රටේ ජනතාව බඩගින්නේ ඉද්දි කොටි හතක් වැය කොට පොළොන්නරුවේ හදන හෙළ කළා ගම්මානය


 

පසුගිය කාලයේ පොළොන්නරුවට සංවර්ධන ව්‍යාපෘති ආවේ තරගෙටය. එයාට වැඩිය හොඳට මම කරනවා. අරයට වැඩිය හොඳට මම කරනවා කියා සමහර දේශපාලකයන් කළේ තම අරමුණු සාක්ෂාත් කර ගැනීම විනා පොළොන්නරුවේ සංවර්ධනයක් ගැන නොවේ. පොළොන්නරුවට එන සංචාරකයින්ට දින 4-5 ඇවිද ස්වභාවික පරිසරය හා බද්ධ වෙමින් විනෝද වීමේ ස්ථාන 14ක් ඇත. නමුත් අද වෙන විට පොළොන්නරුවේ දේශපාලන අධිකාරිය මේ එකදු තැනක් ගැනවත් අවධානයක් මේ වෙනතෙක් යොමු කොට නැත. අලු‍තින් සොයාගත් සංචාරක කලාපයක් පොළොන්නරුව අම්පාර මායිමට වෙන්නට ඇත. යාල, වස්ගමුව, උඩවලව මෙන්ම සංචාරකයන්ගේ ආකර්ශනය ගත හැකි මෙම ස්ථානය ගැන මේ වෙනතෙක් අවධානය යොමු කොට නැත. මේ ගැන පිඹුරුපත් හැදූ නිලධාරියා ද අද වෙන විට මාරු කර යවා පැත්තකට දමා ඇත. ඒ දේශපාලන හේතු මතය. යක්කුරේ, කාලිංග දූපත, මාදුරු ඔය, පුංචි සීගිරිය, වස්ගමුව, සෝමාවතිය, ජල ගැලු‍ම් නිම්නය ආශ්‍රිත අප කියන සංචාරක ආකර්ෂණය ගත හැකි ස්ථාන 14 පිහිටා තිබේ. එම ස්ථාන සොයා සංචාරකයන්ට විවෘත කළ හැකි නිසි වැඩ පිළිවෙතක් හැදිය හැකි නම් පොළොන්නරුවට විතරක් නොව රටටම ඩොලර් හොයන වැඩක්‍්‍ හැදීමට පුළුවන.   

 

  • මුණියන්ඩි වැව කියන්නේ වගුරු බිමක්

  • ආවේණික කුරුල්ලන් ගැවසෙන ප්‍රදේශයක්

  • වැවේ සොරොව්ව කොන්ක්‍රීට් දාලා වහලා 

පොළොන්නරුවට එන සංචාරකයන් ඇද බැඳ තබාගෙන පොළොන්නරුවේ නතරකර ගැනීමට කියා දේශපාලකයන් විවිධ වැඩ කිරීමට උත්සහ කළේය. පරාක්‍රම සමුද්‍රයේ රළපනාව විනාශ කොට ඇවිදින මංතීරු හදන්න උත්සහ කළේය. අංගම්මැඩිල්ලේ සිට වස්ගමුවට යාමට කාපට් මාර්ග හැදීමට සැලැසුම් කළේය. සී ප්ලේන් පරාක්‍රම සමුද්‍රයට බැස්සවීමට සැලැසුම් හැදුවේය. නමුත් එම සැලැසුම් යටපත් වූයේ ජනතා විරෝධය මතය. පොළොන්නරුවට එන සංචාරකයන්ට එම ප්‍රදේශයේ සංචාරය කොට දින ගණන් නැවතිය හැකි සුන්දර ස්ථාන තිබියදී එම තැන් ප්‍රසිද්ධ නොකර වෙනත් දේ කිරීමට යාමෙන් මේ අය උත්සහ කළේ තම ලාබය සහ යටි අරමුණු ඉෂ්ඨ කර ගැනීමට උත්සහ දැරීම පමණි.   

 

අත්තිවාරම් නැතිව ඉදිකර ඇති කුටි

වැඩ නිමවූ පසු හෙළ කලා ගම්මානයේ ආදර්ශ ඡායාරූපයක්.

 

අප මේ කියන්නට යන්නේද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංචාරකයන් වෙනුවෙන් පසුගිය කාලයේ ඉදිකිරීමට සැලැසුම් කළ එවැනි ව්‍යාපෘතියක් ගැන තොරතුරුය. පොළොන්නරුව ගල් විහාරය ආසන්නයේ අක්කර පහළොවක පමණ භූමියක රුපියල් කෝටි හතක් වැය කොට ඇතුමල්පිටිය මුණියන්ඩි හෙළ කලා ගම්මානය සහ වික්‍රමාන්විත උද්‍යානයක් හැදීමට පොළොන්නරුව නගර සභාව සහ දේශපාලන අධිකාරිය උත්සහ ගන්නේ එය අසාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිලධාරින් පෙන්වා දෙන පසුබිමකය. මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් වෙන් කිරීමට අකමැති වූ පොළොන්නරුව නගර සභාවේ ඉහළ නිලධාරියෙකුට ස්ථාන මාරුවක්ද ලැබී තිබුණි. ඒ මෙම ව්‍යාපෘතිය අසාර්ථක ව්‍යාපෘතියක් ලෙස නම් කිරීම නිසා බව ද වාර්තා වෙයි.   
මුණියන්ඩි හෙළ කලා ගම්මානය අසාර්ථක යැයි කියා පෙන්වන ඇතුමල්පිටිය ජනතාව පෙන්වා දෙන්නේ එසේ නම් ‘‘අපේ ගම”‍ සහ සීගිරිය ජනකලා කේන්ද්‍රය ද මීට පෙර සාර්ථකත්වයක් ලබා තිබිය යුතු බවය. ඒවා ද මේ වෙන විට වල් වැදී ඇති අතර සංචාරක ආකර්ෂණයක් මේ වෙනතෙක් නැති බව ද ඇතුමල්පිටිය ජනතාව පෙන්වා දෙති. මෙම ව්‍යාපෘතිය ද එසේම අසාර්ථක ව්‍යාපෘතියක් බවත් සංචාරක ආකර්ෂණය ලබාගැනීමට මීට වඩා කළ යුතු දෑ බොහොමයක් තිබෙන බවද ඇතුමල්පිටිය ජනතාව පෙන්වා දෙති. මුණියන්ඩි කලා ගම්මානයේ සිමෙන්ති යොදාගෙන අලි තුන් දෙනෙක් හදා ඇති බවත් ඒ සඳහා වැය වී ඇත්තේ රුපියල් ලක්ෂ 25කට ආසන්න මුදලක් ලු‍. නමුත් එම අලි තුන් දෙනා සඳහා රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වියදම් වූ බව පෙන්නලා ලු‍ යැයි ඇතුමල්පිටිය ජනතාව පෙන්වා දෙති. හෙළ කලා ගම්මානයේ කලාකරුවන් සඳහා සාදා ඇති කුටි ඉදිකොට ඇත්තේ අත්තිවාරමක් ද නොමැතිව බව එම ජනතාව පෙන්වා දෙති. එම කුටි කිසිදු ප්‍රමිතියකින් තොරව ඉදිකර ඇති බවද එම ජනතාව පවසති. කුටිවල වහල සඳහා භාවිත කොට ඇත්තේ උදලු‍ මිටියකටත් වඩා කුඩා ලී දඬු බව ද එම ජනතාව පෙන්වා දෙති. එම ලී දඬු කපා ඇත්තේ පුරාවිද්‍යා කැලෙන් බවත් ඊට සාක්ෂි ද තමන් සතුව පවතින බව එම ජනතාව පවසති. මෙම හෙළ කලා ගම්මානය වටකොට කම්බි පොටවල් 15ක් දමා විශාල වැටක් ඉදිකොට ඇත. මින් කිසිම සතෙකුට ඇතුළු වීමට බැරි බවත් එක් කපොල්ලකින් රිංගා මුණියන්ඩි වැවෙන් වතුර බීමට ඇතුළු වෙන මුවන්ට දඩයක්කාරයෝ යොදා වෙඩි තබන බවද ඇතුමල්පිටිය ජනතාව පෙන්වා දෙති. එසේම මෙම ගම්මානය ඉදිකිරීමේ දී වියදම් වූ මුදල් ගැන නිසි විගණනයක් කරන ලෙස ද ඇතුමල්පිටිය ජනතාව බලධාරින්ගෙන් ඉල්ලති.

 

  • ප්‍රදේශයේ පාරිසරික පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ කරලා
  • පුරාවිද්‍යාව නිහඬයි, උත්තර නෑ

මෙම හෙළ කලා ගම්මානය ඉදිවෙන්නේ මුණියන්ඩි වැව කේන්ද්‍ර කොට ගනිමිනි. මෙම ව්‍යාපෘතියට සමගාමිව සංවර්ධනය කිරීමේ දී වැවේ ජල පෝෂක කලාපය පස් දමා වසා දමා ඇති බව ද ඇතුමල්පිටිය ජනතාව පෙන්වා දෙති. එම පස් ඉවත් කරන බවට පොළොන්නරුව නගර සභාව ඇතුමල්පිටිය ජනතාවට මුලින් පොරොන්දු වී ඇත. නමුත් දැන් එම පස් ඉවත් කර නොගන්නා බවට නගර සභාව ප්‍රකාශ කරන බවද එම ජනතාව පවසති. 
අක්කර 15ක පමණ වපසරියක පිහිටා ඇති මෙම වැවෙන් 1992 සිට කුඹුරු වගා කරන ගොවිහු දැඩි අසීරුවකට පත්ව සිටිති. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් වැවෙන් කුඹුරුවලට ජලය ගන්න එක නවතා දැමීමට සොරොව්ව කොන්ක්‍රීට් දමා වසා දැමීමට පොළොන්නරුව නගර සභාව කටයුතු කළ බව ද ඇතුමල්පිටිය ජනතාව පෙන්වා දෙති. අද වෙන විට බාගෙට වැඩ කළ කුඹුරු ද දක්නට ඇත.
තමන්ට වෙන අසාධාරණය ගැන ජනාධිපතිවරයාගේ සිට පහළට සියලු‍ම නිලධාරින්ව දැනුවත් කොට ඇති අතර මේ වෙනතෙක් තමන්ට විසඳුමක් ලැබී නැති බව ද එම ජනතාව පෙන්වා දෙති.   

 

  • මුණියන්ඩි වැව වටකොට අඩි 15ක් උසට වැටක් ගහලා
  • වැටෙන් පැන වතුර බොන්න එන මුවන්ට වෙඩි තියනවා.
  • අනෙක් සතුන්ට වතුර බොන්න තැනක් නෑ

ඇතුමල්පිටිය ජනතාව පෙන්වා දෙන තවත් කරණයක් වන්නේ මුණියන්ඩි වැව ජාතික වැව් පද්ධතිය තුළ නැති බවය. මෙම වැව පිහිටි ප්‍රදේශය වගුරු බිමක් බවත් පාරිසරික පද්ධතිය ආරක්ෂා කළ බිම් ප්‍රදේශයක් බවද එම ජනතාව පෙන්වා දෙති. මුණියන්ඩි නම් දෙමළ අයෙකු අතීතයේදී මෙම වගුරු බිම ආශ්‍රිතව වගා කළ බවද ගම්මු කියති. මේ නිසා මෙතනට මුණියන්ඩි වැව ලෙස හැඳින් වූ බව ද එම ජනතාව පෙන්වා දෙති. මීට අමතරව 1960 ගණන්වලදී වික්‍රමනායක නම් අයෙකු සොරොව්වක් සාදා මින් ජලය ගෙන කුඹුරු කළ බවද ගම්මු පෙන්වා දෙති. මෙම පරිසර පද්ධතිය තුළ ආවේණික පක්ෂීහු මෙන්ම සංචාරක පක්ෂීන් ද සිටිති. එසේම ගමේ අය නෑවේ මෙම වැවෙනි. ජලය සපයා ගත්තේ මෙම වැවෙනි. නමුත් මෙම ව්‍යාපෘතිය නිසා එම පාරිසරික පද්ධතිය විනාශ කොට දමා ඇති බව ඇතුමල්පිටිය ජනතාව පවසති. වැව වට කොට වැටක් ගසා ඇත. සතෙකුට තියා මිනිසුන්ටද ඉන් ඇතුළුවීමට තහනම්ය. මෙම ව්‍යාපෘතියට මුවා වී මිනිස්සුන්ගේ පුද්ගලික ඉඩම් බලෙන් අල්ලාගැනීමට ද පොළොන්නරුව නගර සභාව කටයුතු කර ඇති බවට ගම්මු චෝදනා කරති. ඒ නිසා ස්වභාවික පාරිසරික පද්ධතිය පමණක් නොව ජන ජීවිතය ද විනාශ කිරීමට නගරාධිපතිවරයා කටයුතු කර ඇති බවට ජනතාව චෝදනා කරති.   


  • රජයට සල්ලි නැතිව වැඩේ නතර කරන්න කියා චක්‍රලේඛයක් ගහලා
  • ඒත් වැඩේ නැවතිලා නෑ
  • අවට පුරාවිද්‍යා භුමියත් විනාශ කරලා

 

වැඩ නිමවූ පසු හෙළ කලා ගම්මානයේ ආදර්ශ ඡායාරූපයක්.


 

කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ජාතික ශිල්ප සභාව මෙම ගම්මානයේ කලා කුටි 15ක් පිහිටුවීම සඳහා රුපියල් ලක්ෂ එකසිය විස්සක් පමණ වැයකොට ඇත. ජාතික ශිල්ප සභාව හරහා ඇරැඹි මෙම ව්‍යාපෘතිය පොළොන්නරුව නගර සභාව එක්ව සිදු කරන බව ද අප කළ විමසීමක දී ජාතික ශිල්ප සභාවේ උසස් නිලධාරියෙක් පෙන්වා දුන්නේය. ජාතික ශිල්ප සභාව මගින් හෙළ කලා ගම්මානය සඳහා කලාකරුවන් තෝරා ගැනීම ද මේ වෙන විට අවසන් බව එම උසස් නිලධාරියා පෙන්වා දුන්නේය. නමුත් උතුරු මැද පළාතේ දක්ෂ මූර්ති ශිල්පියා මෙන්ම 2021 වසරේ දක්ෂතම මූර්ති ශිල්පියාව අමතක කර දමා ශිල්පීන් තේරීමට ජාතික ශිල්ප සභාව කටයුතු කර ඇති බවට ද එම ශිල්පීහු චෝදනා කරති. එය බලවත් අසාධාරණයක් බව ද එම ශිල්පිහු පෙන්වා දෙති. එසේම මේ වෙන විට එම ගම්මානයේ ඉතිරි වැඩ කිරීමට මුදල් නොමැතිව නතර කර ඇති බව ද ඇතුමල්පිටිය ජනතාව පෙන්වා දෙති. රටේ මේ තරම් ආර්ථික ප්‍රශ්නයක් තිබියදී රුපියල් කෝටි හතක් වියදම් කොට ලහි ලහියේ මෙවන් ව්‍යාපෘති කරන්නේ ඇයිද යන්න ගැටලු‍වක් බවද එම ජනතාව පෙන්වා දෙති.   

කෙසේ වෙතත් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සිය අමාත්‍යාංශය යටතේ මුණියන්ඩි හෙළ කලා ගම්මානය ඇරැඹීමට ජාතික ශිල්ප සභාව හරහා ඉදිරිපත් වූයේ පොළොන්නරුව නගර සභාවේ ව්‍යාපෘතියකට අනුවය. ඒ පසුගිය වසරේදීය. අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ සහය ද මීට ලැබී ඇති බව දැනගන්නට තිබේ. 

 

  • පොළොන්නරුව නගර සභාවෙන් අවට ඉඩම් බලෙන් අල්ලනවා
  • වැ​ඩේ පටන් ගත්ත රාජ්‍ය ඇමැති මර නින්දක
  • පොළොන්නරුවේ දේශපාලකයන් නිහඬයි

ගම්මු පෙන්වා දෙන පරිදි මෙය අසාර්ථක ව්‍යාපෘතියකි. පාරිසරික පද්ධතිය විනාශ කොට ඉදිකර වූ එකකි. එවැනි ව්‍යාපෘතියක් ඇරැඹීමට පටන් ගත්තේ ඇයිද යන්න දැන ගැනීමට රොෂාන් රණසිංහ ඇමැතිවරයාව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය. නමුත් ඇමැතිවරයාගේ පුද්ගලික කාර්යය මණ්ඩලයේ අයෙකු පෙන්වා දුන්නේ දැන් එම ව්‍යාපෘතිය දැනට නතර කර ඇත්තේ මුදල් නොමැතිකම නිසා බවය. අපේ ඇමැතිතුමා ඉල්ලලා තමයි ඔය වැඩේ පටන් ගත්තේ. ඔය ව්‍යාපෘතියේ මූලිකත්වය ගත්තේ ප්‍රසන්න රණවීර ඇමැතිවරයා බවද එම පුද්ගලයා කියා සිටියේය.   


අප මේ ගැන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සම්බන්ධ කර ගැනීමට සවස 2.00ට කතා කළ ද හිටපු ඇමැතිවරයා ඉන්නේ තද නින්දක බවත් නැගිටින කොට සවස 6 පමණ වෙන බවද දුරකතනය ඇමැතු කෙනා පැවසීය. ඉන් පසු එම පුද්ගලයා පැවසූ පරිදි අපි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්ගෙන් මේ ගැන විමසන ලෙසය. අප ඒ අනුව කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකුගෙන් මේ ගැන කළ විමසීමක දී පවසා සිටියේ මෙම ව්‍යාපෘතිය දැනට අතරමග නතර කර ඇති බවය. රජයට මුදල් නොමැති නිසා කරපු වැඩවලට මුදල් ගෙවා ව්‍යාපෘතිය නතර කරන ලෙසට චක්‍රලේඛනයක් ආ බවත් ඉන් පසු අප්‍රේල් මාසයෙන් පසු වැඩ නැවතුන බවද එම නිලධාරියා පෙන්වා දුන්නේය. දැන් වැඩ අවසන් අදියරේ පවතින බවත් ඉන් ඉදිරියට වැඩ කරන්න නම් නැවත ප්‍රතිපාදන ලබා දිය යුතු බවද කියා සිටියේය. මේ ගැන වැඩි විස්තර ජාතික ශිල්ප සභාවෙන් දැන ගත හැකි බවද එම නිලධාරියා කියා සිටියේය. ජාතික ශිල්ප සභාවේ උසස් නිලධාරියා පවසන පරිදි මුණියන්ඩි හෙළ කලා ගම්මානයේ වැඩ නිම වී ඇති බවය. ඒ සඳහා රුපියල් ලක්ෂ 120ක මුදලක් ගෙවීමට මුදල් පොළොන්නරුව නගර සභාවට ලබා දුන් බවය. අප්‍රේල් මාසයේ චක්‍රලේඛනයක් නිකුත් වෙන විට කරපු වැඩ සඳහා මුදල් ගෙවීමට මුදල් වෙන් කළ බවද එම නිලධාරියා පෙන්වා දෙයි.   
පොළොන්නරුව නගර සභාව සංචාරක ව්‍යාපාරය ඉලක්ක කර ගනිමින් ලොකු ව්‍යාපෘතියක් කරන බවත් හෙළ කලා ගම්මානය එහි කොටසක් බවද ජාතික ශිල්ප සභාවේ උසස් නිලධාරියා අප වෙත කියා සිටියේය. අපි කරන්නේ කුටි හදන වැඩේ විතරයි ද එම උසස් නිලධාරියා පෙන්වා දුන්නේය. මේ ගැන වැඩි විස්තර පොළොන්නරුව නගර සභාවෙන් විමසන ලෙසද එම නිලධාරියා කියා සිටියේය.   

 

පුරන් වී ඇති කුඹුරු


  • නගන චෝදනා බොරු
  • ලබන මාසේ කලා ගම්මානය විවෘත කරනවා
  • පුරාවිද්‍යා සහ පාරිසරික වාර්තා සියල්ල අරගෙනයි වැඩේ පටන් ගත්තේ 

 - පොළොන්නරුව නගරාධිපති 


ඒ අනුව අප මුණියන්ඩි හෙළ කලා ගම්මානය සහ වික්‍රමාන්විත උද්‍යානයක් ඉදිකිරීමේදී ගම්මු නගන චෝදනා සහ එහි ඉදිකිරීම් නැවතීම ගැන පොළොන්නරුව නගර සභාවේ නගරාධිපති චානක සිදත් මහතාගෙන් ද තොරතුරු විමසා සිටියෙමු.   


එහිදී නගරාධිපතිවරයා පවසා සිටියේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ සංචාරක ව්‍යාපාරය හෙළ කලා ශිල්පීන් මෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික තත්ත්වය නගා සිටුවීමට බවය. අපි මේ වැඩේ පටන් ගන්න කොට කිහිප දෙනෙකුගේ විරෝධතා ආවා. ඒ අය දැන් මෙම ව්‍යාපෘතියට සහ නගර සභාවට විරුද්ධව විවිධ මත පළ කරනවා. මුණියන්ඩි වැව අසල ඉදිකළ ජාතික ශිල්ප සභාවේ වැඩ කටයුතු දැන් ඉවරයි. ඒ අය ඉදිකළ කුටි 15 සඳහා ගෙවීමට මුදල් අපට ලබාදීලා තියෙනවා. දැන් තියෙන්නේ නගර සභාවෙන් කරන්න ඕන වැඩ ටික කරන්නයි. මේ දවස්වල නගර සභාවටත් සල්ලි නෑ. නමුත් වැඩේ කරගෙන යනවා. මේ මාසේ විවෘත කරන්න හිතාගෙන හිටියත් ලෝක බැංකුවෙන් අපට වික්‍රමාන්විත උද්‍යානයකට සල්ලි ලැබෙනවා. ඒකට අවශ්‍ය බඩුගන්න. මේ වැඩ ටික ඉවර කරලා හෙළ කලා ගම්මානය සහ උද්‍යානය විවෘත කරන්න තවත් මාසයක් විතර යයි. මුළු ව්‍යාපෘතියටම යන්නේ රුපියල් කෝටි දෙකක් විතර මුදලක්. අක්කර දෙකක් වගේ බිමක තමයි මේ හැමදේම හදලා තියෙන්නේ යැයිද නගරාධිපතිවරයා පෙන්වා දෙයි. මෙම ව්‍යාපෘතිය ඉතා ඉක්මණින් සංචාරකයින් සඳහා විවෘත කරන බවද නගරාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී පුරාවිද්‍යා සහ පාරිසරික වාර්තා නිසි පරිදි අරගෙන වැඩේ කළ බවද නගරාධිපතිවරයා පැවසීය.   


මට මේ වැඩේ පටන් ගන්න කිව්වේ හිටපු ජනාධිපතිතුමයි රොෂාන් රණසිංහ ඇමැතිතුමයි. අපට වැඩේට සල්ලි වෙන් කළේ ප්‍රසන්න රණවීර ඇමැතිතුමා. මේ වැඩේ ලස්සනට හදලා තියෙනවා. මෙතන ඉන්න දෙන්නෙක් තුන් දෙනෙක් වැඩේට විරුද්ධ යැයිද නගරාධිපතිවරයා පැවසීය.   


හෙළ කලා ගම්මානයේ කුටි ඉදිකිරීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් කැලයේ ගස් කපා ඇත් ද යන්න අප එම දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව කාර්යාලයෙන් විමසා සිටියෙමු. එහිදී 0272050448 අංකයට කතා කළ විට දුරකතනය ගන්නා අයෙකු රිසිවරය පසෙක තබා නිශ්ශබ්දව සිටියේය.

 

සටහන : 
ප්‍රගීත් සම්පත් කරුණාතිලක