පුෂ්පිකාගේ ඔටුන්නේ පලහිලව්ව


  • විශ්ව විවාහක රූ රැජින 2022 - අවසන් මහා තරග නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් හිදී පසුගිය මස පවත්වන ලදී. එහිදී, මෙවර විශ්ව විවාහක රූ රැජින ලෙස ඇමෙරිකානු විවාහක රූ රැජින වන ශයිලින් ෆෝර්ඩ් කිරුළු පැලඳි අතර, ජෝර්දානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවාහක රූ රැජිනියන් අනුශුරතා දිනා ගන්නා ලදී.

 

Daily Mirror පුවත්පතෙහි ධනු ඉන්නසිතම්බි සමඟ පවත්වන ලද වීඩියෝ සාකච්ඡාවක දී ටනා ජොන්සන් මහත්මිය විසින් විශ්ව විවාහක රූ රැජින තරගයේ සම්පූර්ණ විනිශ්චය ක්‍රියාවලිය පැහැදිලි කළ අතර ම, සියලු තරගකාරියන් සාධාරණ විනිශ්චයකට ලක් වූ බව ද අවධාරණය කර සිටියා ය. 


මෙවර විශ්ව විවාහක රූ රැජින සිහිනය බොඳව ගිය පසු, 2021 වසරේ ශ්‍රී ලාංකීය විවාහක රූ රැජින බවට පත් වූ පුෂ්පිකා ද සිල්වා පසුගිය සතියේ දී විශ්ව විවාහක රූ රැජින අවසන් මහා තරගයේ තරග ප්‍රතිඵල පිළිබඳ සැක පළ කර සිටියා ය. 


පුෂ්පිකා ද සිල්වා විශ්ව විවාහක රූ රැජින අවසන් මහා තරගයේ අවසන් හයදෙනා අතරට තේරී පත්වීමට සමත් වූ අතර, ඇය උදක් ම කියා සිටියේ තමා කිරුළ දිනා ගැනීමේ සටනේ ඉදිරියෙන් ම සිටි බවයි. 
විශ්ව විවාහක රූ රැජින 2022 - අවසන් මහා තරග නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් හි පසුගිය මස පවත්වන ලදී. එහිදී, මෙවර විශ්ව විවාහක රූ රැජින ලෙස ඇමෙරිකානු විවාහක රූ රැජින වන ශයිලින් ෆෝර්ඩ් කිරුළු පැලඳි අතර, ජෝර්දානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවාහක රූ රැජිනියන් අනුශුරතා දිනා ගන්නා ලදී. 


කෙසේ වෙතත්, YouTube නාලිකාවක සම්මුඛ සාකච්ඡාවක දී, තමාට කිරුළ අහිමි කරවීම සඳහා විනිසුරු මඩුල්ලට බලපෑම් කිරීම සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා විසින් හිටපු විශ්ව විවාහක රූ රැජිනක වන රෝසි සේනානායක මහත්මිය වෙත චෝදනා එල්ල කළා ය. 


ලාස් වේගාස් හි පවත්වන ලද විශ්ව විවාහක රූ රැජින අවසන් මහා තරගය සඳහා ද සහභාගී වූ රෝසි සේනානායක මහත්මිය විසින් විනිශ්චය මණ්ඩලයේ තීරණය වෙනස් කිරීමට බලපෑම් සිදු කර තමාට කිරුළ අහිමි කරවීමට කටයුතු කළ බවට ඇය චෝදනා කළා ය. 


එක්තරා facebook ලිපියක් මගින්, අවසන් මහා තරගයේ දී තමා සිවුවන ස්ථානය දිනා ගැනීමට සමත් වූ බව ද පුෂ්පිකා ද සිල්වා ප්‍රකාශ කර තිබූ අතර, ඇය පසුව පවසා සිටියේ තමා සිවුවැනි ස්ථානය දිනා ගත් බව තමාට දැනුම් දෙන ලද්දේ ද රෝසි සේනානායක මහත්මිය විසින් බවයි. 


ටනා ජොන්සන් මහත්මිය Daily Mirror වෙත පවසා සිටියේ සිවුවන, පස්වන සහ හයවන ස්ථාන ලබා දීම වසර 15කට පෙර ඉවත් කරනු ලැබූ බවයි. ස්ථාන නම් කිරීම සිදු වන්නේ අවසන් තිදෙනා අතර මිස අවසන් හයදෙනා අතර නොවන බවත් ඇය තවදුරටත් ප්‍රකාශ කර සිටියා ය. 
මූලික තරග වටය සඳහා තරගකාරියන් 41දෙනෙකු සහභාගී වූ අතර, එම තරගකාරියන්, විනිශ්චය මණ්ඩලය විසින් සම්මුඛ පරීක්ෂණයකට ලක් කරන බව ජොන්සන් මහත්මිය පැහැදිලි කළා ය. එම සම්මුඛ පරීක්ෂණය, මුළු ලකුණුවලින් සියයට පනස් එකක (51%) ප්‍රමාණයකට හිමිකම් කියනු ලබයි. 
තරගකාරියන් 41දෙනා අතරින් තරගකාරියන් 15දෙනෙකු තෝරා ගනු ලබන අතර, ඔවුන් විනිශ්චයට ලක් කරනු ලබන්නේ පෙර වටයේ දී ලබාගත් ලකුණු කපා හරිමිනි. 


සන්ධ්‍යා ඇඳුම සහ පිහිනුම් ඇඳුම වටයෙන් පසු විනිසුරු මඩුල්ල විසින් අවසන් හයදෙනා තෝරා ගනු ලබන අතර, ඔවුන් නැවතත් විනිශ්චය කෙරෙනු ලබන්නේ නව ලකුණු වාර්තාවක් මගිනි. 
අවසන් හයදෙනා වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් කොට ඒ සඳහා ඔවුන් ලබාදෙන ප්‍රතිචාරය මෙන් ම, අවසන් හයදෙනා තෝරා ගැනීමේ තරග වටයේ දී ඔවුන් සැරසී සිටි සන්ධ්‍යා ගවුම මත පදනම් වී ඔවුන් විනිශ්චයට ලක් කෙරෙන බව ජොන්සන් මහත්මිය පවසා සිටියා ය. 


මෙවර ශ්‍රී ලාංකීය විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා අවසන් හයදෙනා අතරට තේරී පත් වුව ද, අවසන් තිදෙනා අතරට පැමිණීමට අසමත් වූවා ය. 


කෙසේ වුව ද, පුෂ්පිකා ද සිල්වා විසින් මෙවර අවසන් තීරණය අභියෝගයට ලක් කළ අතර, විනිසුරු මඩුල්ලේ අවසන් තරග ප්‍රතිඵල ලේඛනය පරීක්ෂා කිරීමට පුෂ්පිකාට අවශ්‍ය වී ඇත. ශ්‍රී ලාංකීය විවාහක රූ රැජින තරගයේ සභාපතිවරිය මෙන් ම ප්‍රධාන විධායක නිලධාරිනිය වන එලයින් මාමෙල් මහත්මිය විසින් පුෂ්පිකා වෙත අවසන් තරග ප්‍රතිඵල පෙන්වීම ප්‍රතික්ෂේප කර ඇත්තේ එය මෙම තරගයේ ප්‍රතිපත්තිවලට පටහැනි වන බැවිනි. 


ජොන්සන් මහත්මියගේ අදහස වන්නේ, අවසන් තීරණය අභියෝගයට ලක් කිරීම කාන්තාව සවිබල ගැන්වීමක් නොව නීත්‍යානුකූල ජයග්‍රාහිකාවගේ කිරුළ උදුරා ගැනීමට දරන ප්‍රයත්නයක් බවයි. 

එසේම, තමන් නීත්‍යානුකූල ජයග්‍රාහිකාව බව විනිශ්චය මණ්ඩලය විසින් පවසා තිබූ බවට පුෂ්පිකා ද සිල්වා විසින් සිදු කරන ලද ප්‍රකාශය ද ඇය ප්‍රතික්ෂේප කළා ය. 


“පුෂ්පිකා කිරුළ දිනා ගැනීම තමන් අපේක්ෂා කළ බව කිසිදු විනිසුරුවරයෙකු විසින් ප්‍රකාශ කළ බවක් මා දුටුවේ නැහැ. ඒ වගේ ම, විනිශ්චය මණ්ඩලයේ ලකුණු සටහන් ඍජුවම විගණක වෙතත්, පසුව මාමෙල් මහත්මිය වෙතත් යොමුවන නිසා එය කිසිවකුටත් පරීක්ෂා කර බැලීමට අවස්ථාවක් නැහැ. අවසන් මහා තරගයට පෙර විනිශ්චය මණ්ඩලය කිසිදු තරගකාරියක සමඟ මුහු වෙන්නේ නැහැ. අවසන් සම්මුඛ පරීක්ෂණ දිනය තෙක් කිසිවකු විනිසුරු මඩුල්ල කවුරුන්දැයි කියාවත් දැනගන්නේ නැහැ,” ජොන්සන් මහත්මිය පැවසුවා ය. 


YouTube සම්මුඛ සාකච්ඡාවේ දී පුෂ්පිකා විසින් ද රෝසි සේනානායක මහත්මිය විශ්ව විවාහක රූ රැජින අවසන් මහා තරගය නැරඹීමට සහභාගී වීම පිළිබඳ ප්‍රශ්න කර සිටියා ය. 
ජොන්සන් මහත්මිය පවසා සිටියේ, රෝසි සේනානායක මහත්මිය විශේෂ ආරාධිත අමුත්තකු වශයෙන් ආරාධනා කර ලැබ සිටි බවත්, ඇයගේ ප්‍රවාහන, නවාතැන් ඇතුළු සියලු වියදම් දරනු ලැබුවේ විශ්ව විවාහක රූ රැජින තරග සංවිධායකවරුන් විසින් බවත් ය. 


“රෝසි සේනානායක කියන්නේ උසස්, වෘත්තිමය කාන්තාවක් බව ජනතාව අවබෝධ කරගත යුතු යි” ජොන්සන් මහත්මිය තවදුරටත් පවසා සිටියා ය. 

 

එසේ ම, විශ්ව විවාහක රූ රැජින - ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ පිළිබඳ විශ්වාස නොකිරීමට ඔවුන්ට කිසිදු හේතුවක් නොමැති බව ද ටනා ජොන්සන් මහත්මිය Daily Mirror වෙත පවසා සිටියා ය. 
විශ්ව විවාහක රූ රැජින හෝ දේශීය තරගයකට සහභාගී වීමට සුදුසුකම් ලැබීමේ එක නිර්ණායකයක් වන්නේ තරගකාරියන් නීත්‍යානුකූල ව වලංගු විවාහයක හිමිකාරියක් වීමයි. විශ්ව විවාහක රූ රැජින තරගයට සහභාගී වන සෑම තරගකාරියක් ම තම විවාහය තහවුරු කිරීමේ පිළිගත් ලේඛනයක් ඉදිරිපත් කළ යුතු ය. 


ජොන්සන් මහත්මිය ප්‍රකාශ කර සිටියේ පුෂ්පිකා ද සිල්වා විසින් ද එම ලියවිලි ඉදිරිපත් කර තිබූ බවත්, එමගින් ඇගේ විවාහය තවදුරටත් නීත්‍යානුකූල විවාහයක් බව සංවිධායකවරුන් අවබෝධ කරගත් බවත් ය. 
කැරොලයින් ජූරි පිළිබඳ විමසූ විට ජොන්සන් මහත්මිය පවසා සිටියේ ඇය තම කිරුළ දරමින් විශාල කාර්යභාරයක් ඉටු කළ බවත්, කිරුළ අත්හැරීමට ප්‍රථම ඇය නීත්‍යානුකූල ව විශ්ව විවාහක රූ රැජින කිරුළ දිනා ගත් බැවින් මින් ඉදිරියටත් ඇය විශ්ව විවාහක රූ රැජිනක් ලෙස හඳුන්වනු ලැබෙනු ඇති බවයි. 
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර තිබූ විශ්ව විවාහක රූ රැජින තරගය කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නොහැකි වූ බැවින්, අනාගත විශ්ව විවාහක රූ රැජින තරගයක් මෙරට පැවැත්වීමට ශ්‍රී ලංකාවෙන් සිදු කරන ලද ඉල්ලීම පිළිබඳ ව විශ්ව විවාහක රූ රැජින තරග සංවිධායකවරුන් විසින් සලකා බලමින් සිටින බව ද ටනා ජොන්සන් මහත්මිය මෙම වීඩියෝ සාකච්ඡාවේ දී අනාවරණය කොට සිටියාය.

 

 

පරිවර්තනය 
ඉෂානි උපේක්ෂා ධර්මපාල