ලෝකෙට මුදල් අච්චු ගහන තෝමස් ඩිලාරූ සමාගම


 

  • තෝමස් ඩිලාරූ (ඩිලාරෝ) උපන්නේ ප්‍රංශයේදීය, එය වසර 200කට වඩා ඉපැරණි සමාගමක්

 

අද අපේ රට මූල්‍යමය චණ්ඩ මාරුතයකට හසුවී ඇත. මේ නිසා සමස්ත ශ්‍රී ලාංකීය සමාජය ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටී. මීට හේතුව උද්ධමනයයි. මේ තරමටම මේ රටට උද්ධමනයක් ඇති වූයේ ඇයි? 2018 වනවිටත් හොඳ උද්ධමන ප්‍රතිශතයක් රඳවා ගෙන සිටි ශ්‍රී ලංකාවට මෙහෙම වුණේ ඇයි ? බලධාරීන්ගේ වුවමනාවට මුදල් අච්චු ගැසීම නිසා ද? ඇයි මුදල් අච්චු ගහන්න බැරි ද? මුදල් අච්චු ගසන්නට නොහොත් ප්‍රින්ට් කිරීම අපට හිතු හිතු විදියට කළ නොහැකි දෙයකි. එසේ වුවහොත් සිදුවන්නේ උද්ධමනය වැඩිවී රට මූල්‍ය අවපාතයකට නතුවීමය. අද රටට සිදුවී ඇත්තේ එලෙස හිතු මනාපෙට මුදල් අච්චු ගැසීම සහ මුල්‍ය විනයකින් මූල්‍ය කළමනාකරණයකින් තොරව බලධාරීන් කටයුතු කර ඇති නිසාය. ආර්ථික විද්‍යාවේ මූලධර්මයන්ට අනුව බලන කළ පසුගිය කාලයේ දිගින් දිගටම රටේ බඩුමිල වැඩිවිය. උද්ධමනය ඉහළ යාමට මෙය සෘජුවම බලපෑ කරුණකි.   

රටක මුදල් ආච්චු ගැසීම සිදු කරනු ලබන්නේ ඒ රටේ බැංකු පද්ධතියේ නියමයන්ට අනුවය. රටේ නිෂ්පාදන ක්‍රියාවලිය සහ ආර්ථික මූලධර්මයන්ට අනුව මිසක ඊට පටහැනිව මුදල් ආච්චු ගැසීම කිසිදු රටක් අනුගමනය නොකරන්නකි. උදාහරණයකට අපි හිතමු ඔබ ළඟ ඇත්තේ රුපියල් 1000ක් මුදලකි. ඔබ අවශ්‍ය භාණ්ඩයක් මිල දී ගන්නේ එම රුපියල් 1000ට අදාළවය. ඊට අමතරව වැඩිපුර රුපියල් 1000 නෝට්ටු 100ක් ඔබට ලැබුණොත් ඔබ කරන්නේ එක් භාණ්ඩයක් මිල දී ගැනීම වෙනුවට එකී භාණ්ඩ කීපයක්ම මිල දී ගැනීමට පෙළැඹීමයි. නමුදු ඔබ ඒ ඉල්ලු‍ම් කරන හැටියට භාණ්ඩ මිලදී ගත හැකි නොවන්නේ ඉල්ලු‍මට සරිලන නිෂ්පාදන ක්‍රියාවලියක් සිදු නොවීම සහ එතරම් භාණ්ඩ ප්‍රමාණයක් එක් රැයකින් නිෂ්පාදනය කිරීමට නොහැකිවීම නිසාය. මේ නිසා සිදුවන්නේ ඉල්ලු‍මට අනුව සැපයුම අඩු නිසා භාණ්ඩවල මිල ඉහළ යාමය.

උද්ධමනයට හේතුව සරළව ඔබට තේරුම් ගත හැකියි නේද?   


අප මේ කතා කරන්නේ ඒ උද්ධමනය ගැන නොවේ. ලංකාවේ මුදල් අච්චු ගහන සමාගම ගැන අද අපි ප්‍රකට සමාගම් ලොව දිනු හැටි විශේෂාංගය ඔස්සේ කියවමු. අප රටේ සංසරණය වන මුදල් නෝට්ටු, අච්චු ගැසීම නොහොත් මුද්‍රණය කිරීම වෙනුවෙන් මහ බැංකුවේ සහ රජයේ අනුමැතිය ලබා දී තිබෙන්නේ ඩිලාරූ (ඩිලාරෝ) සමාගමටය. එය හැඳින්වෙන්නේ ඩිලාරූ නොහොත් ඩිලාරෝ ලංකා කරන්සි ඇන්ඩ් සිකුයුරිටි ප්‍රින්ට් පුද්ගලික සමාගම යනුවෙනි. මෙය පිහිටා ඇත්තේ බියගමය. මෙම ඩිලාරූ යනු මෙරට සමාගමක් නම් නොවේ. මෙහි මව් සමාගම හැඳින්වෙන්නේ තෝමස් ඩිලාරූ (ඩිලාරෝ) නමිනි. ඊට දිගු ඉතිහාසයක් තිබේ.   


තෝමස් ඩිලාරූ   


තෝමස් ඩිලාරූ යනු මුද්‍රණකරුවෙකි. ඩිලාරෝ මුද්‍රණ සමාගමේ නිර්මාතෘවරයා වූ ඔහු අද ජීවතුන් අතර නැත. ඩිලාරූ උපන්නේ ප්‍රංශයේ ෆොරස්ට්හි ගුවර්න්සිහි දී 1793 මාර්තු 24දාය. ඒ රුෂල් සහ එලීසා ඩි-ලා-රූ යුවළගේ දරුවන් නව දෙනාගෙන් සත්වැනි දරුවා ලෙසය. එනම් ලකී සෙවන් හැටියටය. 1803 දී එනම් දස වැනි වියේ සිටිය දී තෝමස් ඩිලාරූ ශාන්ත පීතර් පෝට්හි පිහිටි ප්‍රධාන මුද්‍රණ ආයතනයක ආධුනික පුහුණුව ලැබුමට ගිය වග සඳහන් වේ. ඉන් දශකයකට පමණ පසුව මේ ඩිලාරූ හට තමාගේම මුද්‍රණ සමාගමක් ස්ථාපිත කිරීමට හැකියාව ලැබුණි. තවත් වසරක් ගත වූ පසු ඔහු පරස්ථාවක් නැතිනම් විවාහයක් ද කර ගත්තේය. ඇය නමින් ජේන් වොරන් වූවාය. මේ යුවළ තම ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ලන්ඩනයට ආවේ 1821දීය. එතැන් සිට ලන්ඩනය ඔහුගේ ව්‍යාපාර භූමිය කරගෙන කටයුතු කිරීමට පටන් ගෙන තිබේ. වාණිජ මුද්‍රණ කටයුතු අංශයේ නමක් දිනා සිටි ඩිලාරූ කම්පැනිය පොත්පත් ලිපිද්‍රව්‍ය මුද්‍රණය කළ අතර විසිතුරු භාණ්ඩ නිෂ්පාදන සමාගමක් ලෙස ද කටයුතු කළ බව සඳහන් වේ.   


එයින් ද නොනැවතී පසුව ව්‍යාපාරික අංශය සඳහා අවශ්‍ය වූ කාඩ්පත් මුද්‍රණය කිරීම සහ නිර්මාණය කිරීම ද ඇතුළු තවත් අංශ වෙත සමාගම පුළුල් කිරීමට සමත් විය. සැමුවෙල් කෝනිෂ් සහ විලියම් රොක් යන ව්‍යවසායකයන් දෙදෙනාගේ සහාය ද ඊට ලැබිණි. ප්‍රින්ටින් වැඩේ ජයටම කරගෙන ගිය නිසා ඩිලා රූ කම්පැණිය දිනෙන් දින මූල්‍ය ලාබ ලබමින් ජනතාව අතර ප්‍රචලිත විය. 1831 දී playing cards නොහොත් අපේ අය දන්නා විදියට කාඩ් ක්‍රීඩා සඳහා වන කාඩ් මුද්‍රණය කිරීමේ ඇනවුම් සහ බලපත්‍රය ඔවුනට ලැබුණි. ඒ අනුව ලොව ප්‍රථම වතාවට කාඩ් කුට්ටම් මුද්‍රණය කිරීමේ වගකීම පැවරුණේ තෝමස් ඩිලා රූ හට යැයි සඳහන් වේ. ඩිලා රූ යනු මුද්‍රණ අංශය පිළිබඳව තියුණු දැක්මක් තිබූ තවකෙකුට සමකළ නොහැකි මිනිසෙක් විය. එකල විසූ වඩාත් නිර්මාණශීලි ගෘහනිර්මාණ ශිල්පියෙකු වූ ඕවන් ජෝන්ස්ගේ සහාය ලබා ගත්තේ ඔහු ඉතා නිර්මාණශීලි ඩිසයින්ර් කෙනෙක් වූ නිසාය.   


ඩිලා රූ තම බිරිඳ වූ ජේන් වොරන් හට ඉතා ආදරය කළ අයෙක් විය. මුද්‍රණ ක්ෂේත්‍රයේ ඉහළට තරමට ආඩම්බර නොවී කටයුතු කළ ඩිලා රූ ආනාගතය හොඳින් දුටු අයෙක් වූ වග කිව හැකිය. ඩිලා රූ සහ බිරිඳ ජේන් හට පුතුන් දෙදෙනෙකු මෙන්ම දියණියන් සය දෙනෙකු සිටියහ. බ්‍රිතාන්‍යයේ විසූ ප්‍රකට රසායනවේදියක අභ්‍යවකාශගාමියකු මෙන්ම ව්‍යවසාකයකු සහ අභ්‍යාවකාශ අංශයේ ඡායාරූප ගැනීමට හපනෙකු වූ වොරන් ඩිලා රූ සහ වැඩිමල් දියණිය පියාගෙග් ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට එක්ව සිටි වග සඳහන් වේ. තමා විශ්‍රාම ගිය පසුව ව්‍යාපාරය පුතුන් හට කරගෙන යෑමට ඩිලා රූ අවසර දී තිබිණි.   


මුද්‍රණ ක්ෂේත්‍රයේ කළ විප්ලවීය වෙනස නිසා ප්‍රංශ රජය මේ මිනිසා හට රජයෙන් පිරිනැමූ ඉහළම සම්මානය පිරිනැමීමට වග බලා ගත්තේය. 1855 දී එලෙසින් තමා උපන් රටෙන් ඉහළම ගෞරවයට පාත්‍ර වූ මේ මිනිසා මිය ගියේ 1858 දී ලන්ඩනයේ කෙන්සින්ටන් හීදීය. ගුවර්නිසිහි තැපැල් මූලස්ථානය පසු කලෙක ඩිලා රූ වෙනුවෙන් සමරු මුද්දරයක් පවා නිකුත් කිරීමට කටයුතු කළේය.   

 


මුදල් නෝට්ටු මුද්‍රණයට පිවිසීම   


ක්ෂේත්‍රයේ මුද්‍රණ කටයුතු වෙනුවෙන් ඩිලා රූ කම්පැණි මූල්‍ය අවසර ලබා ගත්තේ 1855 සිට යැයි සඳහන් වේ.   
1855 දී මුද්දර මුද්‍රණයට පිවිස සිටි සමාගම 1860 වන විට බැංකුපත් (මුදල් නෝට්ටු කීම නිවැරදිය) මුලින්ම මුද්‍රණය කළේ, මුරුසි දිවයින වෙනුවෙන්ය. එතෙක් පවුලේ ව්‍යාපාරයක්ව පැවති ඩිලා රූ සමාගම 1896 දී පෞද්ගලික සමාගමක් බවට පරිවර්තනය විය. 1921 වන විට ඩිලා රූ පවුල සතු වූ සමාගමේ සියලු‍ මූල්‍ය ලැබීම් විකුණා දැමීමට පියවරගත් අතර 1958 වන විට ඩිලා රූ කම්පැනි ලිමිටඩ් නමින් නම් වෙනස් කරන ලදී. 1965 වන විට ඩිලා රූ කම්පැනි එක නැගී සිටියේ ඉතාලි මුද්‍රණ සමාගමක් හා එක්වීමෙනි. ඒ වන විටත් ඔවුන් ඉරාන මහ බැංකුව වෙත මුදල් නෝට්ටු මුද්‍රණය කරදීම අරඹා සිටියේය.   


ඩිලා රූ සමාගමේ විශේෂත්වය වූයේ මුද්‍රණ අංශයේ වැඩ පමණක් නොවුණි. මුද්‍රණ යන්ත්‍ර පවා නිෂ්පාදනය කිරීමටත් විශේෂයෙන්ම මුදල් නෝට්ටු සඳහා භාවිත කරන කඩදාසි නිෂ්පාදනයටත් පිවිසීමය. නමුත් 2018 දී පමණ මුදල් මුද්‍රණය සඳහා නිෂ්පාදනය කරන කඩදාසි අංශය විකුණා දැමූ බව සඳහන් වේ.   


මුදල් නෝට්ටු මුද්‍රණය   


මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට ඕනෑම මුද්‍රණ ආයතනයකට අවසර නැත. ඒ හැරත් එසේ කිරීමට ද නොහැකිය. ඒ සඳහා භාවිත කරන තාක්ෂණය ඩිලා රූ සමාගම සතුය. ඕනෑම රටක මහ බැංකුව සහ රජය තීරණය කරන පරිදි ඇණවුම ලබා දෙන අතර ඒ ඇණවුම අනුව රටින් රට මුදල් මුද්‍රණය කිරීමට ඩිලා රූ සමාගම ගිවිස ගෙන සිටී. එහිදී ඔවුන් මුද්‍රණය කරන්නේ අපේ රටේ රුපියල් සඳහා වන මුදල් නෝට්ටු නම් අපේ රටේ දී ඔවුනට මුද්‍රණය කිරීමේ අවසරය ඇත්තේ ද රුපියල් සඳහා වන මුදල් නෝට්ටු පමණකි. මෙලෙසින් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම වෙනුවෙන් ටෙන්ඩර් කැඳවීමක් කරනු ලබන අතර එම ටෙන්ඩරය ලබා ගන්නා සමාගම මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට ගිවිස ගනී. මුදල් නෝට්ටු මුද්‍රණය කරනු ලබන ස්ථානය වෙත යෑමට ආරක්ෂක විදිවිධාන කීපයක්ම අනුගමනය කළ යුතු වේ. අප කා හටවත් එකී ස්ථානයට යෑමට අවසර නැත. සේවය කරන සේවකයන් දැඩි නීති රීති මාලාවක් යටතේ ඒවාට එකඟව රාජකාරී කළ යුතු වේ. ලෝකයේ වඩාත් ආරක්ෂිත ස්ථාන ලෙස මෙලෙසින් මුදල් නෝට්ටු මුද්‍රණය කරන ස්ථාන සඳහන් කළ හැකිය.   

 


විශේෂ කඩදාසිය   


මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම වෙනුවෙන් භාවිත කරනු ලබන්නේ විශේෂිත කඩදාසි වර්ගයකි. මෙම කඩදාසි නිමවා ඇත්තේ සියයට සීයයක්ම කපුකෙඳි හෙවත් කොට්න් ෆයිබර් මිශ්‍ර පල්පයකිනි. මුදල් නෝට්ටුවක රළු බවක් ඇත්තේ එනිසාය.   


ඩිලා රූ ලංකා කරන්සි සහ සිකුයුරිටි ප්‍රින්ට් පුද්ගලික සමාගම ඇත්තේ බියගම මල්වාන ප්‍රදේශයේය.   
ඩිලා රූ හි අරමුණ වන්නේ සෑම පුරවැසියකු හටම ගෝලීය ආර්ථිකයට ආරක්ෂිතව සහභාගී වීමට අවස්ථාව ලබාදීම බවත් රජයන් මහ බැංකු මෙන්ම වාණිජ ආයතනවල විශ්වාසවන්ත හවුල්කරුවකු ලෙස කටයුතු කිරීම යැයි සඳහන් වේ.   


මෙම ඉහත සඳහන් කළ ක්‍රියා පටිපාටියෙන් තොරව රජයේ අනුමැතිය යටතේ කළහොත් එනම් වෙනත් තැනෙක මුද්‍රණය කළහොත් (හොර නෝට්ටු නොවේ) සිදුවන දේ ඔබට දැන් පැහැදිලියි නේද?

 

 

පරිවර්තන සටහන : සඳුන් ගමගේ  
[email protected]