ලෝකයේ ලොකුම සත්කාරක සේවාව පවත්වාගෙන යන සමාගම


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

  • කිසිම දේපොළක් නැතුව මහා ධනයක් උපයන සමාගමක්
  • ලෝකයේ රටවල් 190ක පමණ එයාර් බී ඇන්බී’ සේවාව ව්‍යාප්තය
  • මිලියන හයකට වඩා නවාතැන් සේවා සපයන පිරිසක් බැඳී සිටී
  • එළිබසත් ටේලර්ගේ නිවස ද එයාර් බී ඇන්බී ලැයිස්තුවේ ඇති එකකි

 

එයාර් බී ඇන් බී (Air B N B) ගැන ඔබ අසා තිබේ ද? එයාර් ‘බී ඇන් බී’ යනු නමින් විතරක් වැඩ ගන්නා හරි අපූරු සමාගමකි. ලෝකය වටේ මෙයාලට දේපොළ නැතත්, ලෝකයේ සෑම තැනකම වගේ සංචාරකයන් හට නවාතැන් පහසුකම් සොයා දීමට මුල් වූ සමාගමක් ලෙස මේ ‘එයාර් බී ඇන් බී’ හැඳින්වීමට පුළුවනි. ලොව බොහෝ සංචාරකයන් රටින් රටට සංචාරය කිරීමේ දී එකී රටවල ඇති පිළිගත් සංචාරක හෝටල සහ නිකේතන වෙන්කරවා ගැනීම සාමාන්‍ය පරිදි සිදුවන්නකි. නමුත් මෙම සමාගම හරහා සුපිරි තරු හෝටලය හෝ පිළිගත් සංචාරක නිකේතනවලට වඩා ඔබට අවශ්‍ය නම් ඔබගේ නිවස ද සංචාරකයන් සඳහා නවාතැන් වෙනුවෙන් ලබා දීමට පුළුවන. ඒ මගින් ඔබට ලැබෙන්නේ ඩොලර්ය. ලංකාවේ බෙහෝ දෙනා 'Airbnb' සමාගමේ ලියාපදිංචි වී සිටින්නේ ඒ නිසාය. ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය ඔස්සේ මෙම අපූරු සමාගමේ සහ එය ආරම්භ කළ ව්‍යවසායකයන් කවුදැයි කියා අද අපි සොයා බලමු.

 

Airbnb (එයාර් බී ඇන් බී)  

‘එයාර් බී ඇන් බී’ යනු බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට් යන නාමය වෙනුවට කෙටියෙන් යොදා ගත් නාමයකි. රටින් රටට සංචාරයෙහි යෙදෙන සංචාරකයන් වැඩි දෙනෙක් කැමති තමුන් නවාතැන් සඳහා තෝරාගත් හෝටලය හෝ ස්ථානයෙහි දවසම රැඳී සිටීමට නොවේ. සංචාරකයන් බොහෝ විට හෝටලයෙහි හෝ තෝරා ගත් නවාතැනෙහි සිටින්නේ රාත්‍රිය ගත කිරීමට සහ උදෑසන ආහාරවේල ගැනීම වෙනුවෙනි. මේ ක්‍රමයට කියන්නේ ‘බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට්’ (BB) යනුවෙනි. ‘එයාර් බී ඇන් බී’ ඔවුන්ගේ සත්කාරක සේවා සංකල්පය පටන් ගත්තේ ‘බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට්’ යන අදහසට අනුවය. ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන මෙම 'Air BNB' යනු ඔන්ලයින් හෙවත් අන්තර්ජාලය ඔස්සේ සේවා සපයන සමාගමකි. එනිසා රටින් රටට ඔවුන්ගේ සේවාව ලබා දීමට මහා ගොඩනැගිලි පර්යන්ත සහ ස්ථාන අවශ්‍ය නොවේ.  


ඔබට ඔබගේ නිවස, අමුත්තන් සඳහා වෙන්කර දීමට කැමති නම්, 'Air BNB' වෙබ් අඩවියට පිවිස, ඔවුනගේ නීතිරීති වලට අයත්ව පළමුව ලියාපදිංචි විය යුතු වේ. ලංකාවේ බොහෝ දෙනා ගෙවල් හදන්නේ ගෙදර සිටින ප්‍රමාණයට වඩා, වැඩි පිරිසකට ඉඩකඩ ඇති විදියටය. එනම් බොහෝ දෙනා ලොකු නිවසකට කැමතිය. ඒත් එම නිවස සාදා නිම කළ පසු, සාමාජිකයන් ගණන අඩු නිසා, ඒ ගෙදර පාළු ස්වභාවයක් ගතී. එක්කෝ නිවසේ දරුවන් විදෙස්ගතව සිටී. එවැනි පවුල්වල අයට මේ එයාර් බී ඇන් බී, හා සම්බන්ධ වීම, එකතකට වඩා හොඳ දෙයක් වන්නේ අමතරව ආදායමක් ලැබිය හැකි නිසාය. ‘‘එයාර් බී ඇන් බී සංකල්පය හරි මරු නේද’’ කියා එවිට ඔබට හිතේවි. අපි බලමු කවුද මේ අපූරු සංකල්පය යථාර්ථයක් බවට පත් කළ මිනිස්සු කවුදැයි කියා?  

 


බ්‍රයන්, ජෝ සහ නේදන්  


බ්‍රයන් වෙස්කි, ජෝ ජෙබියා, යනු පාසල් සමයේ සිට හොඳ මිතුරන් දෙදෙනෙකි. 2007 වසරේ දී, එනම් වැඩි ඈතක නොවේ. මේ දෙදෙනා සැන් ෆ්‍රැන්සිස්කෝවේ දී හමුවිණි. මේ හමුව, නිසා අනාගතයේ දී ලෝකයම අල්ලා ගැනීමට හැකිවේ යැයි ඔවුන් විශ්වාස කරන්නට නම් නැහැ. මේ දෙදෙනා විසිත්ත කාමරයේ සිට උදෑසන ආහාර ගනිමින් සිටියේ, හුළං පිරවූ මෙට්ටයක් මත සිටිමින්ය. මෙම බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට් සංකල්පයට අනුව සත්කාර ලබාදීමේ සේවාව ගැන අදහස මුල්වරට ඇති වූයේ එම කතා බහ අතරවාරයේදීය. ‘‘මේක නම් හරි මරු වැඩක්නෙ මචං’’ යැයි බ්‍රයන් චෙස්කිහට ජෝ ජෙබියා කීවේය.  


‘‘හරි අපි ඒ මරු වැඩේ ප්‍රැක්ටිකල් කරමු’’ බ්‍රයන් කියා සිටියේය. ඉනික්බිතව ‘2008’ වසරේ පෙබරවාරි මාසයේ දී මේ මිතුරන් දෙදෙනා මෙම අන්තර්ජාල ව්‍යාපාරය ඇරඹුවේ බ්‍රයන් චෙස්කිගේ තවත් මිතුරකු වන නේදන් බ්ලැක්ර්චෙක් (බ්ලෙචාර්සයික්) ගේද සහාය ඇතිවය. නේදන් මෙම වැඩේට අතගැසුවේ, ප්‍රධාන තාක්‍ෂණික නිලධාරියා ලෙසය. ඒ අනුව ඔවුන් මෙම අන්තර්ජාල හෙවත් ‘ඔන්ලයින්’ හරහා සිදු කෙරෙන ව්‍යාපාරය නම් කළේ Air Bed & Breakfast (එයාර් බ්‍රෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට්) යනුවෙනි. මේ සඳහා වූ ‘වෙබ් පිටුව’ නිර්මාණය කිරීමත් සමඟ ඔවුනගේ කතාන්දරය ලොවට හෙළිදරව් විණි. සංචාරකයන් වෙනුවෙන් සත්කාරක සේවාව ලබා දෙන 'Air BNB' බවට පසුව එය නම් කිරීමට ඔවුන් වග බලා ගත්තේය. සංකල්පයක් මුදල් බවට හැර වූ මේ මිතුරන් තිදෙනා කවු ද?  


බ්‍රයන් චෙස්කි  


එයාර් බී ඇන් බී හි සම ආරම්භකයා සහ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ චෙස්කිය. සමාගම සඳහා වූ උපායමාර්ගික සැළසුම් සකස් කරන්නේ ඔහුගේ අනුදැනුම යටතේය. බ්‍රයන් ජෝසප් චෙස්කි උපත ලැබුවේ 1981 අගෝස්තු 29 වැනිදා නිව්යෝර්ක් කලාපයට අයත් නිස්කයුනාහිදීය. ටයිම් සඟරාව මේ චෙස්කිව 2015 දී නම් කළේ ලොව බලගතු පුද්ගලයන් 100 දෙනාගේ නාම ලැයිස්තුවටය. චෙස්කිගේ තාත්තා, පැවත එන්නේ පෝලන්ත සම්භාවය රැගෙනය. මවගේ පරම්පරාවේ අය ඉතාලි පෙළපතකට අයත්ය. චෙස්කි හට සිටින්නේ බාල සහෝදරියක පමණි. ඇය ඇලියන්ය. පියා රොබට් චෙස්කි සහ මව ඩෙබෝරා සමාජ සේවයට බෙහෙවින් ලැදිව කටයුතු කරන චරිත බව සඳහන් වේ. ඔහුට තම මිතුරා වන ජෝ ජෙබියා හමුවූයේ සැළසුම් නිර්මාණ අංශයේ උසස් අධ්‍යාපනය ලබමින් සිටි අවදියේදීය. රෝඩ් අයිලන්ඩ් ස්කූල් ඔෆ් ඩිසයින් වෙතින් ‘චෙස්කි’ ඉනඩස්ට්‍රියල් ඩිසයින් අංශයෙන් උපාධිය ලබා ගත්තේය. පසුව ලොස් ඇන්ජලිස්හි 3DID ආයතනයේ උපාය මාර්ගිකයකු ලෙස සේවය කළේය. 2007 සැන් ​​ෆ්‍රැන්සිස්කෝ නගරය වෙත පැමිණ සිටි චස්කි, තමුන් පදිංචිව සිටි මහල් නිවසක, අනෙක් මිතුරා වූයේ, ‘ජෝ’ය. 2007 දී ඇමරිකාවේ කර්මාන්තකරුවන්ගේ සම්මන්ත්‍රණය පැවැති අතර, ඒ සඳහා පැමිණ සිටි අමුත්තන්ට හෝටල ඉඩ කඩ පමණක් සීමා නොවුණි. ‘බ්‍රයන් සහ ජෝ’ එවකට මුදල් අතින් සරු නොවූ බැවින් දෙදෙනා නවාතැන් ගෙන සිටි මහල් නිවසට කුලිය පවා ගෙවා ගැනීමට නොහැකි විණි. එනිසා මුදලක් සොයා ගැනීම වෙනුවෙන් සම්මන්ත්‍රණයට පැමිණි අමුත්තන්ට මුදලට තම කුලී නිවස වෙන් කිරීමට කටයුතු කළේය. සුළං පිරවිය හැකි බෙඩ් හෙවත් වායු මෙට්ට තුනක් මිල දී ගෙන ආ ඔවුන් එය නව මහල් නිවසේ අමුත්තන් තිදෙනෙකු හට නිදා ගැනීම සඳහා වෙන් කිරීමට තීරණය කළේ පසුදා උදෑසන ආහාරය ද ඇතුළුවය. අපේක්‍ෂා කළ පරිදි අමුත්තන් තිදෙනෙකු පැමිණි අතර ‘බ්‍රයන් සහ ජෝ’ ගේ අදහස මල්ඵල ගැන්විණි. මේ සටහන මුල දී සටහන් කළ පරිදි ‘එයාර් බී ඇන් බී’ සංකල්පය ප්‍රායෝගික කිරීමට ඔවුන් මුල් පිරුවේ එතැන් සිටය. බ්‍රයන් චෙස්කි අද පසුවන්නේ 41 වැනි වියේය. අද ඔහු ලොව සිටින බිලියනපතියෙකි. මේ මහා මොළකාරයා තවමත් විවාහ වී නැතත්, 2013 සිට මේ දක්වා ඉන්දීය සම්භවය ඇති කලකාරියක වන එලීසා පටෙල් වැවර්ලි සමඟ එකට ජීවත් වන බව වාර්තාවල සඳහන් වේ. හතළිස් වියට ඒමට පෙර ලොව බලගතු චරිතයක් වූ බ්‍රයන් චෙස්කි, තමා උපයන මුදලින් වැඩි කොටසක් පුණ්‍යාධාර සඳහා ලබා දීමට බැඳී සිටින චරිතයකි.  


ජෝජෙබියා (ජෝ ගෙබ්බියා)   

 

‘එයාර් බී ඇන් බී’ අනෙක් සමාරම්භකයා වන ‘ජෝ’ උපත ලැබුවේ 1981 අගෝස්තු 21 ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලන්ටවලදීය. නිර්මාණ සැලසුම් ශිල්පියකු වන ජෙබියා, අයිලීන් සහ ජෙබියා යුවළගේ වැඩිමහල් පුතුය. බ්‍රයන්ට මෙන් ජෝට සිටින්නේ ද බාල සහෝදරියක පමණි. ජෙබියා යනු කලා අංශයේ අලුත් නිර්මාණ සඳහා වූ හොඳ මොළයකි. අලුත් අදහස් ඇති උල්පතක් වැනි අයෙකි. බැරැක් ඔබාමාට දේශපාලනිකව උදවු දුන් අයෙකි. ඔහුගේ පෙම්වතිය හෝ බිරිදක සිටිනවා ද යන්න ගැන නම් කරුණු හරියට සඳහන් නොවේ. එහෙත් ගෙබ්බියා හෙවත් ජෝ ජෙබියා අසරණ වූ බල්ලෙකු හදා වඩා ගනී. ඒ සුරතලාගේ නම ‘බෙලෝය’ ය.  


නේදන් බ්ලැකර්චෙක් (බ්ලෙචාර්සයික්)  


‘නේදන්’ නොහොත් ‘නටේ’ යන කෙටි නාමයෙන් හැඳින්වෙන මෙම සමාගමේ තාක්‍ෂණික මහ මොලකරුවා වන ඔහු උපත ලැබුවේ 1983 දී බොස්ටන් මැසවුසෙට්හිදීය. 2021 ෆෝබ්ස් වාර්තාවට අනුව බිලියන 9.3ක මහා ධන සාගරයකට ඔහු හිමිකම් කියයි. බිල්ගේට්, වොරන් බුෆේ පවත්වාගෙන යන 'giving pledge' පුණ්‍යාධාර පදනමේ බ්‍රයන් මෙන්, නේදන්ද පුණ්‍යාධාර සපයන සාමාජිකයෙකි. එළිසබත් මෝරි සමඟ විවාහ වී සිටින මේ ධනවතා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. සංකල්පයක් ක්‍රියාත්මක කළ තාරුණ්‍යයේ ජව සම්පන්න සැබෑ මොළකාරයන් කියන්නේ මෙවැනි මිනිසුන්ට නොවේද? මේ බ්‍රයන් ජෝ සහ නේදන් නිසා ඇමරිකාවට විදේශ විනිමය ගලා එන්නේ මහ සාගරයක් තරමටය.   


පෙනෙන විදියට එයාර් බී ඇන් බී   


ලෝකයේ ලොකුම නවාතැන් සේවාව ලබාදෙන එයාර් බී ඇන් බී රටවල් 190කට එහා සංඛ්‍යාවක තම සේවාව සක්‍රීය කර තිබේ. ලෝකයේ මිලියන හයකට එහා (ලක්‍ෂ 60කට වඩා) ස්ථානවල දී දැනට සේවාව සැපයෙන බව කිව හැකිය.   


කෙසේ වෙතත් ලෝකයේ සමහර නගරවල එයාර් බී ඇන් බී සේවාව ලබා දීමට අවසර නැත. තහනම් කර තිබේ.  

 


එයාර් බී ඇන් බී වඩාත් ප්‍රචලිත නගර වන්නේ, බාසිලෝනා, ශාන්ත මොනිකා සහ පැරිසිය යන නගරවලදීය.  
එයාලගෙ සංකල්පය වන්නේ රටින් රට සංචාරය කරන සංචාරකයන්හට ඒ රටේ වැසියකු ලෙස ජීවත් වෙන්න කියාය. එනම් ‘විදේශිකයකු නොවූ දේශියකු ලෙස අත්දැකීම් ලබන්න යනු ඔවුන්ගේ ව්‍යාපාරය ප්‍රචලිත කිරීමේ තේමාවයි.  


හැබැයි ඉතින් සේවාව හොඳ වූවද විවිධ හේතු නිසා ‘එයාර් බී ඇන් බී නාමය අප කීර්තියට පත් වූ අවස්ථා නැතුවාම නොවෙයි. සංචාරකයන් ලිංගික අපචාරයන්ට, ලක් වූ අවස්ථා නිසාත්, එසේ නමට කැළලක් විණි. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි නිවසක නවාතැන් ගෙන සිටි සංචාරකයන් තිදෙනෙකු දූෂණයට ලක්ව මියගිය බවත් වාර්තාවල සඳහන් වේ. 

 
එවැනි දේ සිදු නොවීමට වගබලා ගැනීම උදෙසා ‘එයාර් බී ඇන් බී’ තම සේවාවට තාක්‍ෂණික සහාය සූක්‍ෂම ලබා ගැනීමට කටයුතු කර තිබේ.  

 


එයාර් බී ඇන් බී ලෝකයේ වඩා ප්‍රචලිතව තිබෙන්නේ. සංචාරකයින්ගේ අතැති මුදලට පඩාත් සෑහෙන සේවාවක් ලබා ගත හැකි නිසාය. සාමාන්‍ය තරු හෝටලයක නවාතැන් ගන්නේ නම්, විශාල මුදලක් එක් රාත්‍රියකට ගෙවීමට සංචාරකයින්ට සිදුවූවද, මේ සේවය ඔස්සේ, රටක නිවසක හෝ වෙනත් තැනෙක සංචාරකයින්ට නවාතැන් සැපයෙන නිසා, බොහෝ දෙනා ඊට මනාපය.  


එහෙත්, එයාර් බී ඇන් බීලාගේ ලියාපදිංචි වූ සමහර රටවල සමහර විශේෂිත තැන් නම් මිල ගණන් අතින් ඉහළය. එක් මන්දිරයක් එක් රාත්‍රියක් සඳහා පමණක් ඩොලර් 11,658කට වෙන් කරවා ගත් සංචාරකයින්ද සිටි. ශ්‍රී ලංකා මුදලින් නම් 2,331,600ක මුදලකි. එම මන්දිරය සතුව සියලු සුපිරි පහසුකම් තිබීම ඊට හේතුවය. කොහොමටත් විවිධ තැන් එලෙසින් මිල අඩු වැඩි වන්නේ පහසුකම්වලට අදාලවය.  


හිටි හැටියේම ‘එයාර් බී ඇන් බී’ සංචාරකයින් හට අදහාගත නොහැකි තරමේ වට්ටම් ලබා දීමද සිදු කරයි.   
ලෝ ප්‍රකට හොලිවුඩ් තාරකාවක වන ‘එළිසබන් ටේලර්’ ජීවත් වූ මන්දිරයද 'Air BNB' හි ලියාපදිංචි වී ඇති එකකි. එලෙසින් ලෝ ප්‍රකට තරු සතු මන්දිර - නිවාස ඔවුනගේ ලැයිස්තුවේ ඇති වග සඳහන් කළ හැකිය.  
ලෝකයේ ප්‍රධාන නගර 31 සෘජුවම එයාර් බී ඇන් බී කාර්යාල ක්‍රියාත්මකය. (ඔෆිස්)   

 


‘ඌබර්’ ටැක්සි රථ සේවාව ක්‍රියාත්මක වන අයුරින් මෙම එයාර් බී ඇන් බී සේවාවද ක්‍රියාත්මක වන බව කිව හැකිය.  


එයාර් බී ඇන් බී හි සත්කාරක ලැයිස්තුවට ඇතුළත් වීමට ඔබට ගාස්තු අය නොකෙරේ. ඔවුන් අය කරන්නේ සත්කාරය ලබා දෙන ස්ථානයෙන් 3%ක මුදලක් පමණි.  


ඕස්ට්‍රේලියාවේ පමණක් එයාර් බී ඇන් බී කාර්යාල 12ක් පමණ ස්ථාපිත කර ඇත.  


2013 දී පමණක් එයාර් ‘බී ඇන් බී’ ලක්‍ෂ 90ක ජනතාවකට සේවා සපයා දීමට සමත් වූ බව සඳහන්ය. අද බොහෝ සංචාරකයන් විදුලියෙන් චාර්ජ් කරවිය හැකි බැටරිය සහිත වාහන භාවිතා කරන නිසා, සමහර රටවල එම සේවාවද අදාළව තිබීම නිසාත් මේ සමාගම ප්‍රචලිතව තිබේ.  


සමහර රටවල මෙම සේවාව තහනම් කර ඇත්තේ, අසල්වාසින්ගේ සංචාරකයින් නිසා බාධා ඇති වේ යැයි යන්න නිසාය.  


රටින් රට නගරවල මහා ගොඩනැගිලි මෙම සමාගමේ කාර්යාල සඳහා වෙන් කර නැතත්, එනම් කිසිදු දේපොළක් නැතත්, නිරන්තර ආරක්‍ෂණ ගැටලු, ප්‍රාග්ධන වියදම් නිසාත්, තාක්‍ෂණය දියුණු කිරීමට කටයුතු කිරීම අවශ්‍ය නිසාත්, ඔවුනට විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබේ.   


කෙසේ වෙතත් ගූගල් ඇතුළු ප්‍රකට සමාගම් සහ ආයෝජකයන් මෙම එයාර් ‘බී ඇන් බී’ සමග අයෝජන කිරීමට පෙලැඹ සිටීම නිසා, සමාගම වඩා ශක්තිමත්ය.  

 


මෙම සත්කාරක සේවාව නිසා සංචාරකයන් හට, ඔවුන් නවාතැන් ගන්නා නිවසක හෝ ස්ථානයක හිමිකරුවන් සමඟ, නැතහොත් සත්කාර සේවා සපයන අය සමඟ සංචාරය වීමට පෙර කතා කිරීමේ පහසුකම්ද ඇත. එකිනෙකා හඳුනා ගැනීමට එය හොඳ දෙයකි.  


‘එයාර් බී ඇන් බී’ සමාගමට ලෝකයේ වෙනත් රටක තරඟකරුවන් නැත. එහෙත් ඔවුනට තරගයන් දීමට සිදුව ඇත්තේ ඇමරිකාවේම සමාගම් සමගය. ට්‍රිප් ඇඩ්වයිසර්, බුකින් ඩොට් කොම්, හෝම් අවේ, එක්ස්පීඩියා, ෆ්ලිප්කී, ට්‍රිපින් ඩොට් කොම් වැනි ආයතන ඔවුනගේ තඟරකරුවන් වේ.  

 

රටකට ඩොලර් ගෙන ඒමට එලෙසින් තරගකරුවන් සිටීම වැදගත්ය. ශ්‍රී ලංකාව යනු සංචාරක පාරාදීසයකි. නමුත් මේ පාරාදීසයෙන් සංචාරකයන් මෙරටට ​ෙගන්වා මුදල් උපයා ගන්නේ අපේ රටේ ආයතනවලට වඩා මෙවැනි විදේශීය සමාගම්ය.

 

 

පරිවර්තන සටහන : 
සඳුන් ගමගේ
[email protected]