ලේ, කඳුළු, මරණය මැදින් ඉපදුණ ජාතික ශිෂ්‍ය වීර දිනය


අධ්‍යාපන අයිතීන් සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් හා යුක්ති ගරුක සමාජයක් බිහිකිරීම වෙනුවෙන් කරන ලද අරගලයේ දී තම ජීවිත කැප කළ විරු සිසු සිසුවියන් ස්මරණය කිරීම වෙනුවෙන් ජූනි 20 දිනයට යෙදෙන ජාතික ශිෂ්‍ය වීර දිනය නිමිත්තෙන් ලියැවෙන සටහනකි. 

ලාංකේය ශිෂ්‍ය අරගල ඉතිහාසය 

ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන වැඩ පිළිවෙළ විධිමත්ව ආරම්භ වන්නේ 1940 දශකයේය. ඒ වන විට අධ්‍යාපනයේ අයිතිය හිමි වූයේ මෙරට ධනපතියන් ගේ දරුවන්ටය. නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය 1945 වසරේ හඳුන්වා දී, 1960 වසරේදී පාසල් පද්ධතිය රජයේ මෙහෙයවීම යටතට ගැනීමෙන් පසුව මෙරට සාමාන්‍ය දරුවන්ට ද අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව විවෘත විය. උසස් අධ්‍යාපනය මෙරට හඳුන්වා දීමෙන් පසුව 1942 වසරේදී මෙරට විශ්වවිද්‍යාලයක් ආරම්භ වූ දින සිටම එය ශිෂ්‍ය අරගලයන් හි ආරම්භය බවට පත්විය. 1940 දශකය මැද භාගයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවා ආහාරය බෙදීමේ දී මතුවූ අක්‍රමිකතාවයක් පදනම් කර ගනිමින් පැන නැඟුණු අරගලය ශිෂ්‍ය ඉතිහාසයේ පළමු සංවිධිත අරගලය ලෙස හැඳින්විය හැකිය. ආරම්භයේ දී පෞද්ගලික අවශ්‍යතා මූලික කර ගනිමින් අරගල පැන නැඟුණ ද 60 දශකය වන විට එහි දේශපාලනික මුහුණුවරක් ගන්නා ලදී. විශේෂයෙන් අධිරාජ්‍ය විරෝධී ශිෂ්‍ය සටන් පැන නැඟීමට වාමාංශික ව්‍යාපාරයේ බලපෑම ද ඉවහල් විය.

1960 දශකය වෙන විට වාමාංශික දේශපාලනික ව්‍යාපාරයන්හි බලපෑම විශ්වවිද්‍යාල භූමිය ආක්‍රමණය කළේය. ඒ අනුව පොදුභාවය, සාමූහිකත්වය හා සමානාත්මතාව යන සංකල්ප පිළිබඳව ශිෂ්‍ය කතිකාවන් ගොඩ නැඟුණි. 1965 දී විශාල ශිෂ්‍ය මර්දනයකට ලක් වෙමින් වුවද ප‍්‍රබල කැප කිරීමක් කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ පැනනැඟුණු  ශිෂ්‍ය සභාවලට නිල අයිතිය ඉල්ලීම ඇතුළු ඉල්ලීම් 12 ක් මුල් කර ගත්  ශිෂ්‍ය අරගලය ශිෂ්‍ය ව්‍යාපාරය දේශපාලන භාවිතාවක් කරා ගමන් කිරීමේ තීරණාත්මක සන්ධිස්ථානයක් විය. 1970 දශකය වෙන විට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතර දේශපාලන භාවිතාව වර්ධනය වී තිබුණු අතර, 1971 ජනතා විමුක්ති පෙරමුණේ පළමු විප්ලවීය අරගලයට සහභාගී වෙමින් ශිෂ්‍යයන් ද රාජ්‍ය මර්දනයේ ගොදුරක් වීම වැළැක්විය නොහැකි විය. 1972 දී විශ්ව විද්‍යාල ප‍්‍රමිතිකරණයට එරෙහි අරගලය හා විශ්වවිද්‍යාල සංශෝධන පනතට එරෙහි අරගලය සඳහා උතුරේ මෙන්ම දකුණේද ශිෂ්‍යයන් අඛණ්ඩ අරගලයක් ආරම්භ කළ අතර, එය ධනපති රාජ්‍ය යාන්ත‍්‍රණය බිය වද්දන්නට සමත් විය. 1976 නොවැම්බර් මස 12 වන දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මණ්ඩපාධිපතිවරයා ඉවත් කිරීමට අනධ්‍යයන සේවකයන් සිදු කළ අරගලයට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ද සම්බන්ධ වූ අතර එම අරගලයේදී පොලීසිය විසින් වෙඩි තබා රෝහණ වීරසූරිය ශිෂ්‍යයා ඝාතනය කරන ලදී. මෙම ඝාතනයෙන් පසුව ශිෂ්‍ය අරගල තවත් උත්සන්න විය. විශේෂයෙන් 1978 දී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පිහිටුවීම ශිෂ්‍ය අරගලය සඳහා ඒකරාශි වීමේ වැදගත් සාධකයක් විය. මෙම වකවානුව තුළ පැරණි වමේ ව්‍යාපාරය තුළ තිබූ දේශපාලන පීලි පැනීම් හා අගතීන් නව වාම භාවිතාවකට ශිෂ්‍ය ව්‍යාපාරය යොමු කරන ලදී. ඒ අනුව විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්වල නිල නායකත්වය ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී ශිෂ්‍ය සංගමයට හිමි විය. 

අසූව දශකයෙන් පසුව ශිෂ්‍ය අරගල 

එතැන් පටන් සෑම ශිෂ්‍ය සටනක්ම සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම සම්බන්ධ කරන්නක් විය. ඉන්පසුව අධ්‍යාපනය වෙනුවෙන් පමණක් ගෙන ගිය අරගල ඉන් නොනැවතී ජනතා අයිතීන් වෙනුවෙන් ද පැනනගින්නට පටන් ගන්නා ලදී. 

ඒ අනුව 1978 දී රජය විසින් ජනතාවගේ හාල් පොත කප්පාදු කළ අවස්ථාවේ හා 78 ව්‍යවස්ථාවට එරෙහිව විශාල අරගලයක් මහා ශිෂ්‍ය සංගමයේ ප‍්‍රධාන ලේකම් වූ ශාන්ත බණ්ඩාරගේ හා සෙසු ශිෂ්‍ය නායකයන් ගේ මූලිකත්වයෙන් සිදුකරනු ලැබීය. 1981 දී එවක පැවති රජය විසින් දැවැන්ත අධ්‍යාපන කප්පාදුවක් සිදුකරමින් අධ්‍යාපන ධවල පත‍්‍රිකාව නම් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ යෝජනාව ගෙන එනු ලැබීය. 

එයට එරෙහිව ශිෂ්‍යයන් දැවැන්ත අරගලයක් දියත් කළ අතර - ඊට අමතරව රටේ සම්පත් බහුජාතික සමාගම්වලට විකිණීම, අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිව ද දැවැන්ත අරගලයක් දියත් කරන ලදී. මෙම අරගලයන්වලදී බොහෝ ශිෂ්‍යයන්ට විවිධ වධහිංසා වලට මෙන්ම මරණයට ගොදුරු වන්නට සිදු වුවද එම සටන් ජයග‍්‍රහණයෙන් අවසන් විය.

1983 රාජ්‍ය අනුග‍්‍රහයෙන් ඇතිකළ කළු ජූලිය හා ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩ පිළිවෙළට එරෙහිව ශිෂ්‍ය ගොවි කම්කරු සාමුහිකත්වයක් ගොඩනැගුණි. 1984 වසරේදී ඉතිහාසයේ ප‍්‍රථම වරට පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ පොලිසියක් ඉදිකිරීමට එරෙහිව අරගල කළ ශිෂ්‍ය ව්‍යාපාරය රජය විසින් තුවක්කුවෙන් මර්දනය කරන්නට පියවර ගත් අතර, එම සටනේ දී පද්මසිරි අබේසේකරට පොලිසිය වෙඩි තබා ඝාතනය කරන ලදී. 

මෙසේ රාජ්‍යයේ මර්දනයට එරෙහිව ශිෂ්‍ය සටන් පැනනැඟුණු අතර, එම වසරේදීම කොළඹ විශ්වවිද්‍යාලයේ රෝහණ රත්නායකව ද පොලීසිය විසින් ඝාතනය කරන ලදී. මීට අමතර 1987 මැයි දිනය තහනම් කිරීමට විරෝධය පළකරමින් පොදු ජනතාව ගෙන ගිය සටනට ශිෂ්‍ය ව්‍යාපාරය ද සම්බන්ධ විය. එම විරෝධතා අරගලයේ දී කිත්සිරි මෙවන් රණවක ඇතුළු ලෙස්ලි නම් කම්කරුවකුව ද පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක්විය. 

තවද 1987 ඉන්දු-ලංකා ගිවිසුමට විරෝධය පළකරමින් ශිෂ්‍යයන් සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයට එල්ල කරන ලද පොලිස් වෙඩි පහරින් මොරටුව විශ්වවිද්‍යාලයේ ක්ලිෆර්ඩ් පෙරේරා හා නිමල් ලියනගේ යන ශිෂ්‍යයන් ඝාතනයට ලක් විය. මෙසේ ඝාතනය කරනු ලැබූ විරු සිසුන් වෙනුවෙන් 1988 වසරේ ජූනි මස 20 වන දින පළමු විරු සිසු සැමරුම පවත්වන ලදී. 

1988 වසරෙන් පසුව අධ්‍යාපනය පෞද්ගලිකරණය, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල, පොකුරු පාසල් ආදී වූ අධ්‍යාපනය හකුළා දමන ආණ්ඩුවේ වැඩපිළිවෙළ පරාජය කිරීමට පෙළ ගැසුණු ශිෂ්‍ය ව්‍යාපාරයේ දැවැන්තයන් මරණයට පත් වන්නේ අනාගත පරපුරට අධ්‍යාපනයේ අයිතිය ලබාදෙමිනි. විශේෂයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පද්මසිරි ත‍්‍රිමාවිතාන ශිෂ්‍යයා අමානුෂික වධබන්ධනයට ලක් කොට ඝාතනය කරන ලදී. 

ඉන් අනතුරුව ශිෂ්‍ය සටන් තවදුරටත් තීව‍්‍ර වූ අතර, ශිෂ්‍ය ව්‍යාපාරයේ නැගීම තුළ භීතියට පත් රජය ඇරඹූ සිසු දඩයම හේතුවෙන් ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයටත් පීඩිත ජනතාවටත් සැබෑ මානවවාදීන් සිය දහස් ගණනක් අහිමි කරනු ලැබිණි. 

ඒ අතර නිමල් බාලසූරිය, එස්.එම්. නිෂ්මි, රංජිතම් ගුණරත්නම්, උපාලි ජයවීර, ආනන්ද ඉඩමෙගම, වෙනුර එදිරිසිංහ, සේන මච්චාගම, ගැමුණු සෙනෙවිරත්න වැනි ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයන් මෙන්ම තවත් බොහෝ ශිෂ්‍යයන්ද, නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ නන්දන බණ්ඩාර මෙන්ම තංගල්ල මධ්‍ය මහා විද්‍යාලය, දික්වැල්ල විජිත විද්‍යාලය, ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලය වැනි පාසල්වල සිසුහුද ආණ්ඩුව විසින් ඝාතනය කරනු ලැබූහ. 

“නිදහස් අධ්‍යාපනය සුරැකීම යනු අප සතු යුතුකමක් නොව අප උර මත පැටවුණ වගකීමකි” යනුවෙන් එදා වෙනුර එදිරිසිංහ තම කපා දැමූ ඇඟිලි සහිත සුරතින් තමා රඳවා සිටි සිර කුටියේ බිත්තිය මත ලියා තැබුවේ පසුකාලීන සිසු පරපුරටද ආමන්ත‍්‍රණය කරමිනි.

ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ ජයග්‍රහණ 

2012 වසරේ දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයෙන් සියයට හයක් අධ්‍යාපනයට වෙන් කිරීම සඳහා  රජයට බල කළ විශ්වවිද්‍යාල ආචාර්ය අරගලය අවස්ථාවේ දී අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ආචාර්ය ගැටලු විසඳා සරසවි වහා විවෘත කරනු යන සටන් පාඨය යටතේ මහනුවර සිට කොළඹ දක්වා දියත් කළ පාගමනේ දී සක්‍රියව සිටි සිසු නායකයන් දෙදෙනෙකු වූ රුහුණු විශ්වවිද්‍යාලයේ සිසිත ප‍්‍රියංකර හා කැලණිය විශ්වවිද්‍යාලයේ ජානක ඒකනායක ජීවිතක්‍ෂයට පත්වූහ. 2018 වසරේදී සිසු ජන ව්‍යාපාරය මූලිකත්වය ගෙන සමස්ත ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය මෙන්ම වෘත්තීය සංවිධාන, සිවිල් සංවිධාන මෙන්ම දේශපාලන පක්‍ෂ කිහිපයක එකතුවෙන් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී අරගලය ජයග‍්‍රාහි ලෙස අවසන් කරන ලදී. 

එසේම 2022 දී ලංකාවේ ඇති වූ දරුණු ආර්ථික අර්බුදය හුදෙක් ආර්ථික අර්බුදයක් හැටියට නොව දේශපාලන අර්බුදයක් හැටියට පොදු ජනතාව තේරුම් ගන්නට විය. ඒ අනුව අති බහුතරයක් වූ ජනතාව 2022 ආර්ථික හා දේශපාලන අර්බුදය ඉදිරියේ දූෂිත පාලනයට එරෙහිව අරගලය තෝරා ගත්හ. මෙහිදී ජනතාව සංවිධානය කරමින්, අරගලය ජයග්‍රහණයේ දිශාවට හැරවීම උදෙසා ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය විසින් කැපී පෙනෙන මෙහෙයක් සිදු කරන ලදී.

නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීමේ අරමුණින් දශක හතළිහක් තිස්සේ අඛණ්ඩව අරගල කරන ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාර ඉතිහාසය ඉදිරියට පැමිණියේ පැහැර ගැනීම්, සිරගත කිරීම්, ඝාතන ආදී දැවැන්ත මර්දන මතිනි. මේ දක්වාම ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය තුළ සාහසික ලෙස මරා දැමුණු ශිෂ්‍ය නායකයින් ප්‍රමාණය 600 කට අධිකය. 

එදා සිට අද දක්වාම රට මුහුණ දෙන ආර්ථික සහ දේශපාලනික අර්බුදය හමුවේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ජනතාව සමග සිට ගනිමින් අඛණ්ඩව අරගල කරමින් සිටියි.

ශිෂ්‍යයන් ගේ ප‍්‍රශ්න වෙන්ව ගනිමින් ද, සෞඛ්‍ය ප‍්‍රශ්නය වෙන්ව ගනිමින් ද, වතුකම්කරුවන් ගේ ප‍්‍රශ්න වෙන්ව ගනිමින් ද, ජාතික ප‍්‍රශ්නය වෙන්ව ගනිමින් ද, ගොවි ප‍්‍රශ්නය වෙන්ව ගනිමින් ද, ධීවර ප‍්‍රශ්නය වෙන්ව ගනිමින් ද, සිදු කරනු ලබන වියුක්ත දේශපාලනයෙන් ඵලක් නොමැත. අධ්‍යාපනයට එල්ල කරන ප‍්‍රහාරය කම්කරු පීඩිත මහජනතාවට එල්ල කරන සමස්ත ප‍්‍රහාරයේ කොටසකි. 

එය තේරුම් ගෙන අරගලය සිදුකළ යුතුය. ඒ අනුව ශිෂ්‍ය ව්‍යාපාරය වඩ වඩාත් බලය වෙත යා යුතුය. එනම් අන් කිසිවක් නොව අධ්‍යාපනයේ අයිතිය අනුලංඝනීය මිනිස් අයිතියක් නිසා සෑම මිනිසෙකුටම එය නොමිලේ ලැබිය යුතුය යන අදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සමාජගත කිරීමය. අරගල කිරීමට පෙර අරගලවල ස්වභාවය හඳුනා ගත යුතුය. මනුෂ්‍යත්වයේ දේශපාලනය සොයා ගත යුතුය. ඉතිහාසයේ දිවි පුද කළ සිසු විරුවන්ට සාධාරණත්වය ඉෂ්ට කළ හැක්කේ එවැනි අරගලයකින් පමණි.

එම්. තාරික්