පොල් කටුවෙන් නිර්මාණ කර ලංකාවේම මුල් තැන දිනූ ප්‍රවීන්


 

 

ෆෙවික්රයිල් හොබී අයිඩියාස් සංසදය මගින් සංවිධානය කරන ලද පොල්කටු ආශ්‍රිත නිර්මාණ තරගාවලියෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගැනීමට කොත්මලේ ගාමිණී දිසානායක ජාතික පාසලේ ප්‍රවීන් දිනුක ශ්‍රීමන්ත දරුවා සමත්ව සිටී.  


කොත්මලේ ගාමිණී දිසානායක ජාතික පාසලේ 09 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ජී.එස්.පී. ප්‍රවීන් දිණුක ශ්‍රීමන්ත පාසලේ අධ්‍යාපන කටයුතුවලට දස්කම් දක්වන්නා සේම සිය සහජ දක්ෂතා තුළින් සිය අභිප්‍රායන් සාක්ෂාත් කර ගැනීමට උපන් හපන්කම් දක්වන පුංචි පුතෙකි.  


සතර අත කඳු මුදුනින් වටවූ කොත්මලේ තවලන්තැන්න නගරයට යාබදව නො 10/A කොදේනගර්, තවලන්තැන්න, කොත්මලේ යන ලිපිනයේ පදිංචි රොෂාන් ශ්‍රීමන්ත හා මනෝරී කුමාරි යන දෙපළගේ ආදරණීය පුතනුවන් වන ජී.එස්.පී. ප්‍රවීන් දිණුක 2021 වර්ෂයේ පැවති පොල්කටු ආශ්‍රිත නිර්මාණ තරගාවලියට ඉදිරිපත් වන්නේ සිය සහජ හැකියාවට නව අරුත් සපයන අරමුණින්ය. ගොරෝසු, අවලස්සන වූ පොල්කටුව සිය අතට ගත් ප්‍රවීන් සිය මනසේ ඇඳුණු සිත්තම පොල්කටුව තුළ සිත්තම් කරන්නේ අපූරු සිත්තරුවෙකු මෙන් හැඩගන්වමින්ය.  


ෆෙවික්රයිල් (fevicryl) ආයතනය විසින් සංවිධානය කරන ලද පොල්කටු ආශ්‍රිත නිර්මාණ තරගාවලියට මාර්ග ගත ක්‍රමය යටතේ අයදුම්පත් ඉදිරිපත් කරමින් තරගාවලිය අවසාන වනතෙක් තමන් විසින් සිදුකරන ලද ක්‍රියාවලිය පිළිබඳව සතුටු මුහුණින් යුතුව අදහස් දැක්වූ ප්‍රවීන් සිය අත්දැකීම් විස්තර කළේ මෙලෙසිනි.  
2021 වසරේ කොවිඩ් වසංගතය දරුණුවට පැතිරුණු කාලයේ තමයි මේ තරගයට අයදුම්පත් ඉදිරිපත් කළේ. අයදුම්පත් ඉදිරිපත් කළෙත් මාර්ගගත ක්‍රමයටයි. ඒ නිසාම ගොඩක් අපහසුතා ඇති වුණා. අපි ජීවත්වෙන ප්‍රදේශයට අන්තර්ජාල පහසුකම් ඇත්තේම නැති තරම්. අනෙක් කරුණ තමයි දරුණුවට කොවිඩ් වෛරසය ව්‍යාප්තය තිබීම නිසා දුරකථන කාඩ්පතක් ගන්න කඩේකටවත් යන්න බැරිවුණා. ඒත් මගේ බලාපොරොත්තුව කොයිම වෙලාවකවත් අත්හැරගන්න මම කැමති වුණේ නැහැ.  


මෙම තරගයට ඉදිරිපත් වූ මට නොයෙක් බාධක ආවා. විශේෂයෙන් පොල් කටු සුද්ද කරන්න උපකරණ හෝ මා ළඟ තිබුණේ නෑ. පිහිය, වීදුරු කටු භාවිත කරල තමයි මම ඒ කටයුතු සිදු කළේ. මේ සියල්ලත් සමගම මගේ අම්මගෙන් හා අප්පච්චිගෙන් ලැබුණු පිටිවහල මෙතෙකැයි කියා කියන්න බැහැ. ඒ ආදරය, සෙනෙහස, උපකාර මට නොඅඩුව ලැබුණා.  


මේ පිළිබඳව මගේ පාසලේ විදුහල්පති ප්‍රියන්ත කන්දේගෙදර ලොකු සර්ගෙනුත්, චිත්‍ර විෂය භාර දුලාරි අනුපමා මැඩම්ගෙන් සහ පන්තිභාර ආචාර්ය නිසල හිමියන්ගෙන් ලැබුණු සහය සහ මඟ පෙන්වීම නොවන්නට මට මෙවැනි ජයග්‍රහණයකට යන්න බැරිවීමට ඉඩ තිබුණා. ඒ සියලු දෙනා ඉතා ආදරයෙන් මතක් කරන්න කැමතියි.  


හොඳ අධ්‍යාපනයක් වගේම මගේ හැකියාවත් දියුණු කරගෙන එම හැකියාවන් තුළින් ඉදිරියට යන ගමන් සමාජයට වැඩදායක ගුණගරුක පුද්ගලයෙක් වශයෙන් ජීවත් වීමට මා බලාපොරොත්තු වන බවත් මගේ හැකියාව ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දුන් fevicryl ආයතනයටත් මගේ ගෞරවණීය ස්තුතිය පුද කිරීමට කැමති බව අවසාන වශයෙන් කියන්න කැමතියි. ප්‍රවීන්ගේ දක්ෂතා ඇගයීමට යමෙක් අදහස් කරන්නේ නම් ප්‍රවීන්ගේ පියා වන රොෂාන් (774554170) අමතා සම්බන්ධ කරගත හැකිය.


නාවලපිටිය - සිසිර ලලිත් කුමාර