රට විනාශයි දැන් ඇති


ජනතාව පීඩාවට පත්කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුව පලවා හරින තෙක් විරෝධතා පවත්වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ පසුගිය බදාදා කොළඹ දී පැවති විරෝධතා රැලියට එක් වෙමිනි. ජන බලය එකතුකර ආණ්ඩුව බලයෙන් පහ කොට රට ගොඩනැගීමේ වැඩ පිළිවෙළ සමගි ජන බලවේග රජයක් යටතේ බිහිකරන බව ද ඔහු සඳහන් කළේය.

ජනතාව මුහුණ දෙන දරාගත නොහැකි ජීවන වියදම ඇතුළු ගැටලුවලට විසඳුම් ලබා දෙන්නැයි ආණ්ඩුවට බල කරමින් දහස් සංඛ්‍යාත ජනතා සහභාගිත්වයෙන් මෙම විරෝධතා රැලිය කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල දී පැවැත්විණි. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ කීවේය.  


‘‘දුර්දාන්ත ජනතා විරෝධී රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන සටන අපි ආරම්භ කරලා තිබෙනවා. වැඩ කරනවා කියපු විරුවා අද ‘‘වැඩි කරන විරුවා’’ බවට පත්කර තිබෙනවා. ගෑස් ටික නෑ. කන්න ආහාර වේලක් සොයා ගන්න නැතුව දරුවො හාමතේ කියලා තමයි මේ රැස්වී සිටින අති විශාල ජනතාව මෙතනට එක් රොක් වුණේ. දැන් වසර දෙකක ඉඳලා ජනතාව දුක් විඳිනවා. ජනතාවට තවත් මේ දුක උහුලන්න බැහැ. ජනතාව මේ තත්ත්වයට පත් කළේ රාජපක්ෂ ආණ්ඩුවයි. අද මෙතනට ආවේ දූෂිත දුර්දන්ත ආණ්ඩුව ගෙදර යවන වැඩ පිළිවෙළකට කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුව පළවා හරින ගමන අපි අද සිට අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා.  


ජනතාවට අවශ්‍ය දේශපාලනයක් නොවෙයි. ජනතාවට සේවය කරන්න අපි සූදානම්. ජනතා ප්‍රශ්න විසඳන්න අපි කටයුතු කරනවා. ජනාධිපතිගේ අගමැතිගේ ඉඳලා අපිට තිබෙන වරදාන, වරප්‍රසාද පොදු ජනතාව වෙත ලබාදිය යුතුයි. අපේ ආණ්ඩුවක් තුළ ඩීල් නැහැ. අපේ ආණ්ඩුව තුළ රහස් ගිවිසුම් නැහැ. එකම ඩීල් එක මේ රටේ පොදු ජනතාව සමග තිබෙන සමාජ ගිවිසුමයි. රාජපක්ෂ පාලනය තුළ සෞභාග්‍ය සම්පන්න ශ්‍රී ලංකාව අද වෙන්දේසි ලන්තයක් වෙලා. රට මුද‌ාගෙන යළිත් ජයග්‍රහණය කිරීමට මා​ගේ ආදරණීය ජනතාවට මම ප්‍රතිඥා දෙනවා.’’ විපක්ෂ නායකවරයා පැවසීය.  


පෙළපාළියේ පැමිණි පිරිසට නොදෙවැනි ජනතාවක් මග දෙපස රැඳී සිටිමින් පෙළපාළිකරුවන් දිරි ගන්වන ආකාරය දැකගත හැකිවිණි.  
විරෝධතාව සඳහා ගොවීන්, ධීවරයන්, රාජ්‍ය සේවකයන්, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන නියෝජිතයන්. දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් ඇතූළු විශාල පිරිසක් එක්ව සිටි අතර විරෝධතාව හේතුවෙන් කොළඹ නගරයේ ගමනාගමන කටයුතු ද මුළුමනින්ම පාහේ ඇණහිට තිබිණි.  


කොළඹ පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණය සහ පුස්තකාල වට රවුම අසලට පස්වරු 2ට පමණ රැස් වූ විරෝධතාකරුවෝ පංචිකාවත්ත, ටෙක්නිකල් හන්දිය, මරදාන කොළඹ - කොටුව   ලෝටස් පාර ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණියහ.  


අනෙක් පිරිස කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යායල අසල සිට පා ගමනින් ධර්මපාල මාවත, පිත්තල හන්දිය, කොල්ලුපිටිය මංසන්ධිය පසු කරමින් ගාලු පාරට පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට ගමන් කළහ.  


විරෝධතා පෙළපාලි දෙකම ජනාධිපති කාර්යාලය අසල දී එක් වූ අතර එහි දී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විරෝධතා රැලිය පවත්වනු ලැබීය.  
එක් විරෝධතා පෙළපාළියක් පස්වරු 3ට පමණ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, සජබ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පෙරටු කර ගනිමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සහ සටන් පාඨ කියමින් පා ගමනින් ගමන් ඇරඹීය.  
විරෝධතාකරුවන් ගමන් ගත් මාර්ග එකම මිනිස් හිස් ගොඩක් ලෙස දිස්විණි.  


පෙළපාළියෙන් ගෙන ආ මිනීපෙට්ටි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මහ පාරේ ගිනිතබා විනාශ කිරීමට පියවර ගැනිණි.  


මිනීපෙට්ටි ගිනි තැබීම නිසා ඉන් නික්මුණු කළු දුම්රොටුවලින් ජනාධිපති ලේකම් කාර්යාලය අවට ප්‍රදේශය වැසී යන ආකාරය ද දැක ගත හැකි විය.  
සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු, භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා, මාධ්‍ය ප්‍රකාශකවරුන් වන එස්.එම්. මරික්කාර්, මනූෂ නානායක්කාර, සමගි ජනබලවේගය පක්ෂ නායකයන් වන පාඨලී චම්පික රණවක, දොස්තර රාජිත සේනාරත්න, පී. දිගම්බරම්, රවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න, වෛද්‍ය කාවින්ද ජයවර්ධන, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා, සුජිත් සංජය පෙරේරා යන මහත්වරු විරෝධතාව ඉදිරියෙන්ම ගමන් ගත්හ.  


සමගි තරුණ බලවේගය, සමගි වනිතා බලවේගය, රාජ්‍ය සේවා සමගි වෘත්තීය සමිති සම්මේලනය, සිවිල් සංවිධාන ඇතුළු සංවිධාන රැසක නියෝජිතයෝ මේ සඳහා එක්ව සිටියහ.

 

 

නිශාන්ත කුමාර බණ්ඩාර සහ නිමල කොඩිතුවක්කු