පොලීසියට කොකා පෙන්වා පත්තු වෙන ගිනිඅවි


 

රට වටා හඹා යමින් පොලීසිය ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගනිද්දී, පාතාලය බටහිරත්, දකුණත් භීතියෙන් කලඹවමින් වෙඩි වරුසා වස්සවමින් සිටී. 

 

මේ වෙඩි වරුසාවලින් නැහැවුණ හතළිහක පමණ පිරිස අතරින් මේ ​ෙවන විට විසි නව දෙනකු ඝාතනයට ලක්ව තිබේ. වෙඩි ප්‍රහාරය එල්ල කරනු ලබන්නේ නිවසක් අසල ද, වාහනයකට ද, ආයතනයක් තුළ හෝ ඒ ආසන්නයේ ද, අධිකරණයක් තුළ හෝ ඒ ආසන්නයේ ද යන්න අපරාධකරුට අදාළ නොවන බව පසුගිය කාලයේදී පාතාලයෝ මනාව පැහැදිලි කළහ. එක් දිනක් තුළ ඝාතන දෙක තුනක් වාර්තා ​ෙවන තරමට පාතාල ක්‍රියාකාරකම් පසුගිය කාලය තුළ සක්‍රිය විය. ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය නිසි ක්‍රියාමාර්ග නොගැනීම මෙම ක්‍රියාකාරකම් ප්‍රබල වීමට හේතු වී ඇතැයි බොහෝ දෙනා චෝදනා කරති. 
අම්බලන්ගොඩ භීතියට පත් කරමින් ඇරැඹුණ මෙම පාතාල ක්‍රියාකාරකම් මතුගම හරහා දැන් මීගමුව දක්වා පැමිණ තිබේ. අලු‍තෙන්ම ඝාතන ලැයිස්තුවට එක් වූයේ අම්බලන්ගොඩ කසුන්ය. 


ඔහු තිරිමාදුර සුජිත් වෙනුවෙන් ඝාතනයට ලක්වූවෙකි. ඔහු කළ වරද වූයේ පසුගිය විසිඑක් වැනිදා අම්බලන්ගොඩ දෙල්දූවේ හෝටලයකදී වෙඩි වැදුණු සුජිත්ගේ ඥාතීන් රෝහලට රැගෙන යාමය. සුජිත් යනු මාදම්පාගොඩ වස්සා නමැති පාතාලයාගේ කල්ලියේ ප්‍රධාන හතුරාය. එහෙත් ඔහු සාමාන්‍ය ධීවරයකු මිස පාතාලයෙක් නම් නොවේ. මළගෙදරකදී 2020 වසරේදී ඇති වූ සුළු‍ සිදුවීමක් පදනම් කරගෙන සුජිත්ගෙන් පලි ගැනීමට ඔහුගේ සහෝදරයකු ඝාතනය කිරීම මෙම ගැටුම උත්සන්න කිරීමට හේතු පාදක විය. එහි පලිය ගන්නට සුජිත් වස්සා ඝාතනය කිරීමත් සමග මේ ගැටුමේ ඇරැඹුමය. කෙසේ වුව ද මේ ​ෙවන විට එම ගැටුම් නිසා සුජිත්ගේ ඥාතීන් හතර දෙනෙකුත්, ඔවුන්ගේ හිතවතුන් තිදෙනෙකුත්, වස්සා නමැති පාතාලයාත් ඝාතනයට ලක්ව අවසන්ය. වස්සා ඝාතනය කළ සුජිත් අත්අඩංගුවට ගත් පොලීසිය තවමත් ඝාතන හයක් සිදු කළ වස්සාගේ කල්ලියේ කිසිවකු අත්අඩංගුවට ගැනීමට සමත්ව නැත. ඒ නිසා සුජිත්ගේ ඥාතීන් අද බරපතළ ජීවිත අවදානමකට පත්ව සිටිති. ඔවුන් තමන්ගේ නිවසට පැමිණෙනවාටත් අසල්වැසියෝ හා ඥාතීහු බිය වෙති. 


මට්ටක්කුලිය මෝල පාර ප්‍රදේශයේදී අගෝස්තු 29 වැනිදා රාත්‍රියේ නවයයි තිහට පමණ සිදු වූ වෙඩි තැබීමකින් 26 හැවිරිදි තරුණයකු ජීවිතක්ෂයට පත්විය. මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචිකරුවකු වන අසිත චතුරංග නොහොත් අලි වත්තෙ අසිත බව පොලීසිය පැවැසීය. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයකු වන දැඩිව මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවෙක් බව ද පොලීසිය සඳහන් කළේය. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී තිබේ. මියගිය පුද්ගලයා ලබාගත් මත්ද්‍රව්‍ය තොගයකට මුදල් ගෙවීම පැහැර හැරීම මත ඇති වූ ආරවුලක් නිසා මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයි සැකයක් පවතින බව ද පොලීසිය සඳහන් කළේය. වෙඩික්කරු පිස්තෝලයක් භාවිත කරමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, උණ්ඩ 11ක් පමණ ඒ සඳහා භාවිත කර ඇති බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. වෙඩි වැදී තුවාල ලබා සිටි ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත. එසේ මිය යාමට පෙර ඔහු විසින් සඳහන් කළ නමක් ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු කරන බව ද පොලීසිය සඳහන් කළේය. 
මීගමුවේදී තවත් වෙඩි තැබීමක් පසුගිය තිස් එක් වැනිදා පස්වරුවේ සිදු විය. ඒ, මත්ද්‍රව්‍යවලට සම්බන්ධ නඩුවක් සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට ආපසු සිය මෝටර් රථයෙන් යමින් සිටි ව්‍යාපාරිකයකු බව කියන සුරේෂ් පුෂ්ප කුමාර නොහොත් කටුවැල්ලේ සුරේෂ් නමැත්තා ඉලක්ක කරගෙනය. මෙම වෙඩි තැබීමෙන් සුරේෂ් හා ඔහු සමග ගමන් ගත් අයකුත්, මහමග යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයකුත් තුවාල ලබා රෝහල්ගත කළ බව පොලීසිය සඳහන් කළේය. 

 


මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන්නේ ද යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසිනි. මෙයට පදනම් වී තිබෙන්නේ ද මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ කිසියම් ගැටුමක් විය හැකි බවට පොලීසිය මුලින් සැක පළ කළේය. එහෙත් මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති පරිදි සැකකරු මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන්නේ වෙඩි වැදුණ පුද්ගලයාගෙන් එල්ල වූ මරණ තර්ජනයකට පිළිතුරු වශයෙනි. 
වෙඩි වැදුණ සුරේෂ් හා වෙඩි තැබීම සැලසුම් කර ක්‍රියාත්මක කළ බවට සැක කරන රනියා නමැත්තා කලක් මිතුරන්ව සිටි අය බව ද අනාවරණය වී තිබේ. සුරේෂ් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් බාරයේ පසු වූ කාලයේදී රනියා සුරේෂ්ගේ බිරිය සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇතැයි සැක කෙරේ. සුරේෂ් ඇප ලබා පැමිණි පසු මේ බව දැනගෙන ‘මේක වහාම නවත්තපන්, නැත්නම් මම උඹව මරණවා’ යැයි රනියාට තර්ජනය කර තිබේ. සුරේෂ්ගේ සැලසුම ක්‍රියාත්මක වීමට පෙර රනියා ඉස්සර විය. ඔහු සිය මිතුරෙකු වන හිටපු ගුවන් හමුදා භටයෙක් සමග එක්ව සිය සැලැස්ම ක්‍රියාත්මක කළේ මීගමුව අධිකරණය ආසන්නයේදීය. 


මෙම ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කළ රනියා සහ ඔහුගේ මිතුරා පසුගිය පස්වැනිදා සවස මීගමුව කුට්ටිදූව ලෙල්ලම ආසන්නයේදී පොලීසිය අත්අඩංගුවට ගත් අතර, වැඩිදුර විමර්ශන සිදු කෙරේ. 


මේ පසුගිය සති දෙකක කාලය තුළ සිදු වූ වෙඩි තැබීම් හා ඝාතනය. සෑම සතියකම අලු‍ත් ඝාතන වාර්තාවක් එකතු වන සුලු‍ය. මෙතරම් ඝාතන රැල්ලක් හමා යද්දී පොලීසිය ඇස් කන් වසාගෙන සිටින්නේ මන්දැයි ජනතාව තුළ පවතින්නේ මහත් සැකයකි. විමතියකි. මේවා කාගේ හෝ ඉහළ තැනක වුවමනාවට සිදුවන්නේ දැයි ඇතැම්හු සැක පළ කරති. නැතහොත් රටේ වෙනත් ගැටලු‍ යටපත් කරන්නට ඝාතන පිළිබඳ සාකච්ඡාව ඉහළට එසවී තිබීම වැදගත් නිසා ඒවා ඔහේ සිදුවන්නට ඉඩ හැර තිබෙනවාදැයි තවත් පිරිසක් ප්‍රශ්න කරති.

 

 

 සටහන : 
මුදිතා දයානන්ද