ලෝකයේ හොඳම නවකතාව ලියූ ලංකාවේ ෂෙහාන්


 

2022 වසරේ බුකර් සම්මානය දිනා ගැනීමට, ශ්‍රී ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලක සමත් විය. ඒ, ඔහු විසින් රචිත, ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ (මාලි අල්මේදාගේ සත් සඳ) නවකතාව වෙනුවෙනි. ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ යනු ඉංග්‍රීසි බසින් පොත් රචනා කරන ෂෙහාන් කරුණාතිලකගේ දෙවැනි නවකතාව වීම ද විශේෂත්වයකි. සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන ලොව ඉහළතම ජාත්‍යන්තර සම්මානයක් ලෙස බුකර් සම්මානය සැළකෙයි‍. ශෙහාන් කරුණාතිලක, බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ දෙවැනි ශ්‍රී ලාංකික ලේඛකයාය. මීට කලින් ශ්‍රී ලාංකික ලේඛකයකු බුකර් සම්මානය දිනා ගත්තේ වසර 30කට කලිනි. ඒ මයිකල් ඔන්ඩච්චි ය. ඔහු මේ සම්මානය දිනා ගත්තේ 1992 වසරේ දී ඔහු විසින් රචිත ‘ද ඉංග්‍ලිස් පේෂන්ට්’ කෘතිය වෙනුවෙනි.   

ෂෙහාන් කරුණාතිලකගේ ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ නවකතාවට හරි අපූරු නිර්මාණයකි. එය ශ්‍රී ලාංකික අනන්‍යතාව රැගත් හොල්මන් කතාවකි. ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ නවකතාවට පාදක වන්නේ 1990 ගණන්වල ශ්‍රී ලංකාවේ සිවිල් යුද ගැටුමයි. නවකතාවේ ප්‍රධාන චරිතය වන මාලි අල්මේදා නමැති යුද ඡායාරූප මාධ්‍යවේදියෙකි. මාලි අල්මේදා සමලිංගිකයෙකි. නවකතාව ආරම්භ වන්නේ ඔහුගේ සිරුර බේරේ වැවෙන් හමුවීමත් සමඟය. යළි මනුෂ්‍ය ලෝකය හා සම්බන්ධ වෙමින්, තමන්ගේ ඝාතකයන් කවුරුන් ද, තමා ඝාතනයට ලක් වූයේ ඇයි දැයි සෙවීමට දින 7 ක කාලයක් මාලි අල්මේදාට ලැබෙයි. යුද සමයේ සිදුවුණු අපරාධ දැක්වෙන ඡායාරූප රැසක් සොයා ගනිමින්, තමන් ආදරය කළ අය වෙත යොමු වීමට ඒ අනුව මාලි අල්මේදාට හැකියාව ලැබේ. 

 

‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ නවකතාව බුකර් සම්මානය සඳහා තෝරා ගත්තේ එම නවකතාවේ ඇති, පාඨකයන්ට සමීප කරවන ජීවිතය සහ මරණය පිළිබඳ අත්දැකීම බව බුකර් සම්මාන විනිසුරු මඬුල්ලේ ප්‍රධානියා නීල් මැක්ග්‍රෙගර් පැහැදිලි කළේය. “ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා පාඨකයන් හමුවට ඉදිරිපත් කරන්නේ පුදුමය, සතුට, මෘදු මොළොක් බව, ආදරය, සෙනෙහස, පක්ෂපාතීත්වය සහ ලැදිකමයි” යැයි නීල් මැක්ග්‍රෙගර් පවසයි.

 


‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ නවකතාව බුකර් සම්මානය සඳහා තෝරා ගත්තේ එම නවකතාවේ ඇති, පාඨකයන්ට සමීප කරවන ජීවිතය සහ මරණය පිළිබඳ අත්දැකීම බව බුකර් සම්මාන විනිසුරු මඬුල්ලේ ප්‍රධානියා නීල් මැක්ග්‍රෙගර් පැහැදිලි කළේය. “ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා පාඨකයන් හමුවට ඉදිරිපත් කරන්නේ පුදුමය, සතුට, මෘදු මොළොක් බව, ආදරය, සෙනෙහස, පක්ෂපාතීත්වය සහ ලැදිකමයි” යැයි නීල් මැක්ග්‍රෙගර් පවසයි. නවකතාකරණයේ විද්වතුන් වන ෂහීදා බාරි, හෙලෙන් කාස්ටර්, එම්. ජෝන් හැරිසන්, මහාචාර්ය ඇලන් මබන්කු විනිසුරු මඬුල්ලේ සිටි සෙසු සාමාජිකයන්ය. ෂෙහාන් කරුණාතිලකගේ කෘතියට බුකර් සම්මානය ලබාදීම විනිශ්චය මණ්ඩලයේ ඒකමතික තීරණය වූ බව ද විනිශ්චය මණ්ඩලයේ මුලසුන හෙබ වූ මැක්ග්‍රෙගර් පැවැසීය. 


බුකර් සම්මානය දිනාගැනීමෙන් පසු ඉංග්‍රීසි බසින් උත්සව සභාව ඇමතූ ෂෙහාන් ඉන් පසු සිංහල හා දෙමළ භාෂාවලින් ද උත්සව සභාව ඇමතුවේය. මෙය විශේෂත්වයකි. “මා මේ පොත ලියුවේ ලාංකික ඔබ සැම වෙනුවෙන්. මේක ජයග්‍රහණයක්. අපේ රට පරාජය වෙලා ඉන්න වෙලාවක මේක අපට හොඳ ජයග්‍රහණයක්. ළඟදී අප නැමීබියාවට පැරැදුණා. කමක් නෑ. අද ලංකාවේ මිනිස්සු හුඟක් දුක් විඳිනවා. ඒ දුක් මඩින්න මට ආයුධ නෑ. ඒත් මේ ජයග්‍රහණය අපි පිළිගන්න ඕනෑ. අපි කොහොමහරි ලෝක ටී 20 විස්සයි විස්ස කුසලානයත් දිනාගමු. ඒක අපට බැරි නැහැ” යැයි ෂෙහාන් පැවැසුවේ සැතපුම් දහස් ගණනක් දුර සිට ශ්‍රී ලාංකික සියලු‍ දෙනා ආමන්ත්‍රණය කරමිනි. 


මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර, රවුන්ඩ් හවුස් රඟහලේ පැවැති සම්මාන උළෙලේ දී ෂෙහාන් කරුණාතිලකට සම්මානය පිරිනැමීම සිදු වූයේ බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ බිසව‍ වූ කැමිලා පාකර් රැජින අතිනි. දෙවැනි එළිසැබත් මහ රැජිනියගේ අභාවයෙන් පසු, බ්‍රිතාන්‍ය සිහසුනට පත් වීමෙන් පසු චාල්ස් රජුගේ අග බිසව වූ කැමිලා පාකර් රැජින වීමෙන් සහභාගි වූ පළමු ප්‍රධාන පෙළේ උත්සවය මෙයයි. 


සාහිත්‍යය වෙනුවෙන් කැපී පෙනෙන නිර්මාණ දායකත්වයක් සපයන ගත් කතුවරුන් ඇගයීමට ලක් කරමින් ‘බුකර්’ සම්මානය මුලින්ම ප්‍රදානය ආරම්භ වූයේ 1969 වසරේ දීය. වාර්ෂිකව පිරිනැමෙන මේ බුකර් සම්මානය හිමි වන්නේ එංගලන්තයේ සහ අයර්ලන්තයේ ප්‍රකාශයට පත් කෙරෙන ප්‍රබන්ධ සාහිත්‍ය කෘතිවලට ය. බුකර් සම්මානය සමඟ ෂෙහාන් කරුණාතිලකට හිමි වුණු මුදල් ත්‍යාගය පවුම් 50,000 කි. එය ශ්‍රී ලංකා රුපියල් 20,465,650 කි. 


2011 වසරේ, පළමු නවකතාව වන ‘චයිනමන්, ද ලෙජන්ඩ් ඔෆ් ප්‍රදීප් මැතිව්’ හරහා ශෙහාන් කරුණාතිලක සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසියේ විචාරක පැසසුමට පවා ලක් වෙමිනි. එයට පොදු රාජ්‍ය මණ්ඩල සම්මානය ඇතුළු සම්මාන කීපයක් හිමි විය. එය ‘චයිනාමන්, ප්‍රදීප් මැතිව්ගේ ක්‍රිකට් ප්‍රවාදය’ යනුවෙන් සිංහලට නඟා ඇත. ක්‍රිකට් ක්‍රීඩාව විෂය කර ගනිමින් ලියවුණු ලොව දෙවැනි හොඳ ම නවකතාව ලෙස ද එය විචාරක පිළිගැනීමට ලක් විය. 


ගාල්ලේ උපත ලබා කොළඹ හැදී වැඩුණු කරුණාතිලක, වැඩිදුර අධ්‍යාපනය හදාරා ඇත්තේ නවසීලන්තයේදීය. දැනට එංගලන්තයේ ජීවත්වන ශෙහාන් ජනමාධ්‍යවේදියකු ලෙස ද කීර්තියක් දිනා ඇත. 46 හැවිරිදි ශෙහාන්, ලේඛන කලාවට පිවිසීමට පෙර, දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ රැකියාවක් කළේය. ඔහු ළමා පොත් රචකයකු, තිරපිටපත් රචකයකු මෙන්ම ගීත පද රචකයකු ද වෙයි. ඔහු ‘ද ගාඩියන්‘, ‘නිව්ස්වික්‘, ‘රෝලිංස්ටෝන්‘, ‘ජීකියු‘, ‘නැෂනල් ජියෝග්‍රැපික්‘, ද‘ ක්‍රිකටර්, ‘විස්ඩන්’ සහ ‘ඉකොනොමික් ටයිම්ස්‘ ආදී පුවත් සඟරාවලට මෙන්ම පුවත්පත්වලට ද ලිපි සම්පාදනය කරයි. තමන් මීළඟට ළමයින් වෙනුවෙන් නිර්මාණ කීපයක් කිරීමට බලාපොරොත්තු වන බව ශෙහාන් පවසා ඇත. 
බීබීසී ඇසුරිනි.

 

 

 සටහන :
ලු‍සිත ජයමාන්න