ලංකාවේ සිදුවන්නේ හයිටි රාජ්‍යයේ සිදුවූ දෙයමද ?


 

  • ඇමරිකාව මැදිහත් වී සශ්‍රීක  හයිටිය හිඟන රටක් බවට පත් කළා 
  • පත් වූ සියලුම පාලකයන් රටේ සම්පත් කොල්ලකෑවා 

 මේ ​​වෙන විට ශ්‍රී ලංකාව සිටින්නේ බොහෝ අනතුරුදායක තත්ත්වයකය. එක් පසෙකින් විසඳාගත නොහැකි ආර්ථික අර්බුදයකය. ආර්ථික අර්බුදයට දේශපාලකයන්ට විසඳුම් නැතැයි අත්දැකීම් ඔස්සේ විශ්වාසකරන ජනතාව දේශපාලක බලවතුන්ට ඉවත්වන ලෙසට බලපෑම් කරමින් අරගලයකට අවතීර්ණ වී ඇත. ඒ අතර ඉහත තත්ත්වයන්ට විසඳුම් සොයනවා වෙනුවට දේශපාලකයන් විසින් ඔවුන්ම අර්බුදයක් නිර්මාණය කරගනිමින් දේශපාන අර්බුදයකටද රට ගෙන ගොස් ඇත. මෙම තත්ත්වය ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට නම් කොහෙත්ම ගැලපෙන්නේ නැත. මෙවැනි විසඳුම් නැති මඩගොහොරුවක එරී සිටින ශ්‍රී ලංකාව ඉදිරියේ කුමන තත්ත්වයකට පත්වේදැයි සිතාගන්නටවත් නොහැකි තත්ත්වයක පවතියි.   

ධනවත් හා බලවත් රටවලින් ආධාර පැතීමේ දී දෙවරක් නොව තෙවරක්ම සිතිය යුතුය. එසේ නොවුණහොත් ශ්‍රී ලංකාවට සිදු​ෙවන්නේ ද ඉහත දැක්වූ අනෙක් රටවලට අත්වූ ඉරණමටම මුහුණ දීමටය. එසේ විනාශ වූ රටකි හයිටි රාජ්‍යය. හයිටි රාජ්‍යය දීර්ඝ ඉතිහාසයක් ඇති රටකි.   


උතුරු අත්ලාන්තික් සාගරයේ කැරිබියන් මුහුදේ ඇන්ටිලස් දූපත් සමූහයට අයත්ව කියුබාවට නැගෙනහිරින් පිහිටා ඇති ඩොමිනිකාවට භූමියෙන් සම්බන්ධ වුණු ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති දූපත් රාජ්‍යයක් ලෙස හයිටි රාජ්‍යය හඳුන්වාදිය හැක. මෙහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 27,750 ක. මිලියන 11 පමණ ජනතාවක් හයිටි රාජ්‍යයේ වෙසෙති. හයිටියේ ස්වදේශික ජනතාව හඳුන්වනු ලබන්නේ ටයිනෝ නමි. මෙහි 95%ක ජනතාව කළු ජාතිකයන්ය. 5% ක සුදු හා මුලාටෝ ජාතිකයන්ය. රටේ බහුතර ජනතාව කතෝලික ආගම අදහනු ලබයි.   
හයිටිය යනු මේවනවිට බලවත් ලෙස දරිද්‍රතාවයෙන් මිරිකී සිටින රාජ්‍යයකි. මෙම රාජ්‍යය අද ​ලෝකය හඳුන්වනු ලබන්නේ ලොව ජීවත්වනු තබා සංචාරය කිරීමටත් සුදුසු නැති රාජ්‍යයන් අතරින් එකක් ලෙසය සශ්‍රීක රාජ්‍යයක් වූ මෙම රටට මෙවන් විපතක් සිදුවූයේ එහි සිටි අදූරදර්ශී පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසාය.   


හයිටි රාජ්‍යය පිළිබඳව පළමු වාර්තාව හමුවන්නේ 1492 වර්ෂය පමණ ඈත වකවානුවකය. ලෝක ප්‍රකට දේශ ගවේෂකයෙකු වන ක්‍රිස්ටෝපර් කොලොම්බස් සිය දේශ සංචාරවල දී හයිටි රාජ්‍යයට ගොඩ බැස ඇත. ඔහු මෙහි ගොඩබැස්ස පසු සිතා සිටින්නේ ඔහු ගොඩ බැස සිටින්නේ ඉන්දියාවට හෝ චීනයට බවය. ඔහු මෙම රාජ්‍යය ස්පාඤ්ඤ අධිරාජ්‍යයාගේ නමින් නම් කරන ලදී. 17 වැනි සියවස තෙක්ම මෙම රාජ්‍යය ස්පාඤ්ඤ අධිරාජ්‍යයට අයත්ව පැවැතුනි. ස්පාඤ්ඤ පාලකයන් කැරිබියන් දූපත් ආශ්‍රිතව විශාල ජනසංහාරයක් සිදුකළ අතර ස්වදේශිකයන් මිලියන ගණනක් එහි දී විනාශ විය.   


අවසානයේ එහි ඉතිරිවූයේ සැඟව සිටින කණ්ඩායම් කිහිපයක් පමණය. 17 වැනි සියවසේ මුල් භාගයේ ප්‍රංශ ජාතිකයන් මෙම දිවයිනට ගොඩබැස ඇති අතර ඔවුන් එහි කොටසක් සිය භාරයට නතුකරගෙන ඇත. හයිටි භූමිය ලෙස සැලකෙන්නේ ඔවුන් එසේ අල්ලාගත් ප්‍රදේශයයි. 1756 සිට 1763 කාලයේ ප්‍රංශය කැරිබියන් කලාපයේ ස්පාඤ්ඤය භාරයේ තිබූ දූපත් අල්ලා ගැනීම සඳහා දැවැන්ත සටනක් දියත් කළේය. මේ වකවානුවේ ප්‍රංශය විසින් හයිටිය සම්පූර්ණයෙන් තම භාරයට ගන්නා ලදී. එය එතෙක් පැවැතුනේ ස්පාඤ්ඤ කොලනියක් ලෙසය. ඉන්පසුව එය ප්‍රංශ කොලනියක් බවට පත්විය. සීනි සහ කෝපි නිෂ්පාදනය සඳහා සරුසාර භූමියක් ලෙස හඳුනාගත් ප්‍රංශ ජාතිකයින් එහි වගාබිම් ආරම්භ කිරීමට පටන් ගත්තේය. මෙම වකවානුවේ හයිටි රාජ්‍යය කැරිබියන් කලාපයේ මුතු ඇටය ලෙස හඳුන්වන ලදී.   


ප්‍රංශ පාලකයන් තම වගාබිම් සඳහා කම්කරුවන් ලෙස ඔවුන් අල්ලාගත් අප්‍රිකානු රාජ්‍යවලින් වහලුන් හයිටිය වෙත ගෙන එන ලදී. එම ප්‍රමාණය 790,000 කට ආසන්න බව සඳහන් වේ. මෙම වහලුන් ඉතා අඩු පහසුකම් යටතේ විශාල දුක් කන්දරාවක් විඳිමින් ප්‍රංශ වතු ඉඩම්වල වැඩ කටයුතු කළත් පසුව ප්‍රංශ පාලනයට එරෙහිවී ප්‍රංශ පාලකයන්ට පහරදී ඔවුන්ගේ නිදහස වෙනුවෙන් සටන් කර ඇත. 1792 වර්ෂයේ දී මෙම නැඟිටීම සිදුවී ඇත. මෙම නිදහස් අරගලයෙන් වහලුන් ලෙස සිටි අප්‍රිකානුවන් බොහෝ දෙනෙක් මියගොස් ඇත. එමෙන්ම ප්‍රංශ ආක්‍රමණිකයන්ටත් විශාල හානියක් සිදුවී ඇත. මෙහි වඩාත්ම වැදගත් කාරණය වන්නේ මෙම සටන්වලට නායකත්වය ලබා දුන්නේ වහලෙක් ලෙස සිට පසුව ප්‍රංශ හමුදාවට එක්ව නිලතල පවා හෙබවූ Toussaint Louverture හමුදා නායකයා වීමයි. මේ අනුව ස්වදේශිකයන් හා අප්‍රිකානු වහලුන් එක්ව හයිටිය නිදහස් කරගැනීමට සමත්වූ අතර විප්ලවයක් මගින් ආක්‍රමණිකයින් පලවා හැර වහලුන් රාජ්‍ය බල ලබාගත් පළමු රට බවට ඉතිහාසයේ රන් අකුරින් සිය නම සටහන් කර ගැනීමට හයිටිය සමත්විය.   


මේ අතර 1798 හා 1799 වකවානුවේ ප්‍රංශ විප්ලවය පටන් ගත්තේය. එහිදී ප්‍රංශයේ රදල පාලනය බිඳ දමමින් නැපෝලියන් බොනපාට් රාජ්‍ය බලය අත්පත් කරගන්නා ලදී. මෙම අවස්ථාවේ නැපෝලියන් වහලුන් සම්බන්ධයෙන් හා වහල්භාවය කෙරෙහි සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැයි වහල් ජනතාව බලාපොරොත්තු වුවත් ඔහු සිදුකළේත් හයිටිය ඇතුළු ප්‍රංශ ආධිපත්‍යයෙන් මිදුණු කැරිබියානු රාජ්‍යය නැවත අල්ලා ගැනීම සඳහා සිය හමුදා යොමුකර ලීමයි. මෙම හමුදා සහ හයිටි ජනතාව අතර නැවත ගැටුම් ඇතිවූ අතර මෙම ගැටුම් ඉතා ම්ලේච්ඡ ස්වභාවයක් ගන්නා ලදී. ප්‍රංශ හමුදා සිරකරුවන් ලෙස අල්ලාගත් හයිටි සිරකරුවන් පණපිටින් වැළලූ බවද සඳහන් වේ. කෙසේ නමුත් 1803 නොවැම්බර් මාසයේදී ප්‍රංශ හමුදාව සම්පූර්ණයෙන් විනාශ කර හයිටියට නැවතත් නිදහස උදාකර ගැනීමට හයිටි ජනතාව සමත් වූහ. හයිටිය 1804 දී ආක්‍රමණිකයන්ගෙන් රාජ්‍ය නිදහස් කරගත් වර්ෂය ලෙස සඳහන් වේ. 1825 අප්‍රේල් 17 දින හයිටිය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. මෙතැන් පටන් හයිටිය ස්වදේශික පාලකයන් යටතේ පාලනය වූ අතර මෙම වකවානුවේ හයිටි රාජ්‍යය විශාල දියුණුවකට පත්විය. එමෙන්ම ජනජීවිතය ඉතාමත් ඉහළ මට්ටමකට පත්විය. එම වකවානුවේ හයිටිය සීනි හා රම් නිශ්පාදනය අතින් ඉහළ මට්ටමකට පත්විය. 1911 වකවානුව ව තෙක් හයිටිය ජාත්‍යන්තරය සම්බන්ධකර ගනිමින් ඉතාමත් ශක්තිමත් රාජ්‍යයක් ලෙස පැවැතුණි. ජනතාවට යහමින් මිල මුදල් තිබුණු අතර හයිටියට වහලුන් ලෙස පැමිණි අප්‍රිකානුවන් මෙන්ම ස්වදේශිකයින් ද වෙළෙඳ නාවිකයන් බවට පත්වෙමින් ලොව පුරා සිය නිෂ්පාදන බෙදා හැරීමේ කටයුතුවල යෙදී සිටියහ.   

 


මෙසේ දියුණු රාජ්‍යයක් ලෙස පැවැති හයිටියට අඳුරු සෙවණැලි වැටීමට පටන් ගනු ලැබුවේ මෙම අවදියේය. සෑම රාජ්‍ය නායකත්වයකම අඩුපාඩු තිබෙනවා මෙන්ම හයිටි පාලකයන්ගේත් අඩුපාඩු රැසක් තිබුණි. රටේ ආර්ථිකයෙන් 80% පමණ 200 ක් තරම් වූ කුඩා ජර්මානු පවුල් අතර බෙදී තිබීම ඉන් ප්‍රධානතම කාරණාවක් විය. මේ අතර ආණ්ඩු බලය ලබා ගැනීමට විවිධ කණ්ඩායම් විවිධ ආකාරයේ කුමන්ත්‍රණ සිදුකරනු ලැබීම හේතුවෙන් 1911 සිට 1915 දක්වා කාලය තුළ ජනාධිපතිවරුන් 6 දෙනෙකු පත්කර ගැනීමට හයිටි ජනතාවට සිදුවිය. මෙම සිදුවීම් පසුපස සිට අදිසි හස්තය වූයේ ඇමරිකා එක්සත් ජනපදයයි. හයිටියේ පරිහානිය ක්‍රමයෙන් ආරම්භ වූයේ මෙම ඇමරිකන් අතපෙවීම් සමගය. එක්සත් ජනපදයේ අදිසි හස්තය හයිටි පාලනයට විවිධ බලපෑම් කිරීම දිගින් දිගටම සිදකළ අතර හයිටිය යනු ඉල්ලමක් බව ඔවුහු වටහාගෙන සිටියහ. මේ අතර 1957 සිට 1986 දක්වා කාලයේ දී මෙම රාජ්‍යය ‘‘පපා ඩොක්’’ සහ ‘‘බේබි ඩොක්’’ නම් නාමයන්වලින් හඳුන්වන ඩුව්ලියර් නම් පවුලේ ආඥාදායක පිය පුතු යුවලක් විසින් පාලනය කළ අතර, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔවුන් ඇමරිකන් ගැත්තන් වීම හේතුවෙන් රටේ අර්බුද තව තවත් වැඩි විය. රටේ රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කරමින් ඔවුන් ඇමරිකානුවන්ට හයිටිය තුළ ඇති සම්පත් කොල්ලකෑමට මාර්ගය සාදා දුන්නේ හයිටි ජනතාවට නැවත කල්ප කාලාන්තරයකට බේරාගත නොහැකි ශාපයකට ගොදුරු කරමිනි. මෙම පිය පුතු යුවල හිතේ හැටියට රාජ්‍ය සම්පත් කොල්ලකෑ අතර ශ්‍රී ලංකාවේ සිදුවුණු මහා බැංකු කොල්ලය හා සමාන ලෙස හයිටි මහ බැංකුව ද කොල්ලකනු ලැබීය. දිනෙන් දින පරිහානියට පත් වූ රාජ්‍යය ගොඩ ගැනීමට නොහැකිව හයිටිය ලෝකයටම විශාල ණයකාරයෙක් වූයේ මෙම වකවානුවේදීය. මෙම පිය පුතු යුවලගෙන් පසු පැමිණි සෑම නායකයෙක්ම ඇමරිකානු ගැත්තෙක් වුණු අතර ඇමරිකාව හයිටියේ පාලන තන්ත්‍රය පූර්ණ ලෙස තම ග්‍රහණයට නතු කරගන්නා ලදී. එක්සත් ජනපදයට හයිටිය මෙතරම් වටිනා රාජ්‍යයක් බවට පත්වුණ තවත් හේතුවක් විය. ඒ හයිටිය සතුව තිබූ ටයිටේනියම් නිධිය. එමෙන්ම ඉතාමත් සශ්‍රීක භූමියක් වූ හයිටිය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 13 ක් වටිනා ඛනිජ නිස්සාරණය කරනු ලැබීය. කැල්සියම් කාබනේට්, තඹ, රත්‍රන්, බොක්සයිට් හා කිරිගරුඬ හයිටි පොළොවේ බහුලව ඇත.   

 

ප්‍රංශ පාලකයන් තම වගාබිම් සඳහා කම්කරුවන් ලෙස ඔවුන් අල්ලාගත් අප්‍රිකානු රාජ්‍යවලින් වහලුන් හයිටිය වෙත ගෙන එන ලදී. එම ප්‍රමාණය 790,000 කට ආසන්න බව සඳහන් වේ. මෙම වහලුන් ඉතා අඩු පහසුකම් යටතේ විශාල දුක් කන්දරාවක් විඳිමින් ප්‍රංශ වතු ඉඩම්වල වැඩ කටයුතු කළත් පසුව ප්‍රංශ පාලනයට එරෙහිවී ප්‍රංශ පාලකයන්ට පහරධී ඔවුන්ගේ නිදහස වෙනුවෙන් සටන් කර ඇත. 1792 වර්ෂයේ දී මෙම නැඟිටීම සිදුවී ඇත. මෙම නිදහස් අරගලයෙන් වහලුන් ලෙස සිටි අප්‍රිකානුවන් බොහෝ දෙනෙක් මියගොස් ඇත. එමෙන්ම ප්‍රංශ ආක්‍රමණිකයන්ටත් විශාල හානියක් සිදුවී ඇත. මෙහි වඩාත්ම වැදගත් කාරණය වන්නේ මෙම සටන්වලට නායකත්වය ලබා දුන්නේ වහලෙක් ලෙස සිට පසුව ප්‍රංශ හමුදාවට එක්ව නිලතල පවා හෙබවූ Toussaint Louverture හමුදා නායකයා වීමයි.


ඇමරිකාව මුලින්ම හයිටිය ආක්‍රමණය කරනු ලබන්නේ 1991 වර්ෂයේදීය. ඒ එවකට හයිටියේ සිටි සන්නද්ධ හමුදාපති ජින් බර්ට්‍රන් ඇරිස්ටයිඩ් බලයෙන් පහකිරීමට මැදිහත්වූ අවස්ථාවේදීය. ඇමරිකාව සිය ත්‍රිවිධ හමුදාව මෙන්ම වෙරළ ආරක්ෂක හමුදාව පවා හයිටියට ඇතුල් කරනු ලැබීය. මෙම අරගලය අතරතුර හයිටි සාමාන්‍ය වැසියන් 300 කට අධික පිරිසක් මියගිය අතර ඇමරිකාව හයිටිය හඳුන්වාදෙනු ලැබුවේ මානව හිමිකම් කඩවන දූෂිත රාජ්‍යයක් ලෙසය. නැවත ඇමරිකාව තමන්ට හිතැති නායකයන් හයිටියේ පාලන තන්ත්‍රයට ඇතුළත් කළ අතර එහි බලපෑම් කොතරම් දරුණුවීද යත් 2001 වසරේ ජනතා ඡන්දයෙන් නැවත බලයට පැමිණි ඇරිස්ටයිඩ්ව ධුරයෙන් ඉවත් කිරීමට පවා ඇමරිකාව මැදහත්විය. ඇමරිකානු එක්සත් ජනපදයේ රූකඩ බවට පත්වුන හයිටියේ පාලකයන්ට ලෝක බැංකුවෙන් හා අයි.එම්.එෆ්. සංවිධානයෙන් දිගින් දිගටම ණය ලබාදුන් අතර ඇමරිකාව එයට මැදිහත් විය. හයිටියේ විශාලම ණය හිමිකරුවා වන ඇමරිකාව හයිටියට ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න ප්‍රමාණයක ණය ප්‍රමාණයක් මේවනවිට ලබාදී තිබෙන බව සඳහන්ය. ඇමරිකාව මෙලෙස ගරාවැටෙන රාජ්‍යයකට අනුකම්පාව දැක්වීම ගෝලීය වශයෙන් වඩාත් කතාබහට ලක්වූ අතර ඔවුන් හයිටිය ක්‍රමයෙන් සූරා කනබවට ජාත්‍යන්තර මාධ්‍ය දිගින් දිගටම චෝදනා කරනු ලැබීය. මෙහි සැබෑ ස්වරූපය දැක ගැනීමට හැකිවූයේ 2004 වර්ෂයේය.   


ඇමරිකාව හයිටියේ ඛනිජ නිධිවල මෙහෙයුම් කටයුතුවලට ඍජුව මැදිහත් වීමට සූදානම් වූ නමුත් හයිටි ජනතාව වරක් එයට විරුද්ධ විය. මේ නිසාම එම සැලැස්ම හකුලාගත් ඇමරිකාව ඊට වඩා සූක්ෂම ලෙස හයිටියට සේන්දුවීමට මාන බැලීය. ශ්‍රී ලංකාවට ඇමරිකාව ලබාදීමට සැරසුණු MCC ගිවිසුම හා සමාන සැලැස්මක් හයිටියට ඔවුන් ප්‍රදානය කළේ ඒ අනුවය. මේ හරහා ඔවුන් හයිටියේ ආර්ථික, සාමාජීය, දේශපාලන මෙන්ම නීතිමය කාරණා සඳහාද ආධාර ලබාදුන් අතර නව සංස්කෘතියක් ගොඩනැගීම තුළින් තාරුණ්‍ය නව්‍යකරණයකට ලක් කිරිමට ඔවුන් සැලැස්මක් ගෙන එනු ලැබීය. එයට තම ඉත්තන් වූ හයිටියේ පාලකයන් සූක්ෂමව යොදාගත් ඔවුන් හයිටියේ සංස්කෘතිය සම්පූර්ණයෙන් වෙනස් කිරීමට මැදිහත් විය. හයිටිය පාලනය කළ අදූරදර්ශී නායකයන් මෙම ප්‍රතිපත්ති හරහා හයිටියට සිදුකළ හානිය සුළුපටු නොවේ. ඔවුන් කාන්තාවන්ට මත්පැන් භාවිතය සඳහා හයිටියේ තිබූ තහනම ඉවත්කරන ලදී. පාසල් දරුවන්ට අනිවාර්ය කරතිබූ නිල ඇඳුමද ඉවත් කළ අතර පාසල් යාම අනිවාර්ය නොවන බවට නීති වෙනස් කරනු ලැබීය. දුම්වැටි භාවිතය නව කලාවක් ලෙස නැත්නම් ට්‍රෙන්ඩ් එකක් බවට ප්‍රචලිත කළ ඔවුන් මත්ද්‍රව්‍ය හා දුම්වැටි මිල ගණන් විශාල වශයෙන් පහත හෙළනු ලැබීය. රට තුළ ගණිකා නිවාස නීතිගතවූ අතර දරුවන්ට දඬුවම් කිරීම තහනමට ලක්කිරීමට කටයුතු කරනු ලැබීය. දරුවන්ට දඬුවම් කළ ගුරුවරුන් නීතිය හමුවට ගෙන ඒමට හැකිවන නීති පවා ඔවුන් නිර්මාණය කළ අතර ආර්ථීකය නගා සිටුවීමට හයිටිය තුළ කිසිසේත් කටයුතු කළේ නැත. මේ අතර රටේ නිෂ්පාදනය සම්පූර්ණයෙන් කඩා වැටුණු අතර සීනිවලින් ස්වයං පෝෂිත දේශයක් වුණ හයිටිය ඇමරිකාවෙන් සීනි ආනයනය කරන රාජ්‍යයක් බවට අවසානයේ පත්විය. වසර 400 කට අධික ජනප්‍රිය ඉතිහාසය තුළ හාල් ඇටයක් පිටරටින් ආනයනය නොකළ හයිටිය අවසානයේ හාල් පවා රටින් ගෙන්වන තත්ත්වයකට පත්වෙයි. අදටත් එක්සත් ජනපදය සිය නිෂ්පාදන වැඩියෙන්ම අලෙවිකරන රටවල් 10 අතර හයිටිය සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. 

 

 
මේ අතර රාජ්‍ය පාලකයන් හැකි සෑම තැනකින්ම සොරකම් කළ අතර සීමිත ධනවතුන් පිරිසක් අතරේ රටේ ආදායම බෙදී යන තත්ත්වයක් ඇතිවිය. ඔවුන් අසීමිතව ධනවත් වූ අතර රටේ ජනතාවගෙන් 82% කට ආසන්න ජනතාවක් උග්‍ර දරිද්‍රතාවයෙන් පීඩා විඳින පිරිසක් බවට පත්විය. තම නිෂ්පාදන විකුණාගත නොහැකිව ගොවීන් වස පානය කළ බව වාර්තාවේ. මේ අතර රජය පාසල් දරුවන්ට ටැබ් ලබාදුන් අතර අන්තර්ජල පහසුකම් වැඩිදියුණු කරනු ලැබීය. ඇමරිකාව අනුග්‍රහයෙන් සිදූවූ මෙම ක්‍රියාදාමය පිටුපස ඉතා භයානක මෙහෙයුමක් ක්‍රියාත්මක විය. ඒ අනුව පාසැල් දරු දැරියන් අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීමට හුරුවූ අතර ලැබී ඇති අසීමිත නිදහස හමුවේ පාසල් දරුවන් ගණිකා නිවාසවලට යාම විශාල ලෙස වැඩිවිය. අඩු වයසින් ගණිකාවන් බවට පත්වන කාන්තාවන්ගේ ප්‍රමාණය රට තුළ විශාල ලෙස ඉහළ යන ලදී. නිරුවතන් ගණිකාවන් සිටින වීදි පවා හයිටියේ නිර්මාණය විය. වහල් භාවයෙන් මිදීමට විශාල අරගලයක් කර ජයග්‍රහණය කර ලොව පළමු රාජ්‍ය බවට පත්වූ අභිමානවත් ඉතිහාසයක් ඇති හයිටිය එදා කැරිබියන් කලාපයේ මුතු ඇටය ලෙස හැඳින්වුවත් එය අද හඳුන්වනු ලබන්නේ ‘‘කැරිබියන් දේශයේ ගණිකා මඩම’’ ලෙසය. මේ අතර වරින්වර ඇතිවන රාජ්‍ය විරෝධී ගැටුම් මර්දනයට ලෝක සාම සාධක හමුදාවන් හයිටයට ගෙන ඒමට බටහිර රටවල් කටයුතු කරන ලදී. ලාංකික හමුදාවත් එහි සාමසාධක මෙහෙයුම් සඳහා සහභාගී විය. නමුත් මෙයින් සිදුවූයේ හයිටිය තුළ ස්ත්‍රී දූෂණ පමණක් නොව ළමා අපචාර පවා සීග්‍රයෙන් වැඩිවීමය.   
අද වනවිට හයිටියේ නිෂ්පාදනය සම්පූර්ණයෙන් කඩා වැටී ඇති අතර සියලු දේ රැගෙන එනු ලබන්නේ ඇමරිකාව ඇතුළු බටහිර රටවලින්ය. දරිද්‍රතාවයේ උච්චතම මට්ටමත් පසුකර ඇති ඔවුන්ගේ සමස්ත ජනගහනයෙන් 65% ක් දිනකට ඩොලර් දෙකකට වඩා අඩු ආදායම් උපයන්නන් බවට පත්වී ඇත. මන්දපෝෂණය ග්‍රාමීයව බහුලව හමුවන රෝගයක් බවට මේ වනවිට පත්ව ඇත. රාජ්‍ය අනුග්‍රහයක් නොලැබෙන නිසා රටපුරා වගාබිම් එකින් එක වල් වැදෙන අතර දැව සඳහා බහුලව වන විනාශ්‍ය සිදුවෙමින් පවතී. කුසට අහරක් ලබාගත නොහැකි ජනතාව මැටි, මාගරීන් සමග මිශ්‍රකර මැටි රොටී තනා ආහාරයට ගන්නා බවද වාර්තාවේ. හාල් සේරුවක් ලබා දෙන්නේ නම් ඕනෑම පුරුෂයෙක් සමග යහන්ගත​ෙවන්නට කැමැති කාන්තාවන් හයිටියේ සොයාගත හැකි බව ද විදේශ මාධ්‍ය වාර්තා කර ඇත. බහු ජාතික සමාගම් විසින් මෙහෙයවන පතල් නිසා අදවනවිට රටේ සමස්ත ජල ප්‍රභවයන්ගෙන 75%ක් පමණ පූර්ණ ලෙස දූෂණය වී ඈත.   


අද වනවිට හයිටිය ජීවත්වීමට තබා සංචාරය කිරීමට පවා නුසුදුසු රටක් ලෙසයි හඳුන්වනු ලබන්නේ. ඉතාමක් සශ්‍රීක භූමියක්ව පැවැති මේ රාජ්‍ය අද මේ පවතින තත්ත්වයට ඇද දැමුවේ බටහිර රටවල සිට ක්‍රියාත්මකවූ බලලෝභී බළල් හස්තයන් හා ඒවායේ රූකඩ බවට පත්වූ රාජ්‍ය පාලකයන් විසින්ය. හයිටියේ සිටි සෑම නායකයෙකුම සිය අවශ්‍යතා සඳහා සොරකම් කළා හැර රාජ්‍ය සංවර්ධනය නොකළ බව සඳහන් වේ.   
මේ වනවිට හයිටිය තුළ බටහිර අතපෙවීම්වලට එරෙහිව හඬනගන තරුණ රැල්ලක් එහි නිර්මාණය වී ඇත. එහෙත් හයිටිය ඇද වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට තව කල්ප කාලාන්තරයකටවත් නොහැකිවනු ඇතැයි විදේශ මාධ්‍යයන් වාර්තා කර සිටී.  


මේ අනුව බලන කල මේ වනවිටත් මෙයට ඉහතත් ලංකාව තුළද  සිදුවෙමින් පවතින්නේ හයිටිය තුළ වි​දේශ අතපෙවීම් හමුවේ සිදුවූ ක්‍රියාදාමයම දැයි සැක පහළවේ.   

 

 

 

කොත්මලේ   
රංජිත් සිසිර කුමාර සූරියආරච්චි