවිතා නොකිරීමය. නිවසට පැමිණි අමුත්තන් පානය කිරීමට ගත් කිසිදු භාජනයක් ඔහු නැවත පාවිච්චි නොකළේය. ඉතා පොහොසත් අයෙකු ලෙස හැසිරීමට උත්සාහ කළ දරුවා සිය දෙමාපියන්ට පැවසුවේ නිවසේ වැඩට සේවකයින් යොදවන ලෙසය. පෙර භවයේ දී ඔවුන්ගේ නිවසේ වැඩට මෙහෙකාර සේවකයන් රැසක් සිටි බවත් ඔහු පැවසීය.
පෙර භවයේ ඔහුගේ සොහොයුරන් දෙදෙනකු සමඟ ඉතා පොහොසත් වෙළෙඳ ව්‍යාපාරිකයන් ලෙස ජීවත්ව සිටි බැව් ද එම දරුවාගේ ප්‍රකාශවලින් අනාවරණය විය. ගෝපාල්ගේ පෙර භව තොරතුරු සොයා බැලීමක් කිරීමට මව තදින්ම විරුද්ධව සිටියාය. ඒ පිළිබඳව නොවිමසන ලෙස ද ඇය සිය සැමියාට ද පැවසුවාය.
එහෙත් පියාට අවශ්‍ය වූයේ දරුවාගේ ප්‍රකාශවල සත්‍යතාවක් ඇතිද යන්න විමර්ශනය කර ගැනීමය. තවත් වසර දෙකක් පමණ වනවිට දරුවා සිය පෙර භවයේ මතක සටහන් තව තවත් හෙළි කරන්නට විය. නිවස පිරිසිදු කිරීමේ සහ ආහාරපාන පිළියෙළ කිරීම් වැනි වැඩ මව සිදු කිරීම පිළිබඳව ඔහු දැඩි සේ විරුද්ධ විය. ඔහු හැම විටම කියා සිටියේ නිවසේ වැඩ සඳහා මෙහෙකාරයන් යොදවා ගන්නා ලෙසය.
දරුවාගේ මෙම ක්‍රියා කලාපය උග්‍රවීම නිසා ඔහු හෙළිකරන පෙර භවයේ නිවස සොයා ගැනීමට පියා උනන්දු විය. දරුවා අනාවරණය කළ සියලු තොරතුරු රැස්කරගෙන සිටි පියා ගෝපාල් අනාවරණය කරන ප්‍රදේශය පිළිබඳව සොයා බැලීමක් සිදු කළේය. ඒ වන විට දරුවා සත්වැනි වියට පත්ව සිටියේය. දිනක් ආගමික උත්සවයකට සහභාගි වීම සඳහා පියාට ගෝපාල් හෙළි කරන ප්‍රදේශයට යාමට සිදුවිය. එම ප්‍රදේශයට ගිය පියා තම දරුවා අනාවරණය කළ පෙර භව පුද්ගල තොරතුරු පිළිබඳව විමර්ශනයක් කළේය.
එහිදී හෙළි වූයේ එම ප්‍රදේශයේ ජීවත්ව සිටි වෙළෙඳ ව්‍යාපාරයක් හිමිව සිටි පුද්ගලයෙක් වෙඩි පහරකට ලක්වී මරණයට පත්වී ඇති බවය. දරුවා ප්‍රකාශ කළ වෙළඳ ව්‍යාපාරයේ නම තහවුරු විය. සොහොයුරන් දෙදෙනෙක් සමඟ වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අතර එහිදී මුදල් පිළිබඳව ඇතිවූ ආරවුලක් නිසා එක් සොහොයුරෙක් මරණයට පත්වී ඇති බවය. එම පුද්ගලයා මරණයට පත්වී තිබුණේ වෙඩි පහරක් එල්ල වීම නිසාය. දරුවා අනාවරණය කළ පෙරභව තොරතුරු එම වෙළඳ ව්‍යාපාරයට සම්බන්ධ පෙර භව පුද්ගලයාට සමාන වන බැව් පියාට තහවුරු විය.
දරුවා සමඟ එම ප්‍රදේශයට ගොස් තවදුරටත් කරුණු විග්‍රහ කර ගැනීමට පියා තීරණය කළේය. ඒ අනුව ගෝපාල්ව සිය පෙර භව නිවසට සහ ව්‍යාපාර ස්ථානවලට රැගෙන යාමට පියාට අවශ්‍ය විය. පියා සිදු කළ සොයා බැලීම්වල දී පෙර භව ඥාතීන්ට දරුවා පිළිබඳව අසන්නට ලැබිණි. ඒ අනුව දරුවා හමුවීමට පෙර භව ඥාතීහු ඔහුගේ නිවසට පැමිණියහ. දරුවා රැගෙන තම නිවසට පැමිණෙන ලෙස ඔවුහු ආරාධනා කළහ.
දින කීපයකට පසු ගෝපාල් පෙරභව නිවසට ගියේය. එහිදී හඳුනා ගැනීම් කීපයක් සිදුවීමෙන් පසු ඔහුගේ පෙර භව ව්‍යාපාරික ස්ථානයට ද ගියේය. ව්‍යාපාරික ස්ථානයේ සේවය කළ පුද්ගලයන් කීප දෙනෙක්ද ගෝපාල් විසින් හඳුනා ගනු ලැබුවේ රැස්ව සිටි පිරිස පුදුමයට පත් කරවමිනි. එහි සිටි සේවකයින් කීප දෙනෙකුගේ නම් ද ඔහු නිවැරදිව අනාවරණය කළේය.
පෙර භවයේ මරණයට හේතු වූ ආරවුල පිළිබඳවද ඉතා හොඳ මතකයෙන් හෙළි කළ දරුවා එය සිදුවූයේ මුදල් ආරවුලක් නිසා බවත් ඔහුට එල්ල කළ වෙඩි පහරකින් මරණය සිදුවූ බවත් නිවැරදිව පැවසීය. එම දරුවා හෙළි කළ පෙර භවයේ තැනැත්තා මරණයට පත්වී තිබුණේ 1948 වසරේ දීය. පෙර භවය හෙළි කළ ගෝපාල් උපත ලබා තිබුණේ එය සිදුවී වසර තුනකට පසුවය. එනම් 1951 වසරේ දීය.
මෙම දරුවා විසින් අනාවරණය කළ පුනර්භව සාධකය පිළිබඳව මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් විසින්ද පූර්ණ පර්යේෂණයක් සිදු කළේය. දරුවෙකුගේ අවස්වාභාවික හැසිරීම් රටාවක් නිසා සිහිපත් වූ පුනර්භවයක් ලෙස මෙය ඔහුගේ පර්යේෂණ වාර්තා වලට ඇතුළත් වී තිබේ. ඒ අනුව ඇතැම් විට දරුවන් මගින් අනාවරණය වන ඔවුන්ගේ හැසිරීම් රටාවන් ප්‍රබල සාක්කි ලෙස පිළිගනු ලැබේ. (Abundance of subjects statements and Behavioral memories සහ Cast Differences Between Subjects and previous personality) යනුවෙන්ද මෙවැනි පුනර්භව සාධක හඳුන්වා දී ඇත.
නිවසට පැමිණි අමුත්තන්ගේ ක්‍රියාවන් නිසා පෙර භවය සිහිවූ තවත් දරුවෙක් පිළිබඳව ශ්‍රී ලංකාවෙන් අනාවරණය වූයේ කුරුණෑගල ප්‍රදේශයෙනි. උපුල් නම් එම දරුවා උපත ලැබුවේ 1979 වසරේ දීය. පවුලේ දෙවැනි දරුවා වූ ඔහු ඒ වනවිට බහ තෝරන වියට පත්වී සිටියේය. එම දරුවාගේ පියාගේ මිතුරෙක් දිනක් නිවසට පැමිණ පියා සමඟ කතා කරමින් සිටියේය. ඔහු දුම්පානය කරන්නෙකි. ටික වේලාවක් පියා සමග කතා කරමින් සිටි නිවසට පැමිණි මිතුරා තම අතේ තිබූ සිගරට් පැකට්ටුව ආලින්දයේ ටීපෝව මත තැබීය. නිවසේ ඇවිදිමින් සිටි සිඟිති උපුල් වහා එය වෙත පැමිණියේය. සිගරැට් පැකට්ටුව අතට ගත් ඔහු පළපුරුදු අයෙකු ලෙස ඉන් එක් දුම් වැටියක් අතට ගත්තේය. එය ඇඟිලි අතර රඳවා දෙතොල් මතට ගත්තේය. එම සිදුවීම බලා සිටි මිතුරා දුම්වැටිය දරුවා අතින් ගන්නට උත්සාහ කළේය. එහෙත් දරුවා එය ආපසු නොදුන්නේය.
මව ද කීප විටක්ම එය ගැනීමට උත්සාහ කළත් එය දරුවා විසින් දෙතොල් අතර රඳවාගෙනම සිටියේය. මිතුරා දරුවා අත තිබූ දුම්වැටිය දැල්වීය. කිසිදු බියවීමක් හෝ නොමැතිව ඔහු එය උරා දුම් පිටකළේය. කීප විටක්ම දුම් වැටිය උරමින් සිටි දරුවාගෙන් එය ආපසු ගැනීමට මව දැඩි වෙහෙසක් ගත්තාය. එහෙත් එයට අවනත නොවූ දරුවා මම එහෙදි බොනවා යි පැවසීය. තම පුත්‍රයාගේ මෙම ක්‍රියාව දෙමාපියන්ගේ මවිතයට හේතු විය. ඉන් අනතුරුව එම දරුවා පෙර භවය අනාවරණය කළේය.
පෙර භවයේ දී ජීවත්ව සිටි ප්‍රදේශය ද ඔහු කීය. සති කීපයක් ගතවිය. මගේ නෝන ඉන්නවා අනුරාධපුරේ යැයි ද තවත් දිනක් උපුල් ප්‍රකාශ කළේය. තම දරුවා පෙර භවයක් පිළිබඳව අනාවරණය කරන බවක් ඒ වනවිට මව නොදැන සිටියාය. පුත්‍රයාට කිසියම් මානසික බලපෑමක් ද යන්න මව බියපත් වූවාය. එහෙත් දරුවා ඔහුට මතකයේ තිබූ පෙර භව තොරතුරු වරින් වර අනාවරණය කරන්නට විය.
ට්‍රැක්ටරයකට යට වූ පුවතක් ද උපුල් අනාවරණය කළේය. තම පුත්‍රයා හෙළි කරන්නට උත්සාහ කරනුයේ තම මියගිය සොහොයුරෙකුගේ ජීවිත තොරතුරු යැයි පියාට සැකයක් මතු වී තිබිණි. ඉන් අනතුරුව උපුල්ගේ ප්‍රකාශ පිළිබඳව පියා දැඩි අවධානයක් යොමු කළේය. උපුල් සිය පෙර භවයේ දී සිදුවූ අනතුරක් නිසා පාදයක් පෙන්වමින් එහි තිබූ කැළලක්ද පෙන්වා දීම තවත් වැදගත් සිදුවීමක් විය.
අනතුරුව ඔහු හෙළි කළ පෙර භවයේ බිරියව හඳුනා ගැනීමට ද එම කුඩා දරුවාට එදා හැකි විය. නිවසට පැමිණි අමුත්තෙකු නිසා පෙර භවය හෙළි වූ දරුවෙකුගේ පුනර්භව සිදුවීමක් ලෙස උපුල්ගේ කතා පුවත පර්යේෂණවලට ඇතුළත් වී තිබේ. උපුල් හෙළිකළ පෙර භවයේ මරණය සිදුවී ඇත්තේ 1966 වසරේ දී වූ අතර පෙර භවය හෙළිකළ දරුවා උපත ලැබුවේ පෙර භව මරණය සිදුවී වසර දහතුනකට පසුව බැව් දක්නට ලැබිණි.
තිස්ස ජයවර්ධන