ලීසිං සීසර්ලාට බිලිවූ ජාලිය


 

කල් බදු ගෙවීම් ක්‍රමය යටතේ ලබාගත් වාහනයේ ගෙවීම් සම්බන්ධයෙන් කල්බදු වාහන ලබාදෙන සමාගමත් වාහනයේ හිමිකරුත් අතර ඇති වූ මතභේදයක් හේතුවෙන් එය නැවත පැහැරගෙන යෑමට පැමිණි පිරිසත් හිමිකරුත් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් වාහනයේ හිමිකරු මිය යාමේ ශෝකජනක සිද්ධියක් ඉකුත් දා වත්තේගම පොලිස් වසමේ පොල්ගොල්ල, මීගම්මන වත්ත ප්‍රදේශයෙන් වාර්තා විය.   

 

එසේ එම සිද්ධියෙන් මියගියේ ජාලිය පරාක්‍රම නමැති තිස් පස් හැවිරිදි අවිවාහක ව්‍යාපාරිකයෙකි. 

 
සිමෙන්ති බ්ලොග් ගල් ව්‍යාපාරයක් කරගෙන ගිය ජාලිය තම ව්‍යාපාරයේ වැඩි දියුණුව සඳහා කල්බදු ගෙවීමේ ක්‍රමය යටතේ ටිපර් රථයක් ලබාගෙන තිබුණේ එවැනි පහසුකම් සපයන ෆිනෑන්ස් ආයතනයකිනි. කෙසේ නමුත් ඉකුත් කොවිඩ් සමයේ ව්‍යාපාර කටයුතු අඩාළ වූ බැවින් කල්බදු සමාගමත් ජාලිය පරාක්‍රමත් අතර තිබූ ගිවිසුම් කොන්දේසි කඩ වී තිබුණි.   


දෙපාර්ශවය අතර මතභේදය දිනෙන් දින ඔඩු දුවද්දී කල්බදු සමාගමත් ජාලියත් අතර තිබූ හොඳ හිත ක්‍රමක්‍රමයෙන් දුරස් ​ෙවන්නට විය.   


ටිපර් රථයේ ගනුදෙනුව සම්බන්ධයෙන් සාකච්ඡා කර ගැනීම සඳහා අදාළ කල්බදු සමාගමේ කාර්යාලය වෙත මීට දින කිහිපයකට පෙර ගියත් විසඳුමකින් තොරව එම සාකච්ඡා නිමා වී තිබේ.   
වාහනය සම්බන්ධ ගනුදෙනු ප්‍රශ්නය එසේ දිනෙන් දින රත්වෙමින් තිබියදී ජාලිය පරාක්‍රම ඉකුත් සිකුරාදා (17) යටිවාවල ප්‍රදේශයේ දන්නා හඳුනන ඉන්ධන පිරවුම් හලකට ගොස් ඉන්ධන ලබාගෙන ආපසු නිවසට පැමිණ ඇත්තේ මධ්‍යම රාත්‍රී 12.30 ට පමණය. පසුදින අලු‍යම 3.00 ට ටිපර් රථයෙන් කුලී ගමනක් යාමට තිබූ බැවින් ඔහුගේ නිවස අසල රථය නවතා පැය කිහිපයක් හෝ නිදා ගැනීමේ අරමුණෙන් නින්දට වැටුණි.   


එහෙත් ඒ වන විට ජාලියගේ මාරයාගේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙමින් තිබුණි. පාන්දර 2.00 ​ෙවනවාත් සමඟ ජාලියට නින්දෙන් මෙන් ඇසුණේ ටිපර් රථය පණගන්වන ශබ්දයයි. ජාලිය ඒ මොහොතේම ඇඳෙන් බිමට පැන්නේ තාත්තේ ටිපර් රථය ගෙනියන්න සීසර්ලා ඇවිල්ලා කියාගෙනයි. ඒ ​ෙවන විට මිදුලේ ටිපර් රථය නොතිබුණත් නිවසට තරමක් දුරින් ටිපර් රථය ධාවනය ​ෙවන බව දුටු ජාලිය රථය පසුපස දුව ගොස් ටිපර් රථයේ එල්ලෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.  


සීසර්ලා කියන්නේ ලීසිං වාරික එක දිගටම නොගෙවන රථ වාහන හිමියන්ගේ වාහන පැහැර ගෙන යෑම සඳහා ලීසිං සමාගම් විසින් යොදවා ගනු ලබන කුලීකරුවන් පිරිසකි. වාහනය රැගෙන යෑම සඳහා ලීසිං සමාගම සතුව ඇති අමතර යතුර ඔවුන් යොදාගනියි. කෙසේ නමුත් ටිපර් රථය සොයා නිවසේ සිට පැමිණි ජාලියගේ පියා නිමල් පරාක්‍රම දැක ඇත්තේ නිවසේ සිට මීටර 350 ක් පමණ දුරකින් ජාලිය මහ පාරේ වැටී සිටින අයුරුයි. ඒ මොහොතේම ජාලිය කටුගස්තොට රෝහලට රැගෙන ගියත් ඔහු මිය ගොස් ඇති බව රෝහල් බලධාරීන් පවසා තිබේ.   


සිද්ධිය සම්බන්ධයෙන් ජාලිය පරාක්‍රමගේ පියා නිමල් පරාක්‍රම පැවසුවේ මෙවැනි කතාවකි. මේ ටිපර් එකේ ලීසින් ප්‍රශ්නය නිසා මීට පෙර මටත් සීසර්ලා ප්‍රහාරයක් එල්ල කළා. එයින් මගේ දකුණු ඇසට බරපතළ තුවාල සිද්ධ වුණා. එම සිද්ධිය පොලිසි උසාවිය දක්වා ගියාම ලීසිං සමාගම ටිපර් රථය ආපසු දීලා නඩුව අයින් කරගන්න කිව්වා. ප්‍රශ්නය විසඳා ගන්න පුතා මීට දින කිහිපයකට පෙර ලීසිං සමාගමට ගියා. නමුත් ඔවුන් පුතා සමඟ එකඟතාවකට පැමිණ නැහැ. ලක්ෂ 40 ක් ගෙවන්න තියෙන හිඟ මුදලට ඔවුන් ලක්ෂ 65 ක් ඉල්ලා තිබෙනවා. පුතා ඊට එකඟ වී නැහැ. පසුව ඔවුන් පුතාට පවසා තිබෙනවා තමුසේ ඕකට යට කරල හරි අපි ටිපර් රථය ආපසු ගෙනියනවා කියලා. අන්තිමටම මගේ පුතා නැති වුණ එක විතරයි වුණේ යැයි පැවසීය.   
මෙම සිද්ධියට විරෝධය පා සමස්ත ලංකා ලීසින් සහ ණය වාරික ගෙවන්නන්ගේ සංගමය විසින් අදාළ ලීසිං සමාගම ඉදිරිපිට දී විරෝධතාවයක් පැවැත්වූ අතර එහිදී එම සංගමයේ කැඳවුම්කරු සංජය මහවත්ත පවසා සිටියේ මිනිසුන්ගේ ජීවිත අහිමි කරන, දේපල අහිමි කරන ලීසිං පනත රජය විසින් තවදුරටත් ක්‍රියාත්මක කරන බවත් එහි අනිටු ප්‍රතිඵලයක් ලෙස ජාලිය පරාක්‍රමගේ ජීවිතය අද බිළිගෙන තිබෙන බවත්ය. මිනිසුන්ගේ දේපොළ හා ජීවිත අහිමි කරන මෙවැනි කුරිරු පනත් අහෝසි කිරීමට ජනාධිපතිවරයාත් මුදල් අමාත්‍යවරයාත් වහාම පියවර ගත යුතු බවද ඔහු පැවැසීය.   


මෙම සිද්ධියට සැකපිට මේ වන විට පුද්ගලයන් තිදෙනෙකු වත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට අදාළ ලීසිං සමාගමේ කළමනාකාරවරයාද ඇතුළත්ය. ලීසිං සමාගම විසින් පැහැරගෙන ගිය රථයද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සාහසිකයන් පැමිණි වාහනයක් සහ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන සිදුකරයි. සීසර්ලා පැමිණි රථයට යටකොට ව්‍යාපාරිකයා ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.   


තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.ඩී. පලිහවඩන, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති රණවීර යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත ඉලංගන්සේකර මහතාගේ මෙහෙයවීමෙන් එහි අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත ජයසේකර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.

 

සටහන
අජිත්ලාල් ශාන්තඋදය