ලෝකයේ වැඩියෙන්ම බයිසිකල් පදින රටේ ධනවත්ම කාන්තාව


 

  • Heineken, බීර නිෂ්පාදන සමාගමේ හිමිකාරිය වන්නේ ඇයයි.
  • මුළු නෙදර්ලන්තයේ නොහොත් ලන්දේසි රටේ ධනවත්ම තැනැත්තා වන්නේ ඇයයි.
  • බ්ලුම්බර්ග් ව්‍යාපාරික දර්ශකයට අනුව ලෝකයේ 137 වැනි ප්‍රකෝටිපතිනිය වන ඇයගේ වත්කම ඩොලර් බිලියන 13කට ආසන්නය.

 

අපේ රටේ හැටියට පාපැදි භාවිත කරන ජනතාව අතරින් වැඩි හරියක් දුප්පතුන්ය. එනිසා එය අපේ රටේ වැඩි දෙනා අතර ප්‍රචලිතව ඇත්තේ දුප්පතාගේ වාහනයක් ලෙසය. නැසීගිය වින්සන්ට් ද පෝල් - පීරිස්, දශක කීපයකට පෙරදී ‘‘බයිසිකලේ - බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ යනුවෙන් ගීතයක් ගැයුවේය. අපේ රටේ පාපැදිය එලෙසින් දුප්පතුන්ගේ ලැයිස්තුවේ ඇති වාහනයක් වුවද ලෝකයේ පාපැදි බහුලවම භාවිතා කරන ජනතාවක් වෙසෙන රට වන්නේ යුරෝපයේ ධනවත් රටක් වන නෙදර්ලන්තයයි. ඩච්ලෑන්ඩ් නැතහොත් නෙලදර්ලන්තය යනු ශ්‍රී ලාංකිකයින් නොදන්නා අමුතු රාජ්‍යයක් නොවේ. ‘ලන්දේසි’ යනු මේ නෙදර්ලන්ත ජාතිකයින්ය. 

මුලින්ම අපේ රට අල්ලාගෙන සිටි පෘතුගීසීන්ට පසුව එනම් පෘතුගීසීන් පලවා හැරි ලන්දේසීන් බ්‍රිතාන්‍ය මෙරට ආක්‍රමණය කරන තෙක් වසර 150ක පමණ කාලයක් මෙරට පාලනය කළ බව සඳහන් වේ. අද ලෝකයේ පාපැදි බහුලව භාවිතා කරන රාජ්‍යය වන්නේ මේ කියන ඕලන්දය නොහොත් අපට හුරු විදියට ලන්දේසීන් නොහොත් යුරෝපයේ නෙලදර්ලන්තයයි. එරට සමස්ත ජනගහනයම වාගේ පාපැදි භාවිතා කරන බව කිව හැකිය. එක් කෝටි හැට හය ලක්ෂ, පනස් දෙදහස් අටසීයක් සමස්ත ජනගහනය (2021 වනවිට) වෙසෙන නෙදර්ලන්තයේ ජනතාව අතරින් එක්කෝටි හැටපන් ලක්ෂයක ජනතාව පාපැදි භාවිතා කිරීම (2021 වාර්තාවලට අනුව) හරි අපූරු දෙයක් නොවේද? එච්චර ධනවත් රටක් වූ ඔවුන් පාපැදි භාවිතා කරන්නේ ඒ රටට වඩාත් පරිසර හිතකාමී බවක් ලබාදීම වෙනුවෙනි. එමෙන්ම ඒ වෙනුවෙන් ඔවුනට නිසි ක්‍රමවේදයක් තිබේ.   


එහෙත් අද අපේ රටේ බොහෝ දෙනා පාපැදි භාවිතයට බහුලව ​යොමුවීමට උත්සාහ ගන්නේ රටේ පෙට්‍රල් - ඩීසල් ප්‍රශ්නය නිසාය. නිදහසින් පසු මේ රට පාලනය කළ අපේ රටේ පාලක පැලැන්තිය අපට උරුම කළ කරුමය නිසාය.   


ලෝකයේ වැඩියෙන්ම පාපැදි පදින රටේ ධනවත්ම මිනිසා පාපැදි නිෂ්පාදන සමාගමක හිමිකරුවකු නම් නොවේ. ‘‘බීර’’ නිෂ්පාදන සමාගමක් හිමි චරිතයකි. මොකක්ද මේ බීර නිෂ්පාදන සමාගමේ නම? නෙදර්ලන්තයේ මේ මහා ධනවතා කවුද?   


නෙදර්න්තයේ ධනවත් චරිතය වන්නේ කාන්තාවකි. ඇය නමින් චාර්ලීන් ඩී කාර්වල්හෝ හෙයිනකන්ය. දැන් ඔබට ඇය ගැන නැතත්, ඇයගේ ‘‘හෙයිනකන්’’ නම ගැන මතකයක් ඇති වේවි. ලෝකයේ වෙ​ෙළඳ වටිනාකම වෙතින් බියර් නිෂ්පාදන අතරින් දෙවැනි ස්ථානයේ පසුවන ‘‘බීර’’ නාමය වන්නේ, හෙයිනකන්ය (Heineken).   

 

චාර්ලීන් ඩී කාර්වල්හෝ හෙයිනකන්

චාර්ලීන්, උපන්නේ 1954 ජුනි 30 වැනිදා නෙදර්ලන්තයේ අගනුවර වන ‘‘ඇම්ස්ටර්ඩෑම්’’ හිදීය. උපතින්ම ප්‍රකෝටිපති පවුලකට අයත් සාමාජිකාවක වූ ඇය Rijnands Lyceum Wassenaar කොලීජියෙන් අධ්‍යාපනය ලබා පසුව ලෙයිඩ්න් (Leiden) සරසවියෙන් නීති උපාධිය ලබා ගත්තාය. නීති විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධිය ලබා ගත් බව සඳහන් කළ හැකිය. ඇයගේ පියාගේ පියා වූ හෙයිනකන් පරපුරේ ඒඩ්‍රියන් හෙයිනකන් විසින් වසර 150කට පමණ පෙරදී බීර නිෂ්පාදන සමාගමක් ස්ථාපිත කළ බව සඳහන් වේ. ඒ මෙම හෙයිනකන් සමාගමේ ආරම්භය වේ. ඒ අනුව ඊට ඇත්තේ දිගු ඉතිහාසයකි. පසුව දිගු කාලයක් මෙම හෙයිනකන් පවුල සතු බීර නිෂ්පාදන සමාගමේ, ප්‍රධාන විධායකයා ලෙස කටයුතු කළේ, චාර්ලීන්ගේ පියාවූ​ෆ්‍රෙඩී හෙයිනකන්ය. ඔහු කර්මාන්තකරුවකු ලෙස එරට ප්‍රකටව සිටි චරිතයකි.   


හෙයිනකන් සමාගම 1864 දී පිහිටුවනු ලැබුවේ එවකට 22 වැනි වියේ පසු වූ, ජෙරාඩ් ඒඩ්‍රියන් හෙයිනකන් විසිනි. ඇම්ස්ටර්ඩෑම්හි එවකට තිබූ ඩී හුයිබර්ග්, බීර නිෂ්පාදනාගාරය මිලදී ගැනීමෙන් පසුවය. ‘‘හෙයිනකන්’’ යන නම යොදා ගත්තේ 1873 දීය. නිකම්ම හෙයිනකන් නොවේ. HBM ලෙස ඊට දිගු නාමයක් එක් විය. 1873 න් පසුව 1874 දී දෙවැනි නිෂ්පාදනාගාරය විවෘත කළේ රොටර්ඩෑම්හිදීය. ‘‘හෙයිනකන් බීර’’ වෙනුවෙන් යීස්ට් (Yeast) නිෂ්පාදනය කර දෙනු ලැබුවේ එසේ මෙසේ අයෙක් නම් නොවුණි. ලෝ ප්‍රකට රසායන විද්‍යාඥ, ලුවී පාස්චර්ගේ ශිෂ්‍යයකු වූ, ආචාර්ය එච්. එලියොන් විසින්. ජෙරාඩ් ඒඩ්‍රියන් හෙයිනකන්, එනම් ඉනික්බිතිව හෙයිනකන් සමාගමේ යතුර අතට ගත්තේ, ජෙරාඩ්ගේ පුතකු වූ හෙන්රි පියරේ හෙයිනකන්ය. විශාල පරිවර්තනයකට, එනම් වෙනසකට මුල පිරුවේ ඔහුගේ, නායකත්වය යටතේය. පළමු ලෝක යුද සමයේදී තවදුරටත් නිෂ්පාදන කටයුතු පුළුල් කළ, ‘‘හෙයිනකන්’ සමාගම, නිව්යෝර්ක් නගරයේ සිට ව්‍යාපාරික කටයුතු ගෙන යාම දක්වා විහිදී ගියේය. ‘ෆ්‍රෙඩී’’ යන ආදරණීය නාමයෙන් හැඳින් වූ, ඇල්ෆ්‍රඩ් හෙන්රි හෙයිනකන් මෙම සමාගමට අවතීර්ණ වූයේ, 1940 වසරේදීය. දුර ගමනක් ගිය ඔහු හෙයිනකන් සමාගමේ සභාපති බවට පත්වූයේ, දශක තුනකට පමණ පසුවය. ඒ 1971 ය.   


අපි නැවතත් වත්මනෙහි ලන්දේසි රාජ්‍යයේ මහා ධන පවුර වන ‘‘චාර්ලීන්’’ ගැන කතා කරමු. චාර්ලීන්ගේ මවගේ නම, ලුසිල් කමින්ස්ය. ඇය ඇමරිකාවේ කෙන්ටැකිහි බොර්බොන් විස්කි සමාගමට අයත් පවුලේ සාමාජිකාවක වූවාය. ඇමරිකාවේ නිෂ්පාදනය කෙරෙන බොර්බොන් විස්කි යනු ලෝකයේ නිෂ්පාදනය කෙරෙන ඉස්තරම් විස්කි වර්ගයකි. නීති ආචාර්ය උපාධිය ලබා සිටි චාර්ලීන්, හෙයිනකන් සමාගමේ සුක්කානම අතට ගත් පසු, යුග දිවියට පිවිසියේ 1983 දී, මිෂෙල් ඩී කාර්වල්හෝ සමගය. ඇමරිකාවේ, බහුවිධ මූල්‍ය සමාගමක් වන සිටි ගෲප් හි අධ්‍යක්ෂවරයකු ලෙස එවකට මිෂෙල් කටයුතු කරමින් සිටියේය. චාර්ලීන් හට මිෂෙල්ව මුල්වරට මුණගැසුනේ සුන්දර ස්විට්සර්ලන්තයේදීය. එහි ශාන්ත මොරිට්ස්හි ‘ස්කි’’ (හිම මත ලිස්සායාමේ) ක්‍රීඩාවේ නිරතව සිටියදීය. බොහෝ සල්ලිකාර පවුලවල උදවිය මෙම ‘‘ස්කි’’ ක්‍රීඩා කිරීම සඳහා ශාන්ත මොරිට්ස් වෙත පැමිණෙති.   


විවාහයෙන් පසු චාර්ලීන්ගේ සැමියා හෙයිනකන් N.V. සමාගමේ උපදේශන කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කරයි. මේ යුවළට දරුවන් පස් දෙනෙකි. මෙම පස්දෙනා අතරින් ‘‘හෙයිනකන්’’ සමාගමේ අධ්‍යක්ෂ මඩුල්ලේ සාමාජිකයින් ලෙස දූ පුතුන් දෙදෙනෙක් වෙති. කාර්වලිහෝ නාමය එකතු වූයේ විවාහයෙන් පසුවය. ඒ අනුව, දූ පුතුනට ද ඒ නම යොදා ගනී. ඇලෙක්සැන්ඩර් ඩී කාර්වලිහෝ, ලුයිසාබ්‍රේසී, එලෙසින් හෙයිනකන් අධ්‍යක්ෂ මඩුල්ලේ සිටිති.   


හයිනකන් නොහොත් හෙයිනකන් ගැන ඔබ නොදන්නා විස්තර ටිකක් :

හෙයිනකන් (හයිනකන්) බීර නිෂ්පාදනය කිරීමට ප්‍රධානව භාවිත කරන්නේ අමුද්‍රව්‍ය ත්‍රිත්වයක් පමණි. ජලය, මෝල්ටඩ් බාර්ලි යනු ප්‍රධානව භාවිතා කරන අතර උසස් ප්‍රමිතියෙන් යුතු ජලය සහ මෝල්ටඩ් බාර්ලි ඒ සඳහා යොදා ගනී.   


• 2016 වසරේදී පමණක් හෙයිනකන් බීර, ගැලුන් (ලීටර), බිලියන 42ක් පමණ අලෙවි වී තිබේ.   


• හෙයිනකන් පවුලේ අය පමණක් වසර 150ක් තිස්සේ, සමාගම පවත්වාගෙන යාම විශේෂත්වයකි.   

• විශ්වාස කරනවාද ලෝකයේ රටවල් 190ක හෙයිනකන් බීර අලෙවි කෙරේ. රටවල් 165 ක නිෂ්පාදනාගාර රටවල් 75ක පමණ ස්ථාපිත කර ඇත.   

• හෙයිනකන් බීර බෝතලයේ රතු තරු සලකුණ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකාව සහ සෝවියට් සංගමය අතර වූ සීතල යුද්ධය නිසා (සටන් නොකෙරුණද වෙනත් සම්බාධක සහිත යුද්ධය) රතු තරුව වෙනස් කිරීම සිදුවිණි. රතු තරුව වෙනුවට ඒ තරුව සුදු පාටින් යොදා ගත්තේය.   

• සාමාන්‍යයෙන් නිෂ්පාදන කටයුතු සිදු කෙරෙන විධිය නැරඹීමට යාමට පිටස්තර අයට අවසර නොලැබුණද, ඇම්ස්ටර්ඩෑම්හි ඇති නිෂ්පාදනාගාරය නැරඹීමට යාමට අමුත්තන්ට ඉඩ ලබාදී තිබේ. හෙයිනකන් ඉතිහාසය පිළිබඳ විස්තර, ඡායාරූප ඇතුළත් කෞතුකාගාරයද එහිදී නැරඹීමට පුළුවන.   

• ‘‘හෙයිනකන්’’ බීර ලාංඡනයෙහි ඇති 'Heineken' වචනයේ 'e' (ඊ) අක්ෂර තුන නිර්මාණය කර ඇති ’සිනහව’ ඇති මුහුණු තුනක් මෙන් බව ඒ දිහා විපරම් කර බලන ඔබට දැක ගත හැකිය. ජීවිතයට ‘‘සතුට’’ සිනහව යනු හොඳම දේ නොවේද?   

• 1988 දක්වා නිෂ්පාදනය වූ ‘‘ජේම්ස්බොන්ඩ්’’ චිත්‍රපට සඳහා හෙයිනකන් අනුග්‍රාහකත්වය ලබාදී තිබේ.   

• පරිසරහිතකාමී බව අගයන නිසා බීර යොදා ගැනීමේදී, ‘‘විදුලි බැටරියෙන්’’ දිවෙන ට්‍රක් රථ යොදා ගැනේ. (ඉලෙක්ට්‍රික් ට්‍රක්) ඔවුනගේ එක් බෙදාහැරීමේ ස්ථානයකදී සම්පූර්ණ බෙදා හැරීම් සිදු කෙරෙන්නේ එලෙසිනි. (ඇම්ස්ටර්ඩෑම් නගරයේදී).   

• 2017 දී හෙයිනකන් (හයිනකන්) ලෝකයේ අගනාම වෙ​ෙළඳ නාම අතරින් 78 වැනි ස්ථානයේ පසුවිය.   

• විශ්වාස කරන්න ඔවුනට ඇත්තේ මෙම හෙයිනකන් පමණක් නොවේ. තවත් වෙ​ෙළඳ නාම යටතේ වර්ග 170 ක් තිබීමද (ඔවුන් සතුවීමද) විශේෂත්වයකි.   

• 2017 දී වාර්තා වුණේ, ලෝකයේ අලෙවි වන බියර් වර්ග අතරින් විශාල ලෙස අලෙවි වන 7 වැනි ස්ථානයේ පසුවන බීර වර්ගය හෙයිනකන් යනුවෙනි. නමුත් අද වන විට ‘‘බීර’’ ලෝකයේ අගනාම හැඩ අතරේ හෙයිනකන් පසුවන්නේ 2 වැනි ස්ථානයේය.   

• ‘‘ෆේස්බුක්’’ එකේ වැඩියෙන්ම “ලයික්’’ හිමිකරගෙන සිටින්නේ මෙම බීර නාමයයි. මිලියන තිහ ඉක්මවූ පිරිසක් ඊට අයත්ය.   

• ‘‘පින් බෝල්’’ ක්‍රීඩාව ගැන ඔබ දන්නවා නේද? මෙම ක්‍රීඩාව කිරීම සඳහා වන ලෝකයේ ලොකුම ‘‘පින්බෝල් මැෂිම’’ නිෂ්පාදනය කළේ, හෙයිනකන් සමාගමය. එය ගිනස් වාර්තාවට පවා හිමිකම් ලබයි.   

• Zero Gravity හෙවත් ශුන්‍ය ගුරුත්වය යටතේ, සංගීත ප්‍රසංගයක් ලෝකයේ ප්‍රථම වරට සංවිධානය කළේ ද හෙයිනකන් සමාගම විසිනි. ලාස් වේගාස් කාන්තාර භූමියේදී මෙය පැවැත්විණි.   

• යුරෝපයේ වෙසෙන ධනවත්ම කාන්තාවන් 10 දෙනා අතරට චාර්ලීන් ද අයත්ය.   

• නෙදර්ලන්තය හෙවත් ලන්දේසි භූමියේ උපන්නද ව්‍යාපාරික කටයුතු ලෝකය පුරා පවත්වාගෙන ගියද, චාර්ලින් ඩී කාර්වලිහෝ හෙයිනකන් සැමියා සහ දරුවන් පස්දෙනා සමග ජීවත් වන්නේ ලන්ඩනයේය.   

• 2021 දී ෆෝබ්ස් සඟරාව ප්‍රකෝටිපතියන්ගේ වත්කම් ලැයිස්තුව අනුව චාර්ලින්ගේ ධනස්කන්ධය බිලියන 16.7 ක් ලෙස වාර්තා කර තිබිණි. බීර බී සතුටු වනවාට වඩා රසවත් පවුල් ජීවිතයක් ගෙවන චාර්ලීන්ගේ දැන් වයස අවුරුදු 68 කි.  

 

‘‘මල් තුහිත ඇද හැළෙන සීතල නත්තල් රාත්‍රියක නිහඬතාවය අතරේ ඔබේ ආත්මය මගේ හදවත උණුසුම් කරන බව මට දැනේ’’  
චාර්ලීන් මෙසේ මිමිණුවේ ඊට පෙරදා එනම් නත්තල් දිනට පෙරදා හැන්දෑවේ තම මව වූ ‘‘ලුසිල් කමින්’’ මිය ගිය නිසාය. හෙයිනකන් පරපුරේ, ධනයට උරුමකම් කියන මේ චාර්ලින් එම සමාගමේ 25% ක කොටස් වෙනුවෙන් අඛණ්ඩ හිමිකාරිත්වයක් දරන්නීය.  


හෙයිනකන් (හයිනකන්) බෙදාහැරීමේ නිෂ්පාදනාගාරයක් ශ්‍රී ලංකාවේ ද ස්ථාපිතය.  
මෙලෙසින් අප කරුණු විස්තර කළේ, ලෝකයේ ප්‍රකට සමාගමක් ගැන මිසෙක මධ්‍යසාර, ගුණ කීමට නොවන බව පාඨක ඔබට සිහි ගන්වමු. ‘‘බීර’’ තරමට වඩා පානය කිරීමෙන්, එනම් අධික ලෙස ‘‘බියර්’’ පානය කිරීම නිසා, සම දුර්වර්ණ වීම (කළුවීම) නිතර නිදිමත ස්වභාවය, රුධිරයේ සීනි මට්ටම පහළ යාම, ශරීරයේ අභ්‍යන්තර කොටස්වලට හානි ඇතුළු බරපතළ ශාරීරික ගැටලු ඇතිවන බව වෛද්‍ය නිගමනය වේ. එනිසා ‘‘ඕනෑම දෙයක් ඕනෑවට වඩා එපා’’ යන්න ඔබ කොයි කවුරුත් සිහිතබා ගත යුතු දෙයකි.  
හොඳට කන බොන අතරේ නැතිනම් යුරෝපයේ බොහෝ දෙනා මෙන් පාපැදි පැදීම ශාරීරිකව ඉතා හොඳ ව්‍යායාමයකි. ලෝකයේ වැඩියෙන්ම බයිසිකල් පදින ජනතාවක් සිටින්නේද මේ ‘‘හෙයිනකන්’’ බීර බිහිවූ රාජ්‍යයක් වන අතර, ඩෙන්මාර්කයේ සමස්ත ජනගහනයෙන් 81% ක් ජර්මනියේ සමස්ත ජනගහනයෙන් 76% ක් ස්වීඩනයේ, සමස්ත ජනගහනයෙන් 64% ක් නෝර්වේ, සමස්ත ජනගහනයෙන් 61% ක් පාපැදි පැදීමට හුරුවී සිටීම අපූරු දෙයක් නොවේද?

 

පරිවර්තන සටහන : සඳුන් ගමගේ  
[email protected]