පෙරභවයේදී පැහැරගෙන ගොස් මරා දැමූ හැටි හෙළි කළ දරුවෙක්


 

දරුවන් පැහැරගෙන ගෙස් මරා දැමීමේ සිදුවීම් වරින් වර අසන්නට ලැබේ. ඒ අතරින් පැහැරගත් දරුවෙකු මරා දැමීමේ සිදුවීමකට සම්බන්ධ පුනර්භව සාධකයක් ප්‍රථම වරට අනාවරණය වූයේ ඉන්දියාවෙනි. දෙමාපියන් සමග ඇතිවූ වෛරයක් නිසා සය හැවිරිදි දරුවෙකු පැහැරගෙන ගොස් ගෙල කපා මරණයට පත්කර තිබිණි. එසේ මරණයට පත්කර තිබුණේ 1951 වසරේදීය. එම මිනීමැරුම පිළිබඳව සියලු‍ තොරතුරු අනාවරණය කළ දරුවා විසින් මිනීමරුවන්ගේ නම්ද නිවැරැදිව හෙළි කළේය. මිනීමැරුම සිදුකර තිබුණේ දරුවා පදිංචිව සිටි නිවස අසලම පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනකු විසිනි. 

අටුලු‍ගම් ප්‍රදේශයේදී දැරියක් පැහැරගෙන ගොස් මරා දැමීමේ සිදුවීමක් පිළිබඳව පසුගිය දිනවලදී මහත් ආන්දෝලනයක් ඇතිවිය. ඒ පිළිබඳව තවමත් පොලිස් පරීක්ෂණ සිදු කෙරේ. කුඩා දරුවන් කීප දෙනෙක්ම මේ අයුරින් ඝාතනය කළ සිදුවීම් වරින් වර අසන්නට ලැබිණි. පියාගෙන් කප්පම් මුදලක් ඉල්ලා දරුවකු පැහැරගෙන ගොස් මරා දැමූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා ඝාතනය සිදුවූයේ අසූවේ දශකයේදීය. ඒ අයුරින් මරණයට පත්වූයේ මතුගම ප්‍රදේශයේ පාසල් දරුවෙකි.   


පැහැරගෙන ගොස් දරුවෙකු මරා දැමීමේ සිදුවීමක් අනාවරණය වූ පුනර්භව සාධකයක් ප්‍රථම වරට හෙළිවූයේ ඉන්දියාවෙනි. දෙමාපියන් සමග ඇතිවූ වෛරයකට පළිගැනීමක් ලෙස මරා දැමූ එම දරුවා ඒ වනවිට සයවැනි වියේ පසුවිය. මුන්නා නම් එම දරුවා පැහැරගෙන ගොස් තිබුණේ අසල්වැසියෙක්ව සිටි බාබර් කෙනෙකු විසිනි. නිවසේ සෙල්ලම් කරමින් සිටි දරුවා පැහැරගෙන ගොස් ගෙල කපා කෲර ලෙස ඝාතනය කර හිස කඳින් වෙන්කර දමා තිබියදී සිරුර සොයාගනු ලැබීය. එම දරුවා ඝාතනය සඳහා කසළ සෝදකයකුද හවුල්වී තිබිණි.   
ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේදී සිදුවූ මෙම ළමා ඝාතනය මුළු මහත් ඉන්දියාවම කම්පා කරවන සිදුවීමක් විය. පවුලේ එකම දරුවා වූ ඔහු පදිංචිව සිටියේ නාන්පූර් නම් ප්‍රදේශයේය. දරුවාගේ අතුරුදන්වීම පිළිබඳව පරීක්ෂණ ආරම්භ වීමත් සමඟ ඔහු සෙවීම පොලිසිය විසින් භාරගනු ලැබීය. පසුව ප්‍රදේශවාසීන්ගෙන් අයෙකු දරුවා සමග ගමන් ගත් අයුරු දුටු බැව් හෙළිවිය. ඒ අනුව මිනීමරුවන් සොයාගත හැකිවිය.   


මුන්නා නම් එම දරුවා මරණයට පත්වූයේ 1951 ජනවාරි මාසයේදීය. තම දරුවාගේ වියෝවෙන් දෙමාපියෝ සහ ඥාතීහු බලවත් කම්පාවට පත්ව සිටියහ.   


වසර කීපයක් ගතවිය. තම මියගිය පුත්‍රයා පිළිබඳව දරුවෙකු මගින් හෙළිවන බැව් මුන්නාගේ දෙමාපියන්ට අසන්නට ලැබිණි. රවි නම් එම දරුවා උපත ලබා තිබුණේ 1951 ජුලි මාසයේදීය. බහ තෝරන වියට පත්ව සිටි රවි ඔහුට පෙර භවයේදී තිබූ සෙල්ලම් භාණ්ඩ පිළිබඳවත් පෙර නිවස පිළිඳවත් අනාවරණය කළේය. මේ අතර ඔහු තුළින් දක්නට ලැබුණු විශේෂ හැසිරීම් රටාවක් විය. එනම් බාබර් කෙනෙකු හෝ කසළ සෝදකයකු දුටු සැණින් ඔහු අධික ලෙස බියපත්වීමය.   


තමා ජීවත්ව සිටි ප්‍රදේශයත් මරණය සිදුවූ අයුරුත් ඔහු අනාවරණය කළේය. එම දරුවා හෙළිකරන තොරතුරු කිසිවෙක් දැන ගැනීමට විරුද්ධව සිටි දරුවාගේ පියා එම තොරතුරු හෙළි කිරීමට අකමැතිව සිටියේය. දරුවාගේ ප්‍රකාශ වැළැක්වීමටද ඔහු උත්සාහ කළේය. පෙර භවයේ දරුවාගේ මිනීමැරුම හෙළිවීමෙන් ඔවුන්ට කරදරයක් වේ යයි පියා සිතුවේය. ඇතැම් විට රවි දෙමාපියන්ට බලකර කියා සිටියේ තමාට පෙර නිවසට යා යුතු බවය. එය පිහිටා ඇති ප්‍රදේශයට යාමට අවශ්‍ය බැව් පවසා නිවසින් පිටවී යාමටද ඔහු උත්සාහ කළේ ඉතා කුඩා වියේ සිටය.   


මේ අතර ඔහු තුළින් දක්නට තිබූ තවත් විශේෂත්වයක් විය. එනම් පිහි වැනි ආයුධවලට අධික ලෙස බියපත් වීමය. බාබර්වරුන් භාවිතා කරන දැලි පිහියක් දුටු සැනින් ඔහු තැති ගැනීමද දක්නට ලැබිණ. පෙර භවයේදී මරණයට පත්වූ ප්‍රදේශය දුටු විටද ඔහු බියපත්වීම සිරිතක්ව පැවතුනි.   


මුන්නාගේ ඝාතනය සිදුකළ අවස්ථාවේ ගෙල කපා දැමීමේදී ඇතිවූ සිරුරෙන් වෙන්වූ සළකුණක් ලෙස උපන් කැළලක්ද දක්නට ලැබී තිබිණි. රවි දරුවා තම පෙරභවය පිළිබඳව පාසලේ ගුරුවරයාටද ප්‍රකාශ කරන්නට විය. ඒ අනුව ඔහු හෙළිකරන පෙරභව තොරතුරු විමර්ශනය කිරීමටත් පර්යේෂණයක් පැවැත්වීමටත් මනෝ විද්‍යාඥයන්ට අවස්ථාව උදාවිය. වර්ජිනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් විසින්ද රවිගේ පුනර්භව පර්යේෂණය සිදු කළේය. අනතුරුව මෙම දරුවාගේ පුනර්භව පර්යේෂණය මහාචාර්ය ස්ටීවන්සන්ගේ පර්යේෂණ ග්‍රන්ථයකටද ඇතුළත් කරනු ලැබීය.   


එම දරුවා විසින් පෙරභවය පිළිබඳව අනාවරණය කළ කරුණු විසිපහකටත් වැඩි සංඛ්‍යාවක් එම වාර්තාවට ඇතුළත් කර තිබේ. ඒ අතර හඳුනා ගැනීම් රැසක්ද ඇත. ප්‍රථම වරට ඔහු අනාවරණය කළේ ගෙලට අත තබා පෙන්වමින් මිනීමරුවන් විසින් ගෙල කැපූ බවය. අනතුරුව පියාගේ නමත් ඔවුන් ජීවත්ව සිටි ප්‍රදේශයත් ඔහු හෙළි කළේය. පියාගේ නමද පැහැදිලිව අනාවරණය කළ ඔහු මීනීමරුවන්ගේ නම්ද පැහැදිලිව ප්‍රකාශ කළේය. සෙල්ලම් කිරීමට ඔහු ගඟක් අසලට කැඳවාගෙන ගිය බවත් ඒ අසල පන්සලක් තිබූ බවත් ඔහුට මතක තිබිණි. බෙල්ල කෑපූ අයුරුද හෙළිකළ එම දරුවා ඔහුගේ සිරුර වළදැමූ ස්ථානයද පැහැදිලිව අනාවරණය කළේය.   
ඔහුගේ ඝාතනය සිදුකළ ස්ථානය චින්තාමනි පන්සල ලෙසද ඔහු හඳුන්වා දුන්නේය. පෙරභව නිවසේ තිබූ ඔහුගේ සෙල්ලම් භාණ්ඩ පිළිබඳවද එම දරුවාට ඉතා හොඳින් මතක තිබිණි. තම පියා විසින් වරක් ඔහුට තෑගි කළ අත් ඔරලෝසුවක් නිවසේ ඔහුගේ මේස ලාච්චුවේ ඇති බවද සෙල්ලම් පිස්තෝලයක් ඔහුට තිබූ බවද දරුවාට මතක තිබිණි. ඔහු ගිය ලදරු පාසල පිහිටි ප්‍රදේශය පිළිබඳවද එම දරුවාට ඉතා හොඳ මතකයක් තිබිණි.   


මෙම දරුවා පිළිබඳව සිදුකළ පුනර්භව පර්යේෂණයේදී දක්නට ලැබුණු විශේෂත්වය වූයේ ඔහුගේ මරණය සිදුකළ මිනීමරුවන් දෙදෙනාගේ නම්ද ඔහු විසින් ප්‍රකාශ කිරීමය. අසල්වැසියන් වූ ඔවුන් පෙරභව දරුවා ඉතා හොඳින් හඳුනන පුද්ගලයන් විය. ඒ අනුව දරුවාට ඔවුන්ගේ නම් පැහැදිලිව මතකයේ තිබූ බැව් දක්නට ලැබිණි.   
ඔහුගේ ඝාතනය සිදුකළ ස්ථානය අනාවරණය කර තිබූ අයුරු මහාචාර්ය ස්ටීවන්සන්ගේ වාර්තාවට ඇතුළත් කර ඇති දරුවාගේ ප්‍රකාශ මෙසේය.   


- HE WAS TAKEN BY THE MURDERERS TO THE RIVERSIDE ඔහු ඟග අසලට ගෙන ගිය බවය. එම ප්‍රකාශය සනාථ වූ අයුරු පර්යේෂණ වාර්තාවේ සඳහන්ව ඇත්තේ   
- MUNNA'S BODY AND CLOTHES WERE FOUND NEAR THE RIVER   
සිරුර සහ ඇඳුම් එම ගඟ අසල තිබී හමුවීය.   
- HE WAS MURDERED NEAR CHINTAMINI TEMPLE   
මිනී මැරුම සිදුවූයේ චින්තාමනී පන්සල අසලය   
- THE MURDERERS CUT HIS NECK   
මිනීමරුවන් ඔහුගේ ගෙල කැපූ බවය.  
එය සනාථ වූ අයුරු දැක්වෙන්නේ මෙසේය.   
- THE HEAD OF THE MURDERED BOY WAS FOUND ABOUT 250 YARDS FROM CHINTAMINI TEMPLE   
දරුවාගේ හිස හමුවූයේ චින්තාමනී පන්සලට යාර 250ක් නුදුරුවය.   
මහාචාර්ය ස්ටීවන්සන් විසින් සිදුකළ පූර්ණ පර්යේෂණයේදී ගෙල කපා මරණය සිදු කිරීමේදී ඇතිවූ තුවාල කැළලද දැඩි ලෙස විමර්ශනය කැරිණි. ඒ බැව් පර්යේෂණ වාර්තාවේ සඳහන් කර ඇත්තේ A LINER MARK CROSSING THE NECK IN A TRANSVERSE DIRECTION. IT RUN ABOUT TWO INCHES LONG. IT WAS DARKER IN PIGMENT THAN THE SURROUNDING TISSUE AND HAD THE STIPPLED QUALITY OF A SCAR. IT LOOKED MUCH LIKE AN OLD SCAR OF A HEALED KNIFE WOUND යනුවෙනි.   


රවි දරුවා ප්‍රකාශ කළ පරිදි ඔහුගේ පෙර භවයේ නිවසේ තිබූ භාණ්ඩ හඳුනා ගැනීමටද ඔහුට අවස්ථාව උදාවූයේ මියගිය දරුවාගේ භාණ්ඩ දෙමාපියන් විසින් ආරක්ෂා සහිතව තබා තිබූ නිසාය.   

 

 

සටහන
තිස්ස ජයවර්ධන