පොසොන් මසේ ග්‍රහ ගමන ඔබේ ලග්නයට කරන බලපෑම


 

 

 

 

පොදු තත්ත්වය :-   


මේෂ ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති කුජ හා ලග්න නැකත් අධිපතීන් සුබාසුබ මිශ්‍ර බලයෙන් යුක්තව මෙම මස තුළ ගමන් කිරීම මුල්කොට මෙම මාසය ඔබගේ අත්‍යවශ්‍ය කටයුතු කෙරෙන්ද සුබාසුබ මිශ්‍ර බවක් ගොඩනැගේ. එනමුදු ගෞරවය ආරක්ෂා කරගෙන කටයුතු කරන්නා වූ ගෙදර දොර කටයුතු ගැන හොඳින් සොයාබලා ක්‍රියාකරන ස්වභාවය ද ඔබ කෙරෙන් මෙම මස තුළ ගොඩනැගේ. 

 
අධ්‍යාපනය - ආර්ථිකය - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය:-   


මෙම මස තුළ ඔබගේ සියලු අධ්‍යාපනික කටයුතු අවහිර බාධාවකින් තොරව කෙරෙනු ඇත. විශේෂයෙන් තම අධ්‍යාපන කටයුතු නව මගකට යොමුවෙන මාසයකි. පොතපත කියවීමට පෙරට වඩා කාලය යොදවයි. බලපෑ උදාසීන ගති පහව යනු ඇත. එසේම මෙය දැනුමට අලුත් යමක් එකතු වන මාසයකි.   


අවසන් සති දෙකේදී මූල්‍ය ක්ෂේත්‍රයේ බලපෑ ප්‍රශ්න ගැටලු කිහිපයක් නිරාකරණය වනු ඇත. එහිදී ක්‍රමානුකූලව වැඩි මහන්සියක් නැතිව ආදායම් ලැබෙන විදියට කටයුතු පිළියෙල වේ. කිසියම් මුදලක් අතට ලැබීමෙන් ණයකාරයෙකුගෙන් නිදහස් වීමට ඉඩකඩ සැලසේ. එහෙත් ඉඩකඩම්වලින් ලාභප්‍රයෝජන ලැබීම සුළු වශයෙනි. අනවශ්‍ය වියදම් ද යෙදේ.   


ගෘහජීවිතය හා විවාහ දිවිය:-   


ඔබට මෙම මාසය තුළ අදහස් කළ අන්දමට හෝ සැලසුම් කළ පරිදි ආදර සබඳතා හෝ විවාහ කටයුතු සිදුවීම නිසා හිතට සහනය සතුට ඇතිවන්නේය. කල්යල් ඇද ඇද පැවති විවාහ යෝජනාවක් හෝ පෙම් සබඳතාවයකට අදාළ කටයුත්තක් ස්ථිර තහවුරු වන අන්දමේ යමක් සිදුවේ. එහෙත් ගමන් බිමන් හේතුවෙන් ඇතිවන දැන හැඳුනුම් මුල්කොට කරදර ඇතිවීමේ ඉඩක් ඇත. මීට අදාළ කටයුතු හේතුවෙන් මුල් දින 10 තුළදී වරින් වර නිශ්ප්‍රයෝජන ගමන් යෙදේ.   

 

 

 

පොදු තත්ත්වය:- 


වෘෂභ ලග්න හිමි ඔබගේ ලග්නාධිපති හා ලග්න නැකත් අධිපතීන් මෙම මස අවසන් සති දෙක තුළ බලයෙන් යුක්තවන හෙයින් එබැවින් එම සති දෙක තුළදී ඔබ දින කිහිපයක් තිස්සේ බලාපොරොත්තු වූ දෙයක් ලැබීම නිසා සිත් සතුටට කරුණු සැලසේ. එමෙන්ම මහන්සියෙන් යම් වැඩක් කිරීමට සිදුවුවත් ඉන් සාර්ථක ඵල ලැබේ. විශේෂ උත්සවවලට සහභාගි වීමට අවස්ථාව උදාවේ.   


අධ්‍යාපනය - ආර්ථිකය - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය:-   


මුල් සති දෙක තුළ දක්‍ෂතා පෙන්වූ විෂයන් කෙරේ උදාසීන ගති මතු කරයි. උනන්දුවෙන් කැපවීමෙන් අධ්‍යාපන කටයුතුවල නිරත විය යුතුයි. එසේම මෙහිදී ඔබ අධ්‍යාපනික කටයුතු, පාඨමාලා වැනි කටයුතු සඳහා විදේශගත වීමට හෝ දුර බැහැර පෙදෙසක යාමට සිත යොමුකරයි. සමස්තයක් ලෙස ඔබ මෙම මස තුළ සියලු අධ්‍යාපන කටයුතුවලට උනන්දු වන්න. ආත්ම විශ්වාසයෙන් ඒවායේ කටයුතුවල යෙදෙන්න.   


අධිෂ්ඨානශීලීව රැකීරක්‍ෂා වෙ​ෙළඳ ව්‍යාපාරාදී කටයුතුවල නිරත වුවහොත් දැඩි ගැටලු ඇති නොවී දියුණුවට කටයුතු පිළියෙල කර ගත හැක. ජුනි මුල් සති දෙක තුළ තරග විභාග, සම්මුඛ පරීක්‍ෂණාදියට කැඳවීම් ලිපි ලැබේ. නැතහොත් තම දක්‍ෂතාවට ගැළපෙන තාවකාලික රැකියාවක් හෝ ලැබේ. රාජකාරියට හා ව්‍යාපාරික කටයුතුවලට පැනනගින සතුරු කුමන්ත්‍රණ, විරුද්ධවාදිකම් කෙරේ මෙම මස අවසන් සති දෙකේදී අවධානයෙන් පසුවන්න.   


ගෘහජීවිතය හා විවාහ දිවිය:-   


අවසන් සති දෙක තුළ ආදර සබඳතා හා දැන හැඳිනුම් වැනි දෑ කෙරෙන් යහපත් වන අතර, මුල් සති දෙක මේවා කෙරෙන් අසහන, සිත් තැවුල් මතුවන පසුබිමක් ගොඩනැගේ. විශේෂයෙන් මෙම මාසයේදී ඔබට නුසුදුසු හා නොගැළපෙන සබඳතා ගොඩනැගීමට ඉඩ ඇති බැවින් එවැනි දේට නතු නොවන්න. දෙදෙනා තුළ සැක කටයුතු උපදවන දෑ සිදු නොවන ලෙස අන්‍යොන්‍ය අවබෝධයෙන් කටයුතු කරන්න. මේවායේ කාර්යයන්ට ශුභාශුභ මිශ්‍ර බවක් ගොඩනැගෙයි.    

 

 

 

පොදු තත්ත්වය:-   


ඔබගේ ලග්නය පරිදි යෝගකාරක ග්‍රහයින් හා ලග්නාධිපති බුද මෙම මස පුරාවටම මෙන් බලයෙන් යුක්තව ගමන්කරන හෙයින් මෙම මාසය තුළ ඔබට අලුත් ප්‍රවේශයකට අනුව නව මඟක ගමන් කිරීමට හැකියාව ලැබෙන්නේය. උනන්දුවේ උත්සාහයේ ප්‍රතිඵල මැනවින් ලැබේ. එසේම මෙය සිතට සතුට උපදවන දෑ සිදුවන මාසයකි. තම නම ප්‍රසිද්ධ වන විදියේ යහපත් දෙයක් ද මෙහිදී සිදුවේ. ආගිය තැන කැපී පෙනෙන තත්ත්වයකට පත්වේ.   


අධ්‍යාපනය - ආර්ථිකය - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය:-   


ඔබ මෙම මස තුළ අධ්‍යාපන කටයුතු කෙරෙන් දක්ෂතා පෙන්වයි. ඉගෙනීම් කටයුතුවල නියුතු වන මිථුන ලග්න හිමියන්ට එමගින් අපේක්‍ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වන්නේය. සහජ දක්‍ෂතා දියුණුකර ගැනීමටත්, වෘත්තීය පාඨමාලාවන්ගෙන් හැකියා කුසලතාවයන් පෙන්වීමටත් ඉඩකඩ ලැබේ. අධ්‍යාපනය බාධාවකින් තොරව කෙරෙනු ඇත.   


රැකියා ව්‍යාපාරික කටයුතු හොඳින් කෙරෙන මාසයකි. නව රැකියා අවස්ථාවකටත් පසුබිම සැකසේ. විදෙස් රැකියා අපේක්‍ෂා ඉටුකර ගත හැකි වේ. තම ව්‍යාපාරාදියේ අත්‍යාවශ්‍ය කාර්යයන් සාර්ථක කර ගැනීමටත් අවස්ථාව සැලසෙන්නේය. තාවකාලික රැකියා ස්ථිර තහවුරු වනු ඇත. මීට අදාළ බලාපොරොත්තූ ඉටුවේ. රැකියා ආයතනය තුළ ඔබ අගය කරන සම්මානයකට පවා පාත්‍ර වන දෑ සිදුවෙයි.   


ගෘහජීවිතය හා විවාහ දිවිය:-   


මෙම මස මුල් සති දෙක තුළදී විවාහකාරක සිකුරු බලයෙන් යුක්තව ශුභ යෝගයන්ගෙන්ද සමන්විතව ගමන් කරන නිසා ප්‍රේම දිවිය හා යුග දිවිය තෘප්තිමත්ව ගත කිරීමට හැකිවේ. ඔබගේ ආදර සබඳතා මෙන්ම විවාහයට අදාළ කාර්යය කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පසුබිම සැකසෙන්නේය. ආදර කටයුත්තක් සම්බන්ධව හදිසි තීන්දු තීරණයන්ට නිගමනයන්ට එළඹීමට අවස්ථා සැකසෙන අතර අවිවාහකයනට විවාහ යෝජනා ප්‍රේම සබඳතා පවා මෙහිදී සැකසෙන්නේය.   

 

 

 

 

පොදු තත්ත්වය:-   


කටක ලග්නය හිමි ඔබගේ යෝගකාරක ග්‍රහ බලය මෙම මස තුළ බලයෙන් යුක්තව පවතින නිසා ඔබට මෙම මාසය වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙල වන්නේය. ගෙදර දොර පවුලට සම්බන්ධ මෙන්ම තම දෛනික කාර්යයන්ට සම්බන්ධ කටයුතු හොඳින් ඉටුකර ගැනීමටත් හැකිවන්නේය. ක්‍රියා ශූරත්වයෙන් යුතුව දෛනික කාර්ය කටයුතුවල නිරත වීමටත් හැකි වන්නේය. දුෂ්කර දෑ කිහිපයක් සාර්ථක කර ගැනීමට පහසුකම් සැලසෙනු ඇත. ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සැලකිලිමත් වුවහොත් අනාගත අභිවෘද්ධියට අදාළ සැලැස්මකට අඩිතාලමක් දමා ගැනීමට ද හැකිවනු ඇත.   


අධ්‍යාපනය - ආර්ථිකය - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය:-   


විද්‍යස්ථානාධිපති බලයෙන් යුක්ත බැවින් ඔබ මෙම මස තුළ ඉගෙනීමට පොතපතට වැඩි උනන්දුවකින් කටයුතු කරයි. අධ්‍යාපනයට සම්බන්ධ අපේක්‍ෂිත ජයග්‍රහණයන් අත්පත් වන්නේය. පාසල් හා වෘත්තීය අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වයට හා දැනුම වැඩිදියුණු කර ගැනීමටත් යම් යම් අයගේ ආධාර මෙන්ම උගතුන්ගේ සහයත් ලැබේ.   


නව රැකියාවක් ලබාගැනීමට හා නියුතු රැකියාවේ හා ව්‍යාපාරයේ දියුණුවට අදාළ වන කාර්යයන් සාර්ථක වන්නේය. ව්‍යාපාරයේ වැඩිදියුණුව උදෙසා ද නව වෙනසකට කටයුතු පිළියෙල වේ. මේවාට බලපෑ රහස් සතුරු කරදර ඇතැම් බාධා යනාදියත් පහව යයි. රැකියා ව්‍යාපාරය කෙරෙන් තෘප්තිමත්භාවයක් ද ඇතිවන්නේය.   
ගෘහජීවිතය හා විවාහ දිවිය:-   


මෙම මස තුළ ඔබගේ ආදර සබඳතා හා විවාහයට අදාළ කටයුතු කෙරෙන් සිතට සතුට දනවන දෑ සිදුවේ. ප්‍රේමවන්තයා ප්‍රේමවන්තිය සමග ප්‍රීතිමත් ගමන් බිමන් යෑමටත් හැකිවන්නේය. මීට අදාළ බලාපොරොත්තු හා සැලසුම් ඉටුකර ගැනීමටත් හැකිවේ. විශේෂයෙන් මෙම මස තුළ ඔබගේ යුගදිවියේ හා ප්‍රේම දිවියේ කටයුතු සම්බන්ධයෙන් නවෝදයක් ද ඇතිවේ.  

 

 

 

පොදු තත්ත්වය:-   


ඔබගේ ලග්නාධිපති හා යෝගකාරක ග්‍රහයින් ප්‍රබලව කේන්ද්‍රයේ උපචයස්ථාන ගතව හැසිරෙන මෙම මාසය ඔබට හොඳ කලක් ලබන පෙරනිමිති දක්නට ලැබෙන මාසයකි. දෛනික කාර්යය කටයුතු බොහොමයක් සැලසුම් කළ පරිදි සාර්ථක වන්නේය. තෘප්තිමත්ව තම කාර්යය කටයුතුවල නිරත විය හැක. ආගිය තැන කැපී පෙනෙමින් කටයුතු කළ හැකිවෙයි. මෙය ඔබගේ දක්ෂතාවයට හැකියා කුසලතාවයට නිසි තැන ලැබෙන මාසයක් වනු ඇත.   


අධ්‍යාපනය - ආර්ථිකය - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය:-   


විද්‍යස්ථානය බලවත් බැවින් සිය අධ්‍යාපනික කටයුතු කෙරෙහි හා දැන උගත් අයගේ ඇසුර උදෙසා උනන්දුවක් ඕනෑකමක් දක්වයි. සැලසුම් සහගතව උ‌‌ද්‌යෝගයන් සිය ඉගෙනීම් කටයුතුවල නියුතු වීමටත් හැකියාව ලැබේ. එමෙන්ම මෙම මස තුළ ඔබගේ සියලු අධ්‍යාපනික කටයුතු බාධාවකින් තොරව කෙරෙනු ඇත. අළුත් වෘත්තීය පාඨමාලාවන්ට සම්බන්ධ වෙයි.   


රැකියා ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන්ද යහපත් වාතාවරණයක් ගොඩනැගේ. විශේෂයෙන් රැකී රක්‍ෂා ව්‍යාපාර කටයුතුවල නව වෙනසක් සිදුවන මාසයක්ද වන්නේය. උසස්වීම්වලට පසුබිම සැකසෙන අතර, විදෙස් රැකියා අපේක්‍ෂාවක්ද ඉටුවී සිතෙහි සහනයෙන් සතුටින් රාජකාරියේ නිරත වීමට හැකිවේ. මෙය ඔබේ උගත්කමට හැකියා කුසලතාවට නිසි තැන ලැබෙන මාසයකි.   


ගෘහජීවිතය හා විවාහ දිවිය:-   


මංගල භාවාධිපති හා විවාහකාරක සිකුරු බලයෙන් හැසිරෙන නිසා ඔබට පසුගිය කාලය තුළ ආදර කටයුතු විවාහ යෝජනා කෙරෙන් සිතට ඇතිවී තිබූ අසහන සිත් තැවුල්වලින් මිදී කටයුතු කිරීමට හැකිවන්නේය. එමෙන්ම මේවාට බලපා තිබූ වැඩිහිටි විරෝධතා ද නැතිවී ඔවුනගේ ආශිර්වාදයද ලැබේ. ආලය පිළිබඳ කටයුතු පහසුවෙන් ඇතිකර ගත හැක. සහකරු සහකාරියගේ පවුලේ අයගෙන් බලාපොරොත්තු වූ යමක් ලැබීමෙන් සිතට සතුටක් ගෙන දේ. ප්‍රේම දිවිය හොඳින් ගතවන සතියකි. 

 

 

 

පොදු තත්ත්වය:-   


කන්‍යා ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති හා ලග්න නක්ෂස්ත්‍රාධිපති වූ රවි, සඳු, කුජ යන ග්‍රහයින් ශුභාශුභ බලයෙන් යුක්තව හැසිරෙන මෙම මාසය ඔබට ද ශුභාශුභ මිශ්‍ර ඵල ගෙන දෙන්නේය. ජුනි මුල් සති දෙක තුළ අවහිර බාධා මධ්‍යයේ කටයුතු කිරීමට සිදු වූවත් අවසන් සති දෙක වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙල වේ.   


අධ්‍යාපනය - ආර්ථිකය - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය:-   


මෙම මස මුල් සති දෙක ඉගෙනීම් කටයුතුවල උදාසීනභාවය ඇති වේ. පොතට පතට යොමු නොවේ. එහෙත් මෙම මස අවසන් දින 15 තුළ වෘත්තීය හා පාසල් අධ්‍යාපනික කටයුතු කෙරෙන් නව වෙනසක්,

සාර්ථකභාවයක් ගොඩනැගේ. යම් යම් අධ්‍යාපනික ජයග්‍රහණයන් ද මෙහිදී සැලසේ. අධ්‍යාපනික උපකරණ ලාභද ගෙන දෙනු ඇත.   


ඔබේ රැකී රක්‍ෂා රාජකාරියට පිඩාකාරී තත්ත්වයක් මෙම මස තුළ ඇති නොවුණත් ආයතනය තුළ අනවශ්‍ය අය සමග කටයුතු නොකිරීමට සැලකිලිමත් වන්න. තමාගේ හැකියාවට දක්‍ෂතාවයට මැනවින් තැන ලැබේ. උසස් අයගේ සහයෝගයෙන් තනතුරු ලාභයන්ට මඟ පෑදේ. රාජකාරී හා ව්‍යාපාරික දැනුම වැඩි දියුණුවන මාසයකි. මුල් සති දෙකේදී රාජකාරි ස්ථානය තුළ වෙනත් සේවකයෙකු කරන අකටයුත්තක් නිසා තමාට ද චෝදනාවක් අසන්නට ලැබේ. රැකියාවක් හේතු කොටගෙන වෙහෙසකර ගමනක් ද යෑමට සිදුවේ.   


ගෘහජීවිතය හා විවාහ දිවිය:-   


කේලාම් කටකතා ඔස්සේ යුග දිවියට හා ප්‍රේම දිවියට අදාළ යම් තීරණ ගැනීමට යොමු වීමෙන් විරුද්ධ ලිංගිකයා සමග පවතින සබඳකම් බිඳවැටීමට වුව ඉඩ තිබෙන බැවින් මුල් සති දෙක තුළ ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. පසුතැවීමට සිදුවන දෙයින් මිදෙන්න. බිරිඳ හෝ ස්වාමියා සමග නැතහොත් ඇසුරු කරන තරුණිය, තරුණයා සමග සිත් තැවුල් අමනාප ගති ඇති නොවන ලෙසට කටයුතු කරන්න. වරෙක කලබලකාරී ගතියත් නොඉවසීමත් නිසා යුග දිවියේ හා ප්‍රේම දිවියේ කටයුතු අවුල් කර ගැනීමට ඉඩ තිබේ.   

 

 

 

 

පොදු තත්ත්වය:- 


ඔබගේ ලග්නාධිපති ශනි හා ලග්නක්‍ෂස්ත්‍රාධිපතීන් මෙන්ම යෝගකාරක ග්‍රහයින් තරමක් දුර්වලව ගතකරන හෙයින් ඔබට මෙම මාසය පොදුවේ අභියෝග ජයගෙන අවහිර බාධා මැඩගෙන සිය දෛනික කාර්යය කටයුතු කරගෙන යාමට සිදුවන බව සිතට ගෙන කටයුතු කරන්න. නැතහොත් උත්සාහයන්හි තරමට ප්‍රතිඵල අත්කර ගත හැකි නොවේ.   


අධ්‍යාපනය - ආර්ථිකය - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය:- 

 
විද්‍යාස්ථානාධිපති හා විද්‍යාකාරක බුදගේ තත්ත්වය පරිදි ඔබගේ සියලු අධ්‍යාපනික කටයුතු සිතැඟි පරිදි අපේක්‍ෂා කළ අයුරින් කරගෙන යාමේදී බාධක යෙදෙන බැවින් ඒ කෙරේ අවධානයෙන් පොතපත කියවීමටත්, දැනුම බුද්ධිය වර්ධනය කර ගැනීමටත් ආශාවෙන් කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතු අතපසුව දෑ සිදුවෙයි.   
උසස් නිලධාරින්ගෙන් ස්වාමි පක්‍ෂයෙන් කරදර ඇතිවීමට ඉඩ තිබෙන නිසා තම කාර්යය කටයුතු වගකීමෙන් කිරීමට සැලකිලිමත් වන්න. වෘත්තීය තෘප්තිමත්භාවයක් ඇති නොවන මාසයකි. රැකියා ස්ථානයේ සෙසු සේවකයන් සම්බන්ධ ප්‍රශ්නවලදී හැකිතාක් දුරට නිහඬ ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමට සැලකිලිමත් වන්න. රැකියා ස්ථානය තුළ අස්ථාන චෝදනා වැනි කරුණුවලට තුඩු දෙන දෑ සිදුවේ. බාහිර කරදර හේතුවෙන් රාජකාරි කටයුතු නිසි පරිදි කරගෙන යාමට අසීරු තත්ත්වයක් උද්ගත වේ.   


ගෘහජීවිතය හා විවාහ දිවිය:-  


විවාහ කාරක සිකුරු හා මංගල භාවාධිපති කුජ දුර්වලව ගමන් කරන හෙයින් ආදර සබඳතා හා විවාහ කටයුතුවලට රහස් සතුරු කුමන්ත්‍රණ හා විරුද්ධවාදීන්ගෙන් අයහපත් බලපෑම් එල්ල විය හැකි බැවින් දෙදෙනාට දෙදෙනා නිසි අවබෝධයෙන් කටයුතු කරන්න. සබඳතා තහවුරු කර ගැනීමටත් උනන්දු වන්න. බලාපොරොත්තු නොවූ හදිසි ගමන් බිමන් නිසා ඔහුට හෝ ඇයට දුන් පොරොන්දු ගිවිසුම් බොහෝ දුරට වෙනස් කිරීමට සිදුවේ. ප්‍රේම දිවියේ හා විවාහ දිවියේ ගෞරවය ආරක්‍ෂා කර ගැනීමට උත්සහ ගන්න.   

 

 

 

 

පොදු තත්ත්වය:-   


වෘශ්චික ලග්නය හිමි ඔබගේ පොදු ග්‍රහබලය මෙම මස අවසන් සති දෙක තුළ බලයෙන් යුක්තව තිබෙන නිසා එම කාලය යහපතට කටයුතු පිළියෙල වන්නේය. එහිදී සිතැඟි පරිදි සිය කාර්යයන් ඉටු වන්නේය. උත්සාහයන්හි ප්‍රතිඵල අත්කර ගත හැකි වෙයි. ඔබට විවිධ පුද්ගලයින් ඇසුරට අවස්ථාව සැකසේ. ප්‍රමාද වූ වැඩ කටයුතු රැසක් සිතැඟි පරිදි සාර්ථක වේ. මුල් සති දෙක ශුභ ඵල හීන බැවින් හොඳින් සිතා බලා කටයුතු ක්‍රියාවන්හි නිරතවන්න. මෙහිදී ජීවන වටපිටාව පරිසරය සම්බන්ධිත කරදරකාරී වාතාවරණයක් ගොඩනැගීමට වුව පුළුවන.   


අධ්‍යාපනය - ආර්ථිකය - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය:-   


විද්‍යස්ථානාධිපති බලයෙන් යුක්ත බැවින් අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙන් විවිධ දක්ෂතා පෙන්වීමට මෙම මාසය තුළ අවස්ථාව සැලසේ. ඉගෙනීම් කටයුතු බාධාවකින් තොරව කරගෙන යන අතර අධ්‍යාපන කටයුතුවලට යහපත්ය. තම පාසල් හා වෘත්තීය අධ්‍යාපන කටයුතු සඳහා පසුගිය දිනවලදී පැවති බාහිර හා අභ්‍යන්තරික දුෂ්කරතා ප්‍රශ්න මඟහැරී යයි.   


ධන අය භාවාධිපතීන් බලයෙන් යුක්තව හැසිරීම හේතුකොට බලන කල මෙම මාසය තුළදී ඔබගේ ආදායම් තත්ත්වයේ ප්‍රගතියක් පෙන්නුම් කරයි. විකිණීම්, මිලයට ගැනීම් ආදියෙන් ලාභ ප්‍රයෝජන සැලසේ. හදිසි ධන ලාභාදිය වුවත් ලැබීමටද ඉඩ ඇත. ණය ගනුදෙනු අපේක්‍ෂාවන් ඉෂ්ට සිද්ධවීම සිදුවේ. උරුම හිමිකම් ප්‍රශ්න, බදු ප්‍රශ්න යනාදිය විසඳේ. අවශ්‍යතා සපුරා ගැනීමට මුදල් ලාභ ලැබෙන මාසයකි.

   
ගෘහජීවිතය හා විවාහ දිවිය:-   


ඔබට මෙම මස තුළදී ආදර සබඳතා හා විවාහ යෝජනාදියට සම්බන්ධ අරමුණු සැලසුම් පහසුවෙන් ඉෂ්ට සිද්ධකර ගැනීමට හැකිවන්නේය. සමාජීය ඇසුර, විවිධ ගමන් බිමන් මුල්කොට විරුද්ධ ලිංගික සබඳකම් ගොඩනැගේ. මේවාට බලපා තිබූ ගැටලු සහගත තැන්, ප්‍රශ්නකාරී ස්වභාවයන් පහව යයි. විරුද්ධ ලිංගික ඇසුර වැඩි වශයෙන් ලැබෙන මාසයකි. යුගදිවි ගෙවන්නන් තුළත් පැවති මතබේදකාරී ස්වභාවයන් පහව යන වාතාවරණය මෙම මස තුළදී ගොඩනැගේ.  

 

 

 

පොදු තත්ත්වය:-   


ධනු ලග්නය හිමි ඔබට මෙම මාසය ශුභ ඵල ගෙන දෙන සැටියක් පෙන්නුම් කරයි. ඔබගේ ආත්ම විශ්වාසය අත්නොහැර උනන්දුවෙන් උත්සාහයෙන් දෛනික කාර්යය කටයුතුවල යෙදෙන්න. බලාපොරොත්තු දේ ලැබෙන අපේක්‍ෂා ඉටුවන සාමාන්‍යයෙන් දියුණුවට කටයුතු සිදුවන මාසයකි. ප්‍රයෝජනවත් කෙටි ගමන් බිමන් ද ඇති වේ. ගෙදර දොර නවීකරණය කිරීමට හෝ අලුත් වාසස්ථානයකට යෑමට හෝ පසුබිමක් සැකසේ. විශේෂයෙන් කිවයුතු වන්නේ මාසය පුරාවටම මෙන් කලබලයට කටයුතු නොකරන්න.   


අධ්‍යාපනය - ආර්ථිකය - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය:-   


මෙම මස අවසන් සති දෙක තුළ ඔබගේ ආර්ථිකමය හා දේපළමය කටයුතු කෙරෙන් එතරම් සෑහීමකට පත්විය හැකි යමක් සිදු නොවුණත්, මුල් සති දෙක තුළදී හිඟ මුදල් දිරි දීමනා වැනි මූල්‍ය ලාභයන්ද ලැබෙනු ඇත. විකිණීම් මිලයට ගැනීම් ආදියෙන් සුලු වශයෙන් ලාභ ප්‍රයෝජන සැලසෙන්නේය. කෙසේ නමුත් ඔබ මෙම මාසයේදී උසස් ක්‍රියාවක යෙදී ගරු සරු ලබමින් කිසියම් ආදායමක් ලබයි.   


කැපවීමෙන් රැකී රක්‍ෂා ව්‍යාපාරයන්හි නිරතවන්න. උනන්දු වෙන්න. සැලසුම් සහගතව කටයුතු කළහොත් මෙම මස මුල් සති දෙකේ දී රැකියා, ව්‍යාපාරයන් හි කිසියම් ප්‍රගතියක්ද අත්පත් කර ගැනීමටත් හැකිවන්නේය. රැකියා ව්‍යාපාරයකට බලපෑ ප්‍රධාන බාධාවක් ද එහිදී ඉවත්ව යයි. රාජකාරී දැනුම වර්ධනය කර ගැනීමටත් අවස්ථාව සැලසෙන්නේය.   


ගෘහජීවිතය හා විවාහ දිවිය:-   


ඔබට මෙම මස තුළ සංචාරක ගමන් බිමන් විනෝද සවාරි හෝ උත්සව ආදියට සම්බන්ධ වීමක් හේතු කොටගෙන ආදර සබඳතා විරුද්ධ ලිංගික දැන හැඳිනුම් ගොඩනැගෙන්නේය. එසේම ඔබ මෙම මස තුළදී නොසොයා නොබලා හසිදියේ ගන්නා තීන්දු තීරණ නිසා විවාහ දිවියේ හා ප්‍රේම දිවියේ ගැටලු ප්‍රශ්න මතුවීමටත් ඉඩ තිබෙන නිසා හැඟීම්වලට වහල් නොවී කටයුතු කරන්න. ශුභාශුභ මිශ්‍ර බවක් මේවායේ කටයුතු කෙරෙන් ඇතිවන්නේය.   

 

 

 

 

පොදු තත්ත්වය:-   


මකර ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති ශනිගේ හා යෝගාකාරක සිකුරු දැඩිපීඩාවකට නතුනොවී මෙම මස තුළදී ගමන් කිරීම මත මෙම මාසය ඔබට ශුභ ඵලදායක වන්නේය. අලුත් වැඩකටයුතු රාශියක් ගොඩනැගීමට අවස්ථාව සැලසේ. වැඩකටයුතුවලට පැවති අවහිර බාධා පහව යයි. ආත්ම විශ්වාසයෙන් ක්‍රියා ශුරතාවයෙන් සියලු කටයුතු ජයගගෙන අභියෝග මැඩගෙන අනාගත ප්‍රගතියක් සලසා ගතහැක.   


අධ්‍යාපනය - ආර්ථිකය - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය:-   


මෙම මස පුරාවටම සිකුරු පුණ්‍යස්ථානයේ හැසිරීම නිසා අනපේක්ෂිත මාර්ගයකින් මුදලක් අතට ලැබෙන අතර පොදුවේ ඔබට විවිධ ආදායම් මාර්ග එළිපෙහෙළි වෙයි. මූල්‍ය හිඟකමින් පසුබැස තිබූ වැඩ කටයුතු රැසක් නැවතත් ඇරඹීමට පසුබිම සැකසේ. ඉපැයීම් මාර්ග ශක්තිමත් කර ගැනීමට හැකිවේ. පියාගෙන්ද වැඩිහිටි පක්ෂයෙන්ද යම් යම් මුදල් ලාභ ඔබ වෙත ලැබෙන මාසයක් ද වනු ඇත. මිල මුදල් අතමිට ගැවසේ. හදිසි ගනුදෙනුවකින් වාසි කිහිපයක් අත්වේ. ආහාර රෙදි පිළි ආභරණ වැනි දේවල් ලැබෙනු ඇත.   


ගෘහජීවිතය හා විවාහ දිවිය:-   


ඔබගේ විවාහ හා ප්‍රේම දිවියේ කටයුතුවලට බාධාකාරී ගති මතු නොවන අතර ගැටලු ප්‍රශ්න නිමවී ආදර දිවිය හා යුග දිවිය කෙරෙන් සැපත, සතුට ඇති කෙරේ. එනමුදු නුසුදුසු අය ඇසුරට ලැබෙන බැවින් ඊට නතු නොවන්න. ඔබ තුළ ප්‍රේමාන්විත හැඟීම් වැඩිපුර පහළ වන නිසා පහසුවෙන් විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයටද ලක්වේ. කෙසේ නමුත් මේවායේ කාර්යයන්ට බල පෑ බොහෝ විරුද්ධවාදීකම් ක්‍රමයෙන් පහව යෑමක් ද මෙම මස තුළ සිදුවෙයි.   

 

 

පොදු තත්ත්වය:-   


කුම්භ ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති හා යෝගකාරකයින් රාජයෝග බලයෙන් යුක්තව ගමන්කරන මෙම මාසය උත්සාහයේ ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවන්නේය. ඔබට සතුටු විය හැකි සමාජ සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමටත් හැකි වෙයි. පොදු වශයෙන් බලන කල ධනය දියුණුව බලය ප්‍රසිද්ධිය ඇති කෙරෙන මාසයකි.   


අධ්‍යාපනය - ආර්ථිකය - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය:-   


ඔබට මෙම මස පුරාවටම මෙන් තමා නිරත සියලුම අධ්‍යාපනික කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවෙයි. සහය ලැබිය යුත්තන්ගේ සහය ලැබේ. අධ්‍යාපනයට අවශ්‍ය මූල්‍ය හා ද්‍රව්‍යමය ලාභ ද ලැබේ. ඉගෙනීම් කටයුතුවල යෙදී සිටින්නන්ගේ අපේක්‍ෂා සාර්ථක වෙයි. අධ්‍යාපනික උපකරණ හිඟයක් පියවා ගත හැක. අධ්‍යාපනික හා වෘත්තිමය දැනුම වැඩිදියුණු කර ගැනීම උදෙසා වැඩිවශයෙන් වෙහෙස මහන්සි වී කටයුතු කරත හැක.   


කර්මස්ථානාධිපති පීඩාවකින් තොර නිසා තම රැකියා ව්‍යාපාරික කටයුතු ක්‍රමවත් භාවයකින් යුතුව කරගෙන යාමට හැකියාව ලැබෙනු ඇත. ස්වයං රැකියාවල හා ව්‍යාපාරයන් හි නිරත වන කුම්භ ලග්න හිමියන්ට මෙම මාසයේ දී වැඩිදියුණුවට කටයුතු පිළියෙල වේ. ආයතන තුළ සතුරු කරදර මතුවුවත් රැකියා හා රාජකාරියට අදාළ කාර්යයන් සැලසුම් කළ පරිදි කරගෙන යාමට හැකි වන්නේය.   


ගෘහජීවිතය හා විවාහ දිවිය:-   


ඔබගේ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් සිතට සෑහීමකට පත්විය හැකි දේ රැසක් ඇති වන්නේය. පසුගිය දිනවල දී යුග දිවියේ හා ප්‍රේම දිවියේ හටගෙන තිබූ ප්‍රශ්නකාරී ගති මගහැරී යයි. ගමන් බිමන් හා ප්‍රිය සම්භාෂණ හේතුකොට ගෙන විරුද්ධ ලිංගිකයන් සමග යම් යම් දැන හැඳිනීම් ද ඇතිවේ. පොදුවේ මේවාට අදාළ කාර්යයන් කෙරෙන් සතුට දනවන දෑ සිදුවේ. අවිවාහක තරුණ තරුණියන්ට අනාගතය පිළිබඳ නිවැරදි තීරණවලට එළඹීමේ අවස්ථා ඇති කරයි. තම විරුද්ධ ලිංගිකයා සමග ප්‍රීතිමත් අවස්ථාවන්ට සහභාගි වීමට ඉඩ ලැබෙන මාසයක් ද වන්නේය.   

 

 

 

 

පොදු තත්ත්වය:-   


ඔබගේ ලග්නාධිපති ගුරු හා ලග්නක්‍ෂස්ත්‍රාධිපතීන් මෙන්ම යෝගකාරක ග්‍රහයින් මෙම මස තුළ බලයෙන් යුක්තව ගතකරන හෙයින් ඔබට මෙම මාසය වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙල වේ. ඇසුරු කරන්නන් සමග සහයෝගයෙන් සුහද බවින් කටයුතු කිරීමටත් හැකි වේ. සැලසුම් කළ යම් යම් දෑ සාර්ථක කර ගැනීමටත් හැකි වන්නේය. එමෙන්ම මෙය ප්‍රයෝජනවත් වැඩවල නිරත විය හැකි මාසයකි.   


අධ්‍යාපනය - ආර්ථිකය - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය:-   


අධ්‍යාපනික වශයෙන් යම් යම් ජයග්‍රහණ සැලසෙයි. එමෙන්ම ආශාවකින් ඉගෙනීමේ කටයුතුවල නිරත වෙයි. අධ්‍යාපන කටයුතුවලට අදාළව තමා කෙරෙන් බලපැවැත්වූ අඩු-ලුහුඬුකම් ද මගහැරී යයි. එසේම මෙය ඉගෙනගත් දෙය ඔබ ක්‍රියාවට පමුණුවා බලන මාසයකි.   


ධන - අය භාවාධිපතීන් ශුභ යෝගයකින් යුතුව හැසිරෙන නිසා ඔබ මෙම මාසයේ දී සැලසුම් සහගතව කටයුතු කළහොත් ආර්ථික හා දේපළමය වශයෙන් වැඩිදියුණුවක් සලසා ගත හැක. බලපෑ මූල්‍ය දුෂ්කරතා පහව යයි. එසේම මෙය නව ආදායම් මාර්ග එළි පෙහෙළි වන මාසයකි. උරුම හිමිකම් ප්‍රශ්න තම වාසියට විසඳෙයි.   


ගෘහජීවිතය හා විවාහ දිවිය:-   


මංගල භාවාධිපති පීඩාවකින් තොර නිසා ආදර දිවියේ හා විවාහ දිවියේ කටයුතු බාධාවකින් තොරව කෙරෙනු ඇත. ඈත්ව ගිය සබඳතා නැවතත් ගොඩනැගේ. විශේෂයෙන්ම ආදර දිවිය හා යුග දිවියට අදාළ සිතේ හටගෙන තිබූ අවිනිශ්චිතතා පහව ගොස් ඒවායේ බලාපොරොත්තු සහගත බවක් ගොඩනැගේ. අවිවාහකයනට මංගල යෝජනා සැකසේ. නව ආදර සබඳතා ගොඩනැගේ. එමෙන්ම තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයා සමග විශ්වාසය බිඳවැටෙන අන්දමට මතුව තිබූ ප්‍රශ්නයකින් නිදහස් වීමටත් එවැනි දෑ සමථයකට පත්වීමත් මෙම මස තුළ සිදුවේ.   

 

 

 

ජ්‍යෝතිෂවේදී   
හේමන්ත වීරසිංහ   
www.hirumadala.lk අපගේ වෙබ් පිටුවට පිවිසීමෙන් මෙවැනි ජ්‍යෝතිෂ ලිපි මෙන්ම සුබනැකැත් ආදී ඔබගේ ජ්‍යෝතිෂ අවශ්‍යතා රාශියක් සපුරාගත හැක.