මිටි සහල් ඉස්කෝලේ මහනුවර මහාමායා විදුහල


 
“ගැහැනුන්ගේ නුවණ ඇත්තේ හැඳිමිටේ දිගට” යැයි කියමනක් තිබේ. 
 
“මිටි හාල්” යනු - හැඳි මිටේ මොළය ඇති ගැහැනියක්, සමපේක්ෂණ චේතනාවෙන් යුතුව, නිවසේ බතක් පිසීමට ගන්නා සහල් ප්‍රමාණයෙන් ලොකු හට්ටියකට දැමීම පිණිස ගන්නා“හාල් මිට” ය.
 
ගැහැනුන් රැසක් එකතු කළ ඒ මිටි හාල් අලෙවි කොට ලබාගත් මුදලෙන් අරඹා - “වසර සියයක් බැබළුණු කාන්තා විද්‍යාලයක්” ගැන කිවහොත් ඔබ මවිතයට පත්වනු නියතය.
 
පාසල් වල ඉතිහාසය වසර 50, 75, සහ 100 පිරුණු විට එම සංසිද්ධිය ග්‍රන්ථාරූඪ කරන ප්‍රවණතාවක් ද අප දැක ඇත. මේ වසරේ පළවී ඇති මෙම සිංහල ග්‍රන්ථයේ ඉංග්‍රීසි මුද්‍රණය නිකුත් වූයේ වසර 22 කට පෙර 2003 වසරේදී ය.
 
මහනුවර මහාමායා විදුහලේ ආදී ශිෂ්‍ය සංගමය (කොළඹ ශාඛාව) මගින් 2003 වසරේ දී ප්‍රකාශිත Buddhist Women and the making of Mahamaya Girls College කෘතියේ සිංහල පරිවර්තනය “මිටි සහල් රසයෙන් විකසිත මහාමායාව - බෞද්ධ කාන්තාවන් හා මාහමායා විදුහලේ පුරාවෘත්තය”මැයෙන් හඳුන්වා ඇත. මෙම ග්‍රන්ථය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම් එරික් ජේ. ද. සිල්වා සටහන් කොට ඇත්තේ මෙසේය.
 
“ඉන්ද්‍රාණි මීගම විසින් ඇය ඉගෙන ගත් පාසල වූ මහාමායා විදුහලේ ඉතිහාසය ලියමින් සිටින බව මට ආරංචි වූ විට ඇය විසින් අන්තිමේ දී නිපදවා ඇති පරිදි මෙතරම් දිදුලන කෘතියක් නිර්මාණය කරනු ඇතැයි මම කිසි විටෙක අපේක්ෂා නොකළෙමි. With a Fistful of Rice - මිටි සහලින් උපන් පාසල” යනුවෙන් උචිතව නම් කර ඇති පරිදි එය අපේ රටේ ප්‍රධානම පාසලක් පිහිටු වීම හා එහි විකාශනය පිළිබඳව සාමාන්‍ය ඉතිහාසයක් නම් නොවේ.”
 
මේ කතාව ආරම්භ වන්නේ මෙයින් වසර 101 කට පෙර 1924 මාර්තු 16 වැනිදාය. එදා පසළොස්වක පෝය දිනයකි. ඒ කාලයේ මහනුවර බෞද්ධ බාලිකා විද්‍යාලයක් නොතිබීම පළාතටම ලොකු අඩුවක් පාඩුවක් ව තිබූ බව කිව යුතුය.
 
 
ග්‍රන්ථයේ සටහන් පරිදි 1889 කොළඹ මරදානේ සංඝමිත්තා විද්‍යාලය නමින් බෞද්ධ බාලිකා ඉංග්‍රීසි විද්‍යාලයක් ආරම්භ කළ නාරි ශික්ෂාදාන සංගමය මහනුවර ද බෞද්ධ බාලිකාවන් සඳහා ඉංග්‍රීසි විදුහලක් පටන් ගත්තේය. පරම විඥානාර්ථ සංගමයේ ආධාර ඇතුව එදා උඩරට නායකයෙකු වූ දුල්ලෑව අදිකාරම් තුමා ද සහභාගි වෙමින්, 1890 දී පටන් ගත් මෙම විදුහල අවුරුද්දක් පවත්වා ගෙන යාමට හැකි වූයේ නැත. 
 
ඒ අඩු පාඩුව පිරිමැසීමට බෞද්ධ බාලිකා විදුහලක් පටන් ගැනීමේ අරමුණින් මහනුවරවාසී කාන්තාවන් කිහිප දෙනෙක් කටුකැලේ ධර්ම යුක්තිකාරාමයට රැස්වී 1924 මාර්තු 16 වැනිදා සමිතියක් පිහිටුවා ගත්හ. එය “සදාචාර බෞද්ධ කුලඟන සමිතිය” නම් විය. 
 
උඩරට රදල කාන්තාවන් මේ ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමේ අරමුණෙන් සමිතියේ සභාපති ධුරයට චිත්‍රාවෝ රත්වත්තේ කුමාරිහාමි පත්කර ගන්නා ලදී. ඇය එකල උඩරැටියන් ගේ නායකයා ලෙස පිළිගනු ලැබූ කුඩා රත්වත්තේ අදිකාරම ගේ බිරින්දෑ ය. මේ රත්වත්තේ අදිකාරම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගේ පියාගේ සොහොයුරා ය. 
 
බෞද්ධ බාලිකා විදුහලක් පටන් ගැනීමට මුලින්ම සේරා සොයිසා මැතිනියට අදහස ඉදිරිපත් කරන ලද්දේ කරඳන අත්ථදස්සී ස්වාමීන් වහන්සේ ය. උන්වහන්සේ වාසය කළේ කටුකැලේ කන්ද උඩ පිහිටි ධර්ම යුක්තිකාරාමයේය. ඊට පහළින් තිබුණු ආගමේ පාසලට බෞද්ධ බාලිකාවන් ද එන්නේ බෞද්ධ බාලිකා විදුහලක් නොතිබුණු නිසා බව උන්වහන්සේ ට වැටහී තිබුණි. මෙය 1879 දී මෙතෝදිස්ත මිෂනාරින් ආරම්භ කළ උසස් බාලිකා විදුහලයි. (Girld High School) බෞද්ධ ළමයින් ද දෙවි මැදුරට යනවා දුටු උන්වහන්සේ බෞද්ධ බාලිකා විදුහලක අවශ්‍යතාව කීප දෙනෙකුට කීවත්, ඒ අය මේ ගැන උනන්දු වූයේ නැත. කෙසේ වෙතත් සේරා සොයිසා උනන්දු කරවීමට හැකි වුණේ ඉතා කනගාටුදායක අවස්ථාවක වීම ද විශේෂත්වයකි. 
 
එම කනගාටුදායක අවස්ථාව නම් - සොයිසා යුවළගේ එකම දරුවා හතර හැවිරිදි චූල පුතා උණසන්නිපාත රෝගයෙන් මිය ගිය මොහොතයි. සත් දින දානයට වැඩම කළ අත්ථදස්සි හිමියෝ හැඬූ කඳුළෙන් තම කාමරයේම සිටි සේරා මැතිනියට බණ කියා දුක තුනී කර, ඉනික්බිති දරුවා සිහිවීම් වස් පාසලක් අරඹන්නැයි යෝජනා කළහ.
 
ඒ කෙසේ නමුත් තනිවම විදුහලක් පිහිටුවීමට සේරා සොයිසාට ධනය නොතිබුණි. එහෙත් ඈට තත්වැසි නුවණත්, උපාය ඥානයත්, කාර්ය ශූරතාවත් තිබුණි. උඩරට රදළ ​ෙපළැන්තියේ කාන්තාවක හවුල් කර ගන්නේ නැතුව පහත රට කතක් වූ තමාට මේ කාර්යය කළ නොහැකි බව වටහා ගත් සේරා, චිත්‍රවෝ රත්වත්තේ මැතිනිය මෙම කාර්යයට කැමති කරවා ගෙන ඈට මුල් තැන දුන්නාය. චිත්‍රාවෝ රත්වත්තේ මහනුවර වාසී රදළ කන්තාවන් පමණක් නොව, බදුලු කෑගලු දිසාවල ද සිටි රදල කාන්තාවන් පවා ස්වකීය කුලඟන සමිතියේ වැඩට දායක කර ගැනීමට සමත් වූවාය.
 
 
කල්යත්ම උඩරට පහතරට භේදයක් නොමැතිව මහනුවර වාසී වැදගත් පවුල්වල කාන්තාවෝ වැල නොකැඩී කුලඟන සමිතියේ සාමාජිකාවෝ වූහ. එස්. ඒ. විජේතිලක මැතිනිය එහි මුල්ම සාමාජිකාවකි. ප්‍රෂ්පත්‍රය නමින් ත්‍රිකුණාමල වීදියේ බෞද්ධ බාලිකාවන්ට ‘සිංහල ඉස්කෝලයක් පටන් ගත්තේ ඇය බවට මෙම ග්‍රන්ථයේ සඳහන් වන අතර, තවත් පාසලක ඉතිහාසයක් ද සටහන් කොට ඇත. මීට සිය වසරකට පෙර යුගයේ 1924 දී ගුරු, හෙද සේවයේ යෙදී සිටි අතළොස්සක් හැර සිංහල කතුන්, විශේෂයෙන් බෞද්ධ කාන්තාවන් රැකියාවක් කළේ නැත. එම නිසා ඔවුන් ගේ අතේ මිටේ මුදල් තිබුණේ නැත. රදල ​ෙපළැන්තියේ කතුන්ට හා මහනුවර ව්‍යාපාරිකයන් ගේ බිරින්දෑවරුන්ටත්, ස්වාමියාගේ හෝ සහෝදරයෙකුගෙන් යැපෙන සාමාන්‍ය ගෘහනියන්ටත් මේ උදාර කාර්යයට දායක වීමට හැකිවන සේ  සිංහල ගෘහිනියන් අතර පැවති චිරාගත පුරුද්දක් උපයෝගී කරගැනීමට කටයුතු කෙරිණි. 
 
දිනපතා හාල් මිට මිට එකතු කිරීමට සාමාජිකාවන්ට මුලින්ම ලොකු මුට්ටි බෙදා දෙන ලදී .ඇති හැකි අය පමණක් නොව අගහිඟකම් ඇති අය පවා, නිවසේ එක් වේලකට යොදා ගැනෙන සහල් ප්‍රමාණයෙන්  මිට බැගින්, සපයා දුන් හට්ටියට එකතු කළහ. අවසානයේ සමිති රැස්වීම්වලදී සාමාජිකාවන් එකතු කළ හාල් විකුණා ලැබුණු මුදලෙන් අරමුදලක් ආරම්භ කරන ලදී. මුල් මාසයේ හාල් විකිණීමෙන් ලත් ආදායම රු.176 ශත 60 කැයි, 1923 අප්‍රේල් 4 වැනිදා මුල් වාර්තාවේ සඳහන් ය. අද මෙය සොච්චමකි. නමුත් හාල් සේරුවක් ශත 6 ක් 7 ක් තරම් වූ ඒ කාලයේ මෙය අතිවිශාල මුදලක් විය.
 
අරමුදලට කෙමෙන් මුදල් එකතු විය. තවදුරටත් මුදල් එකතු කිරීමට කුලඟන සමිතිය යොදා ගත් වෙනත් ක්‍රමයක් නම්, “නෝනා මහත්මීන්” කුඩා මැටි කැට අරන් සම්මාදමේ යාමය. භාණ්ඩාගාරික හෙන්රියේටා අතුකෝරලගේ පුත් වෛද්‍ය ආනන්ද අතුකෝරලට නගරයේ සමහර ප්‍රභූන් ගෙන් ලොකු ගණන් ලැබුණු බව පොතේ සඳහන්ය. මිටි හාල් විකිණීමෙන් ද, දොරින් දොර සම්මාදමේ යාමෙන් ද, වෙසක් සල්පිල් පොසොන් සල්පිල්, ඇසළ සල්පිල් පවත්වමින් ද ලැබුණු ආදායමෙන් හා ප්‍රභූන් ගෙන් හා හිතවතුන් ගෙන් ලැබුණු පරිත්‍යාගවලින් ද අරමුදල ටිකෙන් ටික තර වන්නට විය. 
 
එමෙන්ම 1924 නොවැ. 20 වැනිදා කටු කැලේ ධර්මයුක්තකාරාමයේ ධර්ම ශාලාවේ පවත්වන ලද රැස්වීමේ මූලාසනය හෙබ වූ අනගාරික ධර්මපාලතුමා - සමිතියේ පරමාර්ථය හා කටයුතු ගැන පැහැදී රු. 1000 ක් අරමුදලට ලබා දුන්නේය. අරමුදලට මුලින්ම ලැබුණු විශාලතම පරිත්‍යාගය එයයි. 1926 දී අරමුදලේ රු. 17,704.28 ක් විය. 1927 දී කුලඟන සමිතියේ 3 වැනි සංවත්සරික රැස්වීම පැවැත්වූ දා අරමුදල රු. 21,333 තෙක් වර්ධනය වී ඇති බව භාණ්ඩාගාරික ගේ වාර්තාවේ සඳහන්ය. 
 
අරමුදලට මුදල් එකතු කිරීමට සේරා සොයිසා නොගත් උත්සාහයක් නැත. ‘සේරා සොයිසා කුලඟන සමිතියට සිදු කළේ ශරීරයට හෘදයෙන් කෙරෙන කාර්යයට සමාන කාර්යයකි.  ඒ බැව් එක් රැස්වීමක දී කුලඟන සමිතියේ අනුශාසක රත්වත්තේ අදිකාරම පැවසුවේ - රැස්වීමේ සිටි සියල්ලෝ සිනා සයුරක ගිල්වමිනි.
 
දන්නා අඳුනන අය ගෙන් ද, බෞද්ධ කටයුතුවලට අත හිත දෙන අය ගෙන් ද මුදල් එකතු කිරීමට සේරා කොළඹ ගියේ මේ අතර ය. 
 
 
කොළඹ ගිය සේරා - “හෙලේනා විජේවර්ධන මැතිනිය” ද හමු වූවාය. ඇය “ලේක්හවුස් නිර්මාතෘ - ඩී.ආර්. විජේවර්ධන” ගේ මව ය. අන් ලෙසකින් කියන්නේ නම් - වත්මන් “ලංකාදීප පුවත් ආයතනයේ” හිමිකාර රංජිත් විජේවර්ධනගේ මිත්තණිය ය. පැමිණි කාරණය අසා උදව් කිරීමට ළමාතැනී එකඟ වූවාය. ඒ කෙසේ වෙතත් සති කිහිපයකට පසු සේරා සොයිසා නැවත සිය නුවර නිවසට ගියේ හිස් අතිනි.
 
ඒ එන විට ඇගේ නමට ලියමනක් ලැබී තිබුණි. එහි රු. 1000ක චෙක් පතක් විය. එය හෙලේනා විජේවර්ධන ළමාතැනී ගෙනි. ඒ චෙක්පත දුටු ඈ “කොළඹ ගිහින් මහන්සි වුණ එක වටිනවා” යි තමන්ටම කියා ගත්තාය. 
 
1931 වර්ෂයේ මැයි 31 වන දින ජේ. සී. රත්වත්තේ විසින් විදුහලට මුල්ගල තබන ලදී. 1932 ජනවාරි 14 දින වෙස්ටික්ලිෆ් ගොඩනැගිල්ලේ දී “බෞද්ධ බාලිකා විදුහල” නමින් මෙම විදුහල තාවකාලිකව ආරම්භ කරන ලද බව සඳහන්ය.
 
West Cliffe House අයිතිකරු අනගාරික ධර්මපාලතුමා ය. කෝපි කාලේ වැවිලිකරුවකු විසින් ඉදිකරන ලද මේ නිවස ධර්මපාල තුමා  විසින් මිල දී ගෙන - සාමණේරවරුන් ධර්මදුත මෙහෙවරට පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස යොදා ගෙන තිබුණි. ධර්මපාල තුමා තම මිතුරන් සමග කතා බස් කරද්දී වාඩි වී සිටි ගල් බංකු දෙකක් මේ ඉතිහාස කතාව ලියන අවධියේ දීත් මීට විසි පස් වසරකට පෙර භූමියේ තිබුණු බව කෘතියේ සංස්කාරිකා ඉන්ද්‍රාණී මීගම සටහන් කොට ඇත. මුල දී ශිෂ්‍ය නේවාසිකාගාරය වූ මෙම නිවස පසුව මහාමායා විදුහලේ ලේඛනාගාරය බවට පත්විය.
 
මේ වකවානුව මුළු ලෝකය ගොදුරු කර ගත් ආර්ථික අහේනිය (Depression) පටන් ගත් යුගයක් විය. ලෝක ආර්ථික අහේනිය නොසලකා නොතකා බෙනට් සොයිසා වරින් වර පරිත්‍යාග කළ මුදල රුපියල් දාහත් දාහක් පමණ විය. පාසල් ගොඩනැගිල්ලේ වැඩ නිමවන තුරු බලා නොසිට 1932 පාසල් වාරයේ ආරම්භයත් සමගම නව විදුහල ආරම්භ කොට ඇත. 1932 ජනවාරි 14 වැනිදා 10.25ට යෙදුණු සුබ මොහොතින් ලෙව්කේ රත්වත්තේ කුමාරිහාමි පීත්ත පටිය කපා පාසල විවෘත කළ පසු - ඇගේ පස් හැවිරිදි මිනිබිරිය අමරා රත්වත්තේ සහ ඇගේ පියා කුඩා රත්වත්තේ අදිකාරම් පාසල් ගොඩනැගිල්ලට ප්‍රථමයෙන් ඇතුළු වූහ. එයින් පසු සිල්වා කුලරත්න විදුහල්පතිතුමිය සිසුවියන් 12 දෙනෙකු හා ගුරුවරියන් 3 න් දෙනෙකු සමග ඇතුළු වූවාය. එදින සිසුවියන් 12 දෙනෙකු පාසලට ඇතුළත් කර ගන්නා ලදී. ඉන් 10 දෙනෙක් නේවාසික ශිෂ්‍යාවෝ වූහ. 
 
නව ගොඩනැගිල්ල ගොඩනැගීමට මාස 3 ක කාලයක් ගත විය. එම වසරේ අගෝස්තු 27 වැනිදා ආණ්ඩුකාර ග්‍රීම් කොම්ප්සන් හා එම ආර්යාව විසින් නව ගොඩනැගිල්ල විවෘත කරන ලදී. එම අවස්ථාවට පැමිණ සිටි එවකට රාජ්‍ය මන්ත්‍රණ සභා සභාපති ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, 1890 දී මහනුවර ආරම්භ කරන ලද පාසලක් පිළිබඳ මතකයක් සභාවට නිදසුන් ලෙස දක්වමින් - “එය අවුරුද්දක් වත් පවත්වා ගෙන යාමට නොහැකි වූයේ විදුහල් පරිපාලනය හා සෙසු කටයුතු අධීක්ෂණයට යාන්ත්‍රණයක් නොපැවති නිසා බැව් පෙන්වා දුන්නේය. ඉනික්බිති එතුමා අවධාරණයෙන් දක්වා ඇත්තේ පාසල පටන් ගත් කුලඟන සමිතිය ට ඉදිරියටත් ලොකු කාර්යභාරයක් ඇති බවය. මහාමායාව ආරම්භ කළ මුල් අවුරුද්දේම මහාමායාවට ඇතුළත් කරනු ලැබූ හේමා අබේරත්න පසු කලෙක විශාඛා විදුහල්පතිනිය මෙන්ම නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් ධුරයට ද පත් වූවාය. 
 
ඒ යුගය ගැන හේමා සටහනක් තබා ඇත්තේ මෙසේය. 
 
“ශ්‍රීමත් ඩී.බී.ජයතිලක කීවා වාගේම කුලඟන සමිතිය කර ඇරියේ නැත. සමිතිය බිහි කළ දරුවා හදා වඩා ගැනීමට සේරා සොයිසා තරම් කාලයත්, ධනයත්, ශ්‍රමයත් කැප කළ කෙනෙක් නැත. නේවාසිකාගාරයට අවශ්‍ය බඩු මුට්ටු ද, වෙනත් කළමනා ද, එතුමියගේ වියදමෙන් ගෙනැවිත් එය පවත්වා ගෙන ගිය අතර - එහි පරිපාලනය ද ඇය අතට ගත්තාය. ‘කොයි වෙලාවත් ඇය පාසලේ කොහේ හෝ හිටියා. අපි ඈට කිවේ ’‘සුදු අම්මා’ කියලා.” 
 
මේ අතර 1960 ජනවාරි 01 දින මහාමායා බාලිකා විදුහල රජයට පවරා ගන්නා ලදී. විදුහල් ලාංඡනය ද, විද්‍යාලයීය නිල ඇඳුම ද, සිංහල විදුහල් ගීය ද, නිර්මාණය වූයේ  රජයට පවරා ගැනීමෙන් පසු බව ග්‍රන්ථයේ සටහනක් තබා නැත. බොහෝ පාසල්වල ඉතිහාසය ලියන විට එම පාසල ගැන ගසන පම්පෝරිය මෙම විකසිත මහාමායාව ග්‍රන්ථයේ දක්නට නැති වීම සුවිශේෂත්වයකි.
 
එසේ හෙයින් මිටි සහල් රසයෙන් විකසිත මහාමායාව හුදු පාසලක කතාවක් ලෙස ලඝුකොට දැක්විය නොහැක. එමෙන්ම මෙම ග්‍රන්ථය - සිංහල බෞද්ධ සභ්‍යත්වයෙහි කාන්තාවන්ට හිමිව තිබූ ස්වාධීනත්වය හා අයිතිවාසිකම් යටපත් කොට යටත් විජිත සමාජය ඔවුන් වෙත ගෙන ආ පසුගාමීත්වය අතික්‍රමණය කරමින්, තම හර පද්ධතීන් පාවා නොදෙමින්, දියණිවරුනට නූතන අධ්‍යාපනයක් ලබාදීමට කළ අධිෂ්ඨාන සහගත අරගලයක ලිඛිත ඉතිහාසය සටහන් කර තැබීමක් ලෙස දැක්විය හැකිය.
 
සේරා සොයිසා, චිත්‍රාවෝ රත්වත්ත, බර්තා අයිරින් රොජර්ස්, සෝමා කුමාරණතුංග ගුණවර්ධන යන පරමාදර්ශී කාන්තා චරිත මේ කෘතියේ ජීවමාන කොට තිබේ. අනගාරික ධර්මපාලතුමා, ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, පී. ද ඇස්. කුලරත්න, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර, රාජනීතිඥ බෙනට් සොයිසා, එන්. ඊ වීරසූරිය ආදී ප්‍රකට චරිත අපට මේ කෘතියේ දී ඊටත් අමතරව හමුවන්නේ සජීවී ලෙසය. 
 
ඉන්ද්‍රානි මීගම තමන් උගත් පාසල ගැන ගැඹුරු කාර්ය සාධනයක නියැළී ආස්වාදනීය ඉතිහාස ග්‍රන්ථයක් නිර්මාණය කොට ඇති අතර, එය හුදෙක් මහාමහායාවට පමණක් සීමා වූවක් නොව, මෙරට ජාතික තලයේ බාලිකා විදුහල් ඉතිහාසය ලිඛිතව සටහන් කිරීමක් ලෙස ඉතිහාසගත වනු නියතය.
 
එම නිසා මේ කෘතිය පරිශීලනය කළ යුතුව තිබෙන්නේ මහාමායාවේ ආදී හා වර්තමාන ගුරු ශිෂ්‍ය සියලු දෙනා විසින් පමණක් නොවන බවට දෙවැනි වරට ද සපථ කළ යුතුව ඇත. 
 
එමෙන්ම අධ්‍යාපනයේ ඉතිහාසය පිළිබඳව උනන්දු වන සියලු දෙනා මෙන්ම අඬබෙර නොගසා නිහඬ සේවයක් ඉටු කරමින් උඩරට ප්‍රදේශයන්හි ගෘහිනියන් විසින් එකතු කරන ලද හාල් මිට අලෙවි කොට තනනු ලැබූ මහාමායාවේ දොරටුවෙන් ලෝකයට පිවිසුණු බාලිකාවන් ගැන කදිම පැතිකඩක් ලෙස මෙම කෘතිය හැඳින්විය හැකිය.
 
අවසන් වශයෙන් කිව හැක්කේ මහනුවර මහාමායා විදුහලේ පුරාවෘත්තය මෙහි ලේඛන ගත කොට ඇති ඉන්ද්‍රානි මීගම විසින් රචනා කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ සියවසක අධ්‍යාපන පුරාවෘත්තය නමැති පුළුල් සන්දර්භය බවත්, එහි එන මූලාශ්‍ර ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසයක් විකාශනය ගැන කෙරෙන කවර හෝ අධ්‍යාපනයකට අතිශයෙන්ම ප්‍රයෝජවත් විය හැකි ඉතිහාසය ග්‍රන්ථයක් වනු නොඅනුමාන බවත් ය.