මිනී කන කිඹුල්ලු


දරුවා කිඹුල් ප්‍රහාරයට ලක්වූ ස්ථානය

 

ශ්‍රී ලංකාවේ සිටින සතුන් අතරින් ඉතාමත් භයානක සහ අසුවුවහොත් ලෙහෙසියෙන් මිනිසකුට ගැලවී යා නොහැකි සත්වයා වන්නේ කිඹුලාය. ලොව විශාලතම උරගයන් ලෙස හඳුන්වන කිඹුලන් ජලයේදීත් ගොඩබිමදීත් ඉතාමත් දරුණු විලෝපිකයන් ලෙස පිළිගැනේ. ගොඩබිමටත් වඩා දියේ දී අතිශය දරුණු සහ ශක්තිමත් කිඹුලන් පණ ඇති ඕනෑම ජීවියකු ගොදුරු කර ගැනීමට මාන බලයි.   

ජලයේ සිටින කුඩා මාළු‍වකු‍ගේ පටන් දිය බීමට එන දැවැන්ත කුළු හරකකු පවා ගොදුරු කරගන්නා මේ කිඹුලන් මිනිසුන් පවා අසු වුවහොත් අතහැර දමන්නේ නැත.   


කිඹුල් ප්‍රහාර කිහිපයක් ම පසුගිය සති කිහිපයේ දී ශ්‍රී ලංකාවේ තැන් තැන්වලින් වාර්තාවිය. දෙහිවල මුහුදේ දී කිඹුලකු විසින් ඇදගෙන යාමෙන් විසිතුරු මසුන් එකතු කරන අයකු මියයාමෙන් පසු දඹුල්ලේ, කණ්ඩලම ප්‍රදේශයේ දුන්නබිඳුණුවැවේ දිය නෑමට ගිය 07 හැවිරිදි පාසල් සිසුවකු ද කිඹුලකු විසින් ඩැහගන්නා ලදී.   
මෙසේ මියගියේ කණ්ඩලම ඩී.එස්. සේනානායක විද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි චනුත් සත්සර නමැති දරුවෙකි.   


දරුවාගේ පියා පවසන්නේ කිඹුලා විසින් දරුවා ඩැහැගත් පසු තම පුතා බේරා ගැනීමට නොගත් උත්සාහයක් නැති බවයි. නමුත් අවසානයේ පුතා තම ග්‍රහණයෙන් අතහැරුණු බවත් ඒ සමඟ කිඹුලා දරුවා රැගෙන නොපෙනී ගිය බවත් ඔහු පවසයි.   


අවසානයේ ඒ දරුවාගේ සිරුර සොයා පැය ගණන් මෙහෙයුම් කළ අතර තැන තැන සපා කෑ තුවාල සහිත සිරුර වැව පත්ලේ අඩි 25ක් පමණ ගැඹුරු ස්ථානයක වළක් වැනි තැනක මඩෙහි රඳවා තිබී සොයා ගැණිනි. දරුවාට අවාසනාවන්ත ලෙස ජීවිතය අහිමි විය. සිරුර සපා කෑ බවට සළකුණු තිබුණ ද කිසිදු කොටසක් ගිල දමා නොතිබූ බව එම සිරුර දුටු පිරිස් කියති.   


ලෝකයේ කිඹුලන් විශේෂ 18ක් සිටින අතර ඉන් විශේෂ 02ක් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙයි. එක් විශේෂයක් මෙරට තෙත් කලාපයේ ජීවත්වන අතර ඔවුන් සිංහල භාෂාවෙන් ගැට කිඹුලා ලෙස හැඳින්වේ. ඉංග්‍රීස බසින් Saltwater Crocodile ලෙස හඳුන්වන එම සත්ව විශේෂය විද්‍යාත්මකව හඳුන්වන්නේ Crocodylus Porosus ලෙසිනි.   
ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ සිටින කිඹුල් විශේෂය හඳුන්වන්නේ හැල කිඹුලන් ලෙසිනි. ගැට කිඹුලාට වඩා ප්‍රමාණයෙන් තරමක් කුඩා හැල කිඹුලන් ගැට කිඹුලාට වඩා තරමක් අලු‍ පැහැයෙන් යුක්තය. ගැට කිඹුලා හැල කිඹුලාට වඩා ප්‍රමාණයෙන් විශාලවන අතර තරමක් තද පැහැතිය. හැල කිඹුලා ඉංග්‍රීසි භාෂාවෙන් Mugger Crocodile ලෙසත් සත්ව විද්‍යාත්මකව  Crocodylus Porosus ලෙසත් හැඳින්වේ.   
ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ගැට කිඹුලකු හොඳින් වැඩුණු විට අඩි 18-20ත් දක්වා විශාල වන අතර හැල කිඹුලකු අඩි 10-12ත් අතර විශාලත්වයකින් යුක්ත වෙයි.   


ලෝකයේ සිටින සියලු‍ම කිඹුල් විශේෂ තමන්ට හසුවන ඕනෑම සතකුට පහර දී ගොදුර කර ගන්නා අතර ඒ සෑම විශේෂයක්ම මිනිසුන්ට පහර දුන් අවස්ථා ද ලෝකය පුරාම වාර්තා වෙයි.   
ලොව සිටින කිඹුලන් අතරින් වඩාත් දරුණුම විශේෂය ලෙස හඳුන්වන්නේ නයිල් ග‍ඟ සහ ඒ අවට ජීවත්වන නයිල් කිඹුලාය. ඉන් පසු වඩාත් දරුණුම විශේෂය ලෙස සළකන්නේ ශ්‍රී ලංකාවේ වාසය කරන ගැට කිඹුලන්ය. නමුත් වියළි කලාප‍යේ ජීවත්වන කිඹුලන් වරින් වර මිනිසුන්ට පහර දී ඇතත් ඔවුන් අනෙක් කිඹුල් විශේෂවලට වඩා සාපේක්ෂව දරුණු බවින් අඩු සහ තැතිගෙන පලායන සත්ව විශේෂයක් ලෙස පිළිගැනීමක් තිබේ.   
වියළි කලාපයේ ගංගා සහ වැව් ආශ්‍රිතව ජීවත්වන හැල කිඹුලන්ගෙන් වැඩිම ගහණයක් දක්නට ලැබෙන්නේ වනෝද්‍යානවල ඇති වැව් ආශ්‍රිතව වුව ද ජනාකීර්ණ ප්‍රදේශවල ඇති වැව් සහ වියළි කලාපීය ගංගා ආශ්‍රිතව ද සැළකිය යුතු කිඹුලන් ප්‍රමාණයක් දක්නට ලැබෙයි.   

 


ශ්‍රී ලංකාවේ ගැට කිඹුලන් සාමාන්‍යයෙන් 2,500ක් 3,500ක් අතර ප්‍රමාණයක් සිටින බවත් හැල කිඹුලන් ඊටත් කිහිප ගුණයකට වැඩි ප්‍රමාණයක් සිටිය හැකි බවත් වනජීවී දෙපාර්තමේන්තුව ඇස්තමේන්තුගත කර ඇත. ඉන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ජාතික වනෝද්‍යාන තුළ ජීවත් වන බව පවසයි.   
මේ වනවිට තෙත් සහ වියළි කලාපයේ කිඹුලන්ගෙන් මිනිසුන්ට සිදුවන පහරදීම් විශාල වශයෙන් වැඩි වී ඇත. මෙයට හේතු කිහිපයක්ම බලපාන බව පෙනෙන්නට තිබේ.   


අතිශය දරුණු සතකු වන කිඹුලන් වරකට බිත්තර විශාල ප්‍රමාණයක් දමයි. එය ඇතැම්විට බිත්තර 20-40ක් දක්වා ප්‍රමාණයකි. වියළි කලාපයේ ජීවත්වන හැල කිඹුලන් වැව් කණ්ඩි ආශ්‍රිතව බිත්තර දමන අතර ගැට කිඹුලන් ගොඩබිම කොළ රොඩු එකතුකර කූඩුවක් සාදා එහි බිත්තර දමයි. එම කූඩුව අසළට ම වී කිඹුල් මව විලෝපික සතුන්ගෙන් බිත්තර ආරක්ෂා කරන්නීය.     
පරිසරවේදීන් පවසන්නේ කිඹුලන් මිනිසුන්ට පහර දීමට වඩා මඟහැර යාමට උත්සාහ ගන්නා බවයි. බොහෝ විට ඔවුන් ඉක්මණින් දියට බැස පිහිනා ගොස් සැඟවෙයි. ගං ඉවුරුවල කඩොලාන සහ පඳුරු ආශ්‍රිතව සැඟවී සිටින ඔවුන් ඉක්මණින් දිය යටට යයි.   


නමුත් යම් පුද්ගලයකු කිඹුලන් සිටින ප්‍රදේශයක සෑම දිනකම එකම වේලාවක එකම කාර්යයක් කරන්නේ නම් උදාහරණයක් ලෙස ගතහොත් සෑම දිනකම එකම ස්ථානයකින් පැමිණ ජලයේ මුහුණ සෝදන්නේ නම් කිඹුලා එම පුද්ගලයා ගොදුරු කරගැනීමට සැළැස්මක් සකස් කරයි. සැඟවී කල් යල් බලා සිට දින ගණනකට පසු එකම රටාවට පැමිණෙන පුද්ගලයා ගොදුරු කරගනියි. 

 
නමුත් දුන්න බිඳුණු වැවේ දරුවකුට දිවි අහිමිවන්නේ එවැනි සැලසුම් සහගත කිඹුල් ප්‍රහාරයකින් නොවේ. මේ වැවේ කිඹුලන් සිටින බැවින් ගැමියෝ එහි දිය නෑමෙන් වැළකී සිට ඇත. ඒ බව දිවි අහිමි වූ දරුවාගේ දෙමාපියෝ ද දැන සිටියහ. නමුත් වැවක දිය නෑමට ආශාවෙන් සිටි දරුවාගේ බලවත් පෙරැත්ත කිරීම හේතුවෙන් ම ඔවුහු එහි ගියහ.   


ඇතැම් විට ඒ දරුවා ඩැහැගත් කිඹුලා මීට පෙර එම ස්ථානයට නිතර නිතර පැමිණෙන පුද්ගලයකු පිළිබඳ විමසිල්ලෙන් සිටියා විය යුතුය. කිඹුලකු ජලයේ දී යම් ගොදුරක් හඳුනාගන්නේ ජලයේ සිදුවන අසාමාන්‍ය චලනයත් සමගිනි. මේ සියල්ල නිරීක්ෂණය කළ කිඹුලාට ඒ දරුවා යනු තවත් එක් ගොදුරක්ම පමණි. අවාසනාවට ඊට බිලි වූයේ චනුත් සත්සර නමැති 07 වැනි වියේ පසු වූ දරුවෙකි.   


ස්වභාවයෙන් ම කිඹුලා යනු දියයට තම ප්‍රදේශයක් වෙන්කරගත් එහි ආධිපත්‍යය පවත්වාගෙන යන සත්වයෙකි. බොහෝ විට දිය යට ඇති වළවල්, ගුල් ආශ්‍රිතව සහ ගල් පර්වත ආශ්‍රිතව තම සීමාව පවත්වාගෙන යයි.   


විශාල ගොදුරක් ලැබුණු විට කිඹුලා එය රැගෙන ගොස් තමන්ට අයත් ඒ සීමාවේ සඟවා තබා පසුව ආහාරයට ගැනීම සිදු කරන්නේ යැයි පරිසරවේදීන් පවසයි. පසුගිය 15 වැනි දා සවස දරුවා ඩැහැගත් කිඹුලා ද සිදුකරන්නට ඇත්තේ එය විය යුතුය. පැය ගණනක් කිමිදුම්කරුවන් ද වෙහෙස වී දරුවාගේ සිරුර සොයාගත්තේ අඩි 25ක් පමණ ගැඹුරු වැව් පත්ලේ වළක් වැනි ස්ථානයක රඳවා තබා තිබිය දී ය.   
ඒ ස්ථානය වළක් වැනි තැනක් බවත් මළ සිරුර මඬේ ඔබා රඳවා තිබූ බව ද කිමිදුම්කරුවෝ කියති. මේ කිඹුලාගේ ස්වභාවයයි. ඒ දරුවා ඩැහැගත් කිඹුලාට ඒ මොහොතේ ආහාරයක් අවශ්‍ය නොවන්නට ඇත. සිරුර ඩැහැගෙන දිය යටට ඇදගෙන යද්දී දරුවා මියයන්නට ඇත. කිඹුලාගේ දත් පහරවල් සිරුරේ තැන තැන තිබිණි. අනතුරුව පසුව ආහාරයට ගැනීම සඳහා ඒ සිරුර මඩෙහි ඔබා සඟවන්නට ඇත.   
මේ කිඹුලන්ගේ ක්‍රමයයි.   


කිඹුලන් සිටින ස්ථානයක් යනු අතිශය භයානක තැනකි. කිඹුලකු ඕනෑම මොහොතක සැඟවී පහර දෙන බව අප තේරුම්ගත යුතුය.   


ඇතැම් ස්ථානවල සිටින කිඹුලන් අල්ලා වෙනත් තැන්වලට ගෙන ගොස් දමා කිඹුල් තර්ජනය ඉවත් කිරීමට කොතෙක් උත්සාහ ගත්ත ද එය සාර්ථක නැත.   


පරිසරවේදීන් පවසන්නේ කිඹුලන් ඉවත්කිරීම ද එතරම් ප්‍රායෝගික නැති බවයි. වරක් ඕස්ට්‍රේලියාවේ ගම්මානයක මිනිසුන්ට බරපතළ තර්ජනයක් වූ කිඹුලකු අල්ලා එරට බලධාරීන් එම කිඹුලා ගුවනින් කිලෝ මීටර් 2,000කට වැඩි දුරක් ගෙන ගොස් සුදුසු පරිසර පද්ධතියකට නිදහස් කර තිබිණි. නමුත් සති කිහිපයකට පසු ගුවනින් ගිය කිඹුලා යළි තමන් සිටි තැනටම පැමිණ තිබිණි.   


මේ ස්වභාවික සංසිද්ධීන් තේරුම් ගෙන කටයුතු කළ යුතුය.   


විශේෂ ස්තූතිය - ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය     

 

 

 සටහන සහ ඡායාරූප
සජීව විජේවීර